(ගයාන් සූරියආරච්චි)

අන්තර්ජාතික විදුලි හා විද්‍යුත් ඉංජිනේරු  ආයතනයේ (IEEE ) සංවේදක කවුන්සිලය විසින් ඇමෙරිකා එක්සත් ජනපදයේදී සංවිධානය කළ නව නිර්මාණ සහ ඉදිරි තාක්ෂණය හඳුන්වාදීමේ සමුළුවේදී පර්යේෂණ 1049 ක් අතරින් අවසන් 33 දෙනා අතරට පිවිසීමට මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත‍්‍රික ඉංජිනේරු අංශයේ නව නිර්මාණකරුවෝ තිදෙනෙක් පසුගියදා සමත්වූහ.

මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත‍්‍රික ඉංජිනේරු අංශයේ එරංග ද සිල්වා, පේශාන් සම්පත්, ඉසුරු උදයංග මුද්‍රණ තාක්ෂණය උපයෝගී කර නිපදවූ ‘බල සංවේදකය’ අවසන් නිර්මාණ 33 අතරට තේරී පත්විය.

බල සංවේදකයක් යනු භෞතික වශයෙන් යොදන බලය විද්‍යුත් තරංගයක් බවට පරිවර්ථනය කරන උපකරණයකි. විද්‍යාව හා තාක්ෂණය ප‍්‍රචලිත කිරීම වෙනුවෙන් ලෝකයේ කීර්තියක් දිනා සිටින විදුලි හා විද්‍යුත් ඉංජිනේරු ආයතනයේ මෙම සමුළුව නියෝජනය කිරීමට ශ්‍රී ලංකාවෙන් ප‍්‍රථම වතාවට මොරටුව විශ්වවිද්‍යාලයට වාසනාව උදාවිය. මෙම සමුළුවට ලෝකයේ තාක්ෂණයෙන් දියුණු රටවල් 45 ක් පමණ සහභාගි වූ අතර එය ඇමෙරිකාවේ  ඕලන්ඩෝ නගරයේදී පැවැත්විණි.

ත‍්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය සහ නව තාක්ෂණික මූලද්‍රව්‍ය උපයෝගී කරගෙන මෙම බල සංවේදකය නිර්මාණය කෙරුණු අතර එවැනි බල සංවේදකයක් ලංකාවේ නිපදවූ ප‍්‍රථම අවස්ථාවද මෙයවේ.

මෙය නිපදවීමේදී මයික්‍රෝ නැනෝ සංවේදක නිපදවීම පිළිබඳව පුළුල් ඇත්දැකීම් සහිත මොරටුව විශ්ව විද්‍යාලයේ මෙකාට්‍රොනික්ස් සම්බන්ධීකාරක, යාන්ත‍්‍රික ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ආචාර්ය රංජිත් අමරසිංහ මහතාගේ මඟ පෙන්වීම යටතේ මෙය නිර්මාණය විය. මේ සඳහා ද්‍රව්‍ය හා විද්‍යා ඉංජිනේරු අධ්‍යනාංශයේ අංශ ප‍්‍රධානී, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සම්පත් වේරගොඩ සහ ජපානයේ සපෝරෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අට්සුශි මිටානි යන මහත්වරුන්ගේ සහායද ලැබිණි.

ත‍්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය බොහෝ දුරට ගෘහ නිර්මාණ ශිල්පීන්, ග‍්‍රැෆික් නිර්මාණකරුවන්, පාසල් දරුවන් විසින් නොයකුත් අනුරූ නිර්මාණය කිරීමට යොදාගත්තද සංවේදකවල අභ්‍යන්තරික ව්‍යුහාත්මක ලක්ෂණ පාලනය කරන ක‍්‍රමවේද සිදුකිරිමට යොදා ගන්නා ප‍්‍රවණතාව ඉතා අඩු මට්ටමක පවතී. ඒ අභියෝගයට මුහුණදෙමින් බල සංවේදකයේ අභ්‍යන්තරික ව්‍යුහාත්මක ලක්ෂණ ගණිත සංකල්ප සහ සමාකෘතික ක‍්‍රමවේද උපයෝගී කරගෙන එහි සැකැස්ම නිර්මාණය කළ අතර පසුව ත‍්‍රිමාණ තාක්ෂණයෙන් මෙහි මූලික කොටස් ඔවුහු නිපද වුහ.

‘‘මෙම බල සංවේදකය නිපදවීමේදී මෙහි ආකෘතිය ත‍්‍රිමාණ තාක්ෂණයෙන් නිර්මාණය කරන්නේ කොහොමද, එය ගණිත සංකල්ප යොදාගෙන ආකෘතියක් පරිදි නිර්මාණය කරන්නේ කොහොමද කියන එක ගැන අපි ආරම්භයේදී සොයාබැලූවා. එම ගණිතමය ආකෘතියට අනුව මෙම සංවේදකය අභ්‍යන්තරික ව්‍යුහය යොදන බලයට අනුව පාලනය කිරිමට හැකිවන පරිදි අප නව තාක්ෂණික මූලද්‍රව්‍ය වලින් සංවේදක කොටස් නිර්මාණය කළා. ඉන්පසුව මෙහි ක‍්‍රියාකාරීත්වය සහ ගති ලක්‍ෂණ පූර්ණ වශයෙන් විශ්ලේෂණය කළා. එය ඉතා සාර්ථකත්වයට පත්වුණා.

මෙම සංවේදකය පරිශීලකයන්ගේ පහසුව සඳහා මයික්‍රෝ කොන්ට්‍රෝලරයක් සහිත ඉලෙක්ට්‍රෝනික පරිපථයක් හරහා නිකුත් වෙන විද්‍යුත් තරංග දත්ත හුවමාරු කෙරෙන යූ.එස්.බී. දත්ත හුවමාරු ක‍්‍රමය සහ විශේෂිතව නිපදවූ මෘදුකාංගයක් පරිගණකයට ස්ථාපනය කර මෙහි ඉලෙක්ටෝනික දත්ත දර්ශනය කිරීමට සහ නිරීක්‍ෂණය කිරීමට හැකිවන පරිදි වැඩි දියුණු කළා.

මෙම බල සංවේදකය නව සංකල්පයක් තුළින් අවම පිරිවැයකින් නිර්මාණය කර සංවේදක සමුළුවේ නව මාවතක ගමන් කිරීමට අපට හැකිවුණා. බොහෝ දියුණු රටවල් අධි තාක්ෂණික උපකරණ ඉදිරිපත්කර තිබුණා. ඒ වෙනුවෙන් විශාල මුදල් ආයෝජනය කර තිබුණා. ඒ සියලූ අභියෝග අභිබවා මුදල් සහ සම්මාන ලබමින් අපට අවසන් 33 අතරට පැමිණීමට හැකිවුණා.

ඇමෙරිකාවේ (IEEE) ආයතනය සංවිධානය කළ සමුළුවට සහභාගි වීමට අවස්ථාව ලැබිම ශ්‍රී ලාංකික නිර්මාණකරුවන් හැටියට අප ලද ජයග‍්‍රහණයක් කියන්න පුළුවන්. ලෝකයේ තාක්ෂණයෙන් දියුණු බොහෝ රටවල් අවසන් 33 දෙනාගෙන් ඉවත්වන විට ශ‍්‍රී ලංකාව වැනි කුඩා රටකට ඒ තැනට යන්න ලැබීම ගැන තිබෙන්නේ නිහතමානී ආඩම්බරයක්. විශේෂයෙන් අප විශ්ව විද්‍යාලයේ පර්යේෂණ සනාතන මණ්ඩලය ලබාදුන් සහාය සහ මේ සඳහා උපකාර කළ සියලූ දෙනාටම ස්තූති කිරීමටත් අප මෙය අවස්ථාවක් කර ගන්නවා.’’ යැයි ආචාර්ය රංජිත් අමරසිංහ මහතා පැවැසීය.