අප්‍රේල් 21 වැනි දින සිදූවූ ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරය සිදු කළේ කවුරුන්ද යන කාරණය මේ වනවිට විවිධ ආකාරයෙන් අනාවරණය වී ඇත. මේ සඳහා සහභාගී වූ කණ්ඩායමත් ඒ කණ්ඩායමට සහාය දී ඇති අයත් යම් ප්‍රමාණයකට මේ වනවිට එක්කෝ මරණයට පත්වී ඇති බව හෝ නැත්නම් පොලිස් අත්අඩංගුවට පත්වී ඇති බව ආරක්ෂක අංශවලින් ඇසෙන කථාවලින් පෙනේ. බෝම්බ ගැසූ අය සහ බෝම්බ සහ බෝම්බ ගෙනා අය ගැන එවැනි ආකාරයෙන් කියවුණද රටේ මිනිසුන්ගේ පැත්තෙන් පෙනෙන්නේ ඒ අය තවමත් සිටින්නේ බරපතළ ආකාරයේ බියකින් සහ සැකයකින් බවය. බියක් නොමැතිව දරුවන් පාසල් එවන්න යැයි රජයේ මැති ඇමැතිවරුන් කීවත් ජනතාවගේ පැත්තෙන් පෙන්නුම් කරන්නේ කාටවත් කවුරුවත් විශ්වාස නැති තත්ත්වයක්ය. ඒ නිසා පාසල්වලට ළමයින් යවන්නට තරම් ශක්තියක් හෝ විශ්වාසයක් මවුපියන්ට තවමත් නැති බව පාසල් එවන ළමයින්ගේ සංඛ්‍යාව දෙස බැලීමෙන් පෙනී යන කාරණයක්ය. 

ජනතාව තුළ ඇති මේ අවිශ්වාසයට හේතුවී තිබෙන්නේ ත්‍රස්තවාදයේ ඇති ම්ලේච්ඡත්වය හා බියකරුභාවය නිසා පමණක් නොව මේ මොහොතේ රට කරවන ආණ්ඩුව පිළිබඳව තිබෙන බරපතළ සැකසහිත භාවයත් නිසා බව මගේ අදහසය. පැරැණි රාජපක්ෂ ආණ්ඩුවට පහර ගැසීම වැනි කාරණාවලට මිස වෙනත් කිසිම දෙයකට මේ ආණ්ඩුවේ පාර්ශ්ව අතර එකඟතාවක් තිබෙන බවක් පෙනෙන්නේ නැත. ඒ නිසා ආරක්ෂාව පිළිබඳව මේ ආණ්ඩුව කියන දේවල් දෙස වුණත් ජනතාව බලන්නේ ඒ සැක සහිතවය. අනෙක් අතට අද මේ ආණ්ඩුවේ පැවැත්ම තිබෙන්නේ ටී.එන්.ඒ. සංවිධානයේ මන්ත්‍රීවරු 22 සහ මුස්ලිම් පක්ෂ දෙකේ මන්ත්‍රීවරු 11 දෙනා නිසා බව හැමෝම දන්නා කාරණයක්ය. ඒ නිසා ආණ්ඩුවේ අයගේ ජාතික ආරක්ෂාව පිළිබඳ කථාබහ පවතින්නේ පාර්ලිමේන්තුවේ තමන්ගේ බලය රැකගැනීමට යටත්ව බව පිළිගැනීමට අපහසුතාවක් නැත.

තවත් පැත්තකින් බැලුවහොත් මේ මොහොතේ මුස්ලිම් අන්තවාදයට සහාය දුන්නා යැයි කියන චෝදනාවලට ලක්වූ දේශපාලනඥයන් සිටින්නේ ආණ්ඩුවේම පැති දෙකෙන් එක පැත්තක බව ද පැහැදිලි කාරණයක්ය. මේ කියන දේශපාලනඥයෝ එක්කෝ ආණ්ඩුවේ බලසම්පන්න ඇමැතිවරුය. එසේත් නැත්නම් පළාත් සභාවල බලය හසුරුවන ආණ්ඩුකාරවරුය. ඒ අර්ථයෙන් පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ අය ඇල්ලුවාට මේ ත්‍රස්තවාදයට සහාය දෙන මුස්ලිම් දේශපාලනය පිළිබඳව තීරණාත්මක දෙයක් කරන්නට මේ ආණ්ඩුවට හැකියාවක් තිබේ යැයි මේ මොහොතේ කවුරුවත් විශ්වාස කරන්නේ නැති බව මගේ නිරීක්ෂණය. 

මා මේ සටහනින් සාකච්ඡා කරන්නේ මේ රටේ මුස්ලිම් දේශපාලනය අද වනවිට පත්වී තිබෙන මේ අර්බුද ජනක තත්ත්වයට හේතුවූ කරුණු කීපයක් පිළිබඳවය. ත්‍රස්තවාදය පැරදවීමට ආරක්ෂක අංශවලට හැකියාවක් ඇතත් මේ රටේ වාර්ගික දේශපාලනයේ මුස්ලිම් සාධකය පිළිබඳව යම් ආකාරයක මැදිහත්වීමක් කරන්නට හැකියාවක් ඒ අයට නැති බව සැබෑවක්ය. ඒ කාරණය කළ යුත්තේ දේශපාලන සමාජයේ සිදුකරන සාකච්ඡාමය මැදිහත්වීම් හරහා මිස මිලිටරිකරණයක් හරහා නොවන බව පිළිගත යුතුම සත්‍යයකි. මේ මොහොතේ රටේ පළල් දේශපාලන සිතියම තුළ මුස්ලිම් සාධකයේ  හැසිරීම පිළිබඳව බුද්ධිමත්ව සහ මැදිහත්ව බලන්නට නම් ඒ දේශපාලනය වර්තමානයේ තිබෙන තත්ත්වයට ගොඩ නැඟුණේ කෙසේද කියා විමසා බැලීම අතිශයෙන්ම වැදගත් කාරණයක් බව මගේ මතයය. අනෙක් අතට මේ ප්‍රශ්නය දෙස ඒ ආකාරයෙන් බලන්නේ නැතිව අඳුරේ අතපත ගෑමෙන් සිදුවන්නේ අනාගත දේශපාලනයේ මුස්ලිම් සාධකය පිළිබඳව තේරුම් ගැනීමේ හැකියාවත් නැති කරගැනීමටය.

ඉන්දු-චීන කලාපයේ රටවලින් මෙරටට පැමිණි මුල් මුස්ලිම් වෙළෙඳ ප්‍රජාවත් පසු කාලයේ මධ්‍යම ආසියාතික කලාපයෙන් පැමිණි මුස්ලිම්වරුනුත් මේ රටේ කුඩා වෙළෙඳ ප්‍රජාවක් ලෙසින් සිටි බව ඉතිහාසයේ මහනුවර යුගයේ සිටම පෙන්නුම් කරන කාරණයක්ය. මෙරට ඍජු යුරෝපීය යටත් විජිතයක්ව තිබූ පසුකාලයේ (එනම් ක්‍රි.ව. 1500 ට පසු කාලයේ) ප්‍රධාන සිංහල සමාජය සමඟ ආසන්න සම්බන්ධතාවක් ගොඩනඟා ගනිමින් හා මුහුදුබඩ පළාත් සහ කන්ද උඩරට අතර වෙළෙඳ ගනුදෙනු කරමින් සිටි මේ කණ්ඩායම් රට පුරා මුහුදුබඩ නගර රාශියකත් වෙනත් විවිධ අභ්‍යන්තර ගම්මානවලත් ජීවත්වූ බව ඉතාමත් පැහැදිලිය. ඒ අතරම සමහර ගම්මානවල සිංහල පවුල් හා මුස්ලිම් පවුල් අතර ආවාහ විවාහ වෙන තරමේ සම්බන්ධතාවක් ඒ කාලයේ තිබූ බව සමාජ විද්‍යානුකූලව මේ කාරණය දෙස බැලූ කල පෙනී යන කාරණයක්ය. මේ නිසා සමහර මුස්ලිම් පවුල්වල මුල් වාසගම් පටන් ගන්නේ සිංහල සමාජයේ තිබෙන වාසගම් සමග එක්වෙමින්ය. 

මෙරටට නිදහස ලැබෙන්නට පෙර සිටම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ පැවැති සමහර සාකච්ඡාවල මුස්ලිම් ජන කණ්ඩායම දෙමළ භාෂාව කථා කරන කාණ්ඩයක් ලෙසින් දෙමළ දේශපාලනයත් සමඟ එකට තබාගැනීමට මුලින්ම උත්සාහ කළේ පොන්නම්බලම් රාමනාදන් මහතාය. ඔහු ඉදිරිපත් කළ දෙමළ කථා කරන ජනවර්ගය එකක් ලෙසින් විශාල කර පෙන්වීමේ දේශපාලන ක්‍රියාදාමයට මුස්ලිම් ජනතාවත් එක් කර ගණන් ගැනීමේ උත්සාහය මේ රටේ මුස්ලිම් දේශපාලනයට මුලදීම එල්ල වූ අභියෝගයක් වූ බව පිළිගැනීම නිවැරැදිය. මේ ගණන් හැදීම ජී.ජී. පොන්නම්බලම්ගේ සමස්ත ලංකා දෙමළ සංගමයත් චෙල්වනායගම්ගේ ෆෙඩරල් පක්ෂයත් යන දෙගොල්ලන්ම පිළිගත් තර්කයක් විය. දේශපාලන ඉතිහාසයේ ප්‍රසිද්ධ ඉදිරිපත් කිරීමක් වූ පොන්නම්බලම්ගේ 50ට 50 යෝජනාව යනු සිංහල බහුතරයට පාර්ලිමේන්තුවේ හරි අඩක් සහ දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ වැනි අනෙක් සියලු සුළු ජාතිකයන්ට අනෙක් භාගය බෙදෙන පරිදි ව්‍යවස්ථාදයකත්වය බෙදීමය. 

1976 දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ :ඔඹඛත්‍* කියා නව සංවිධානයක් හැදුවේ ෆෙඩරල් පක්ෂයත් පොනම්බලම්ගේ පක්ෂයත් යන දෙකම එකතු කිරීමෙන්ය. පෙඩරල් පක්ෂයේ සිටි අමීර්තලිංගම් අලුත් ඔඹඛත්‍ එකේ ලේකම් වෙද්දි පොන්නම්බලම්ගේ පක්ෂයේ සිටි සිවසිත්තම්පරම් ඔඹඛත්‍ එකේ සභාපති වූයේ ඒ පක්ෂ දෙකේ එකමුතුව සනිටුහන් කරමින්ය. ඒ අය 1977 මැතිවරණයට ගියේ මුස්ලිම් ජාතිකයන් යනු දෙමළ කථා කරන නිසා දෙමළ එක්සත් පෙරමුණට ඡන්දය දිය යුතු යැයි තර්කයේ පිහිටුවමින්ය. පසුකාලයක මුස්ලිම් කොංග්‍රසය හැදූ අෂ්රොෆ් මහතා ද 1977 මැතිවරණයේදී උදව් කළේ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණටය. එහෙත් 1977 ඡන්ද ප්‍රතිඵලයෙන් පෙන්නුම් කළේ නැගෙනහිර පළාතේ මන්ත්‍රී ආසන තුනක් හැරෙන්නට අනෙක් ඒවායේ බහුතරය එජාපයට ගියා මිස දෙමළ සන්ධානය දිනුවේ නැති බවය. මේ තත්ත්වය හරියටම තේරුම් ගත් මුස්ලිම් නායකයා වූයේ අෂ්රොෆ්ය. ඔහු 1989 මැතිවරණයේදී නැගෙනහිර මුස්ලිම් ජනතාව නියෝජනය කරන්නට වෙනමම පක්ෂයක් හැදුවේ මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින්ය. අනෙක් අතින් 1983 සිට උතුරේ මතුවෙමින් තිබූ වාර්ගික දේශපාලනය ත්‍රස්තවාදයක් කරා පරිවර්තනය වෙමින් තිබූ තත්ත්වයක් තුළ නැගෙනහිර මුස්ලිම් තරුණයන් එල්.ටී.ටී.ඊ.කරණය වීම වළක්වන්නට නම් අලුත් දේශපාලන ව්‍යාපෘතියක් අවශ්‍ය බව අෂ්රොෆ්ගේ අදහස විය. එය ඉතාමත් නිවැරැදි හා ඉදිරිගාමී ගණන් බැලීමක් බව මෙහිදී සඳහන් කළ යුතුය. 

අෂ්රොෆ් ගේ මුස්ලිම් කොංග්‍රස් දේශපාලනය පසුකාලයේ ගමන් කළේ කුමන දිසාවට ද යන කාරණයත් මෙහිදී විමසිය යුතුම ප්‍රශ්නයකි. එහෙත් ඊට පෙර අපේ අවධානය යොමුවිය යුත්තේ දෙමළ දේශපාලනයට හසු නොවූ මුස්ලිම් දේශපාලනයක් මේ රටේ දකුණේ හා නැගෙනහිර පළාත්වල 1947 සිටම පැවත ආ බවය. මේ රටේ 1947 සිට පැවති සෑම මැතිවරණයකදීම පාහේ සැලකිය යුතු මුස්ලිම් ඡන්ද ප්‍රමාණයක් ලබාගැනීමට එක්සත් ජාතික පක්ෂයට හැකිවූ බව මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය. 1952 සිට පසුගිය කාලය දක්වාම ශ්‍රීලනිපයටත් දකුණේ මුස්ලිම් ඡන්ද අතර එජාපය සමඟ කරට කර සිටින්නට හැකිවූ බවත් අප අමතක නොකළ යුතු කාරණයක්ය. ඒ සියල්ලටම වඩා අපගේ අවධානය යොමු විය යුතු කාරණයක් වන්නේ 1960 සිට ආරම්භ වූ සිරිමා බණ්ඩාරනායකගේ ශ්‍රීලනිපය තුළ මුස්ලිම් සමාජයට අනෙක් කිසිම දේශපාලන පක්ෂයකින් නොලැබෙන ආකාරයේ පිළිගැනීමක් ලැබුණ බවය. ප්‍රධාන දේශපාලන පක්ෂයක ජාතික නායකත්වයක් සුළු ජාතික නායකයකුට මුලින්ම ලැබුණේ බදිඋද්දීන් මොහොමඞ් ශ්‍රීලනිපයේ ලේකම් තනතුරට පත්වීමෙන් බව සිහිපත් කිරීම මෙහිදී ඉතාමත් අවශ්‍යය. එපමණක් නොව 1970 ආණ්ඩුවේ අධ්‍යාපන ඇමැති ධුරය බදිඋද්දීන්ට ලබා දීමෙන් පෙන්නුම් කරන්නේ ශ්‍රීලනිපය හා මුස්ලිම් සමාජය අතර ඒ දවස්වල තිබූ ළඟ සම්බන්ධතාවේ තරමය. ඔහුට පෙර අධ්‍යාපන ඇමැතිකම හෙබවූයේ කන්නන්ගර, නුගවෙල කළුගල්ල, ඊරියගොල්ල වැනි ප්‍රධාන සිංහල දේශපාලනඥයන් බව පිළිගන්නා තත්ත්වයක් තුළ 70 රජයේ මේ තීරණය බරපතළ දේශපාලන තීරණයක් වූ බව පිළිගැනීමේ වැරැද්දක් නැත. ඊට අමතරව හලීම් ඉෂාක්, අලෙවි මවුලානා, ෆවුසි වැනි නායකයන් ගණනාවක්ම ශ්‍රීලනිපයේ මුස්ලිම් පාර්ශ්වය නියෝජනය කළ බව සැබෑවක්ය. ප්‍රධාන දේශපාලන ධාරාව සමඟ මුස්ලිම් සමාජයේ තිබූ මේ සම්බන්ධතාවය එජාපය පැත්තෙන් පෙන්නුම් කළේ මේ වගේ ධනාත්මක හැසිරීමක්ය. පුත්තලමේ නයින මරික්කාර්, බේරුවල බකීර් මාකාර්, කොළඹ මොහොමඞ්, මහනුවර හමීඞ් වැනි අය මෙහිදී අපේ මතකයට නැඟෙන එජාපයේ මුස්ලිම් නායකයෝය.

ප්‍රධාන ධාරවේ මුස්ලිම් දේශපාලනය විසින් නැගෙනහිර පළාත අත්හැරෙමින් තිබීමත් උතුරෙන් මතුවෙමින් ආ ත්‍රස්ත දේශපාලනයට මුස්ලිම් තරුණයන්ගේ ආකර්ෂණය ඇතිවීමත් යන හේතු දෙක මුල් කරගනිමින් අෂ්රොෆ් මැතිතුමා ආරම්භ කළ මුස්ලිම් කොංග්‍රසයේ කාර්යභාරය 1998 පමණ වෙද්දී නිමාවට පත්වෙමින් තිබූ බව එතුමාම තේරුම් ගත් බව පෙන්නුම් කරන්නේ ඔහු විසින්ම නව දේශපාලන  ව්‍යාපෘතියක්  (ජාතික සමගි පෙරමුණ) ගොඩ නඟන්නට දැරූ උත්සාහයෙන්ය. එහෙත් ඔහුගේ අභාවයත් සමඟ ඒ ව්‍යාපෘතිය අසාර්ථක වූ බව පෙනී යන අතර නැගෙනහිර මුස්ලිම්වරුන් මුස්ලිම් කොංග්‍රසය හරහාත් උතුරේ මුස්ලිම්වරුන් රිෂාඞ් බඩියුඩීන්ගේ පක්ෂය හරහාත් ආගමික දේශපාලනයක් බරපතළ ව්‍යසනයක් කැඳවන තරම් ඈත ඉමකට රැගෙන ගිය බව මගේ මතයය. 

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ වූයේ මේ දේශපාලන ව්‍යාපාරවල අය නොවූවත් ආගමික දේශපාලනයේ එක් අනිවාර්ය ප්‍රතිඵලයක් මේ ප්‍රහාර සමඟ ගැට ගැසී ඇති බව අපගේ අවධානයට ගැනීම අවශ්‍යය. මේ ත්‍රස්ත ප්‍රහාරය හා එයට සම්බන්ධ අය නීතියේ රැහැනට ගෙන ඒමට ආරක්ෂක අංශවලට හැකියාව තිබුණත් මේ පන්නයේ අනාගත ව්‍යසන පරාජයට පත් කළ හැක්කේ මුස්ලිම්  දේශපාලනය යම් ආකාරයකට ප්‍රධාන දේශපාලන ධාරාව සමඟ ගැටගැසීමෙන් බව මගේ යෝජනාවය. ඒ නිසා අනාගතයේ එජාපයත් එසේම පොදුජන පක්ෂය (පොහොට්ටුව) හා එයට අයත් සන්ධානය විසින් මුස්ලිම් දේශපාලනය ජාතික දේශපාලනමය මහා පොදු සාධකය තුළට දමා ගනු ලබන්නේ නැතිව මේ ප්‍රශ්නයට දීර්ඝකාලීන විසඳුමක් නොලැබෙන බව මගේ මතයය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය චරිත හේරත්