විදුලකර පිරිවෙනේ භික්‍ෂු සටන් - 04

 

1952 දී අගමැති පදවියට පත් ඩඞ්ලි සේනානායක මහතා පරිවේණාධිපති නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගනියි.

 

 

මහා සංඝායනාවලින් පසු භික්‍ෂුත්වය පිළිබඳ නිවැරැදි බුද්ධ දේශනය සමාජය වෙත හෙළිපෙහෙළි කිරීමේ අදිටනින් 1959 දී විද්‍යාලංකාර පිරිවෙනේ 75 වන සංවත්සරය වෙනුවෙන් ‘විද්‍යාලංකාර ත්‍රිපිටක ධර්ම සංගීතිය’ සංවිධානය කරනු ලැබුවේද යක්කඩුවේ නාහිමියන්ගේ මූලිකත්වයෙනි.

 

යක්කඩුවේ හාමුදුරුවන් පිළිබඳ අපූරු කතා පෙළක් ජනතාව අතර ප්‍රසිද්ධය. “දවල් නිදන රෑ නොනිදන හාමුදුරුවෝ” යැයි උන්වහන්සේ හඳුන්වන්නේය. උන්වහන්සේ මුළු ලොවම සැතපෙන රෑ යාමයේ පොතපත ලිවීමටත්, ග්‍රන්ථ පරිශීලනයටත් ඉදිරි සැලසුම් ක්‍රියාත්මක කිරීමටත්, පිරිවෙනේ විනය කටයුතු සොයා බැලීමටත් නිදිවරමින් වෙහෙසුණහ.


ගිහියෙකුටවත්, දේශපාලනඥයකුටවත් කිසිදා නොසිතෙන, නොදැනෙන හා නොකළ හැකි අපූරු සැලසුම් පිරිවෙන් අධ්‍යාපනයේ භෞතික හා න්‍යායික දියුණුව සඳහා සැලසුම් කළහ.


විද්‍යාලංකාර පිරිවෙනට විශ්වවිද්‍යාල තත්ත්වය ලබාදීම පිළිබඳ පිරික්සීමටත් පිරිවෙනේ උපාධි ප්‍රදානෝත්සවයටත් ආරාධිතයා ලෙස පැමිණි ඉන්දීය ජනපති ශ්‍රී සර්වපල්ලි රාධක්‍රිෂ්ණන් යක්කඩුවේ නාහිමියන් ගැන මෙසේ පැවසූ බව ආචාර්ය වල්පොල රාහුල හිමියෝ පැවසූහ.


“ඇත්තෙන්ම කෙනෙකුට පිටතට පෙනෙන්නේ ගොඩනැගිල්ල පමණයි. එහි අත්තිවාරම පෙනෙන්නේ නෑ. හරියටම යක්කඩුවේ හාමුදුරුවෝ වගෙයි.”


යක්කඩුවේ නාහිමියන්ගේ විප්ලවකාරී ක්‍රියාපටිපාටියට උරදුන් බලකණු රැසක් පිරිවෙන තුළ වූහ. කොටහේනේ පක්‍ද්ක්‍දාකීර්ති, හැඩිපන්නල පක්‍ද්ක්‍දාලෝක, බඹරැන්දේ සිරිසීවලී, නාත්තන්ඩියේ පක්‍දක්‍දාකර යන චරිත ඒ අතින් පෙරමුණේ තිබිණ.


විශේෂයෙන් කාලය සඟරාවේ සංස්කාරක ලෙස මෙරට ප්‍රතිගාමි, දුර්මතධාරී සමාජයට කොටහේනේ පක්‍ද්ක්‍දාකීර්ති හිමියන් එල්ල කළ නිර්දය විවේචනාත්මක ප්‍රහාර ලේඛනකලාවේ නවමං හෙළිකළ බව විද්වතුන්ගේ මතයයි.


“මං දර්ශනය ගැන පොත ලියන්නෙ


වයස පනහ පහු වුණාමයි” ජනහදවත් වලට ඇමතූ උන්වහන්සේ නිතර පැවසූ වදනකි.


විද්‍යාලංකාර භික්‍ෂූ පරපුරේ ආරම්භක නා හිමිවරු සියල්ලෝම ලේඛනකලාව, වාග් කෞශල්‍යය හා ඇවැසි තැන නැගී සිටීම යන ගුණාංගයන්ගෙන් යුක්තය. ඓතිහාසික විද්‍යාලංකාර ප්‍රකාශනය තුළින් දේශපාලන පරපුට කවරෙක්දැයි දැයට හඳුන්වා දුන්නේ යම්සේද එම පණිවුඩය රටේ අස්සක් මුල්ලක් නෑර ගෙනයාමේ ගෞරවය හිමිවන්නේ කොටහේනේ පක්‍ද්ක්‍දාකීර්ති හිමියන්ගේ කාලය සඟරාවටය.


“වියට්නාම් බෞද්ධ ජනතාවගේ නිදහස් සටනට අපේ ගෞරවයත් අනුමැතියත් පිරිනමන අතර නිදහස් සමූහාණ්ඩුව වැනසීම සඳහා ප්‍රංශ ආණ්ඩුව කරගෙන යනු ලබන අසාධාරණ ක්‍රියාමාර්ගයට ආධාර නොදෙන ලෙස මේ රටේ ආණ්ඩුවෙනුත් මේ මහා සංඝසභාව ඉල්ලා සිටී.”


“ලංකා පාර්ලිමේන්තුවේ ආයතන සඳහා තරගකරන සිංහල හා දෙමළ අයැදුම්කරුවන් අතරින් හොඳින් ස්වභාෂාවෙන් ලිවිය හැක්කවුන් පාර්ලිමේන්තුවේදී ස්වභාෂාවලින් කථාකිරීමට පොරොන්දුවන්නාවූත් අයට පමණක් ඡන්දය දිය යුතුය.”


“මේ ශ්‍රී ලංකාද්වීපය ස්වාධීන, ස්වෛරී, ස්වතන්ත්‍ර උරුමයට හිමිකම් ඇති රාජ්‍යයකි. අන්‍ය බලයකට, රාජ්‍යයකට හෝ කිරීටයකට යටත්ව පාක්‍ෂපාතීව නොසිටිමු.”


මෙවැනි අභීත ප්‍රකාශවලින් ‘කාලය’ පුවත්පත ජීවමානව තිබිණ. ‘කොටහේනේ පක්‍ද්ක්‍දාකීර්ති හිමියන් ලංකා එක්සත් භික්‍ෂූ බලමණ්ඩල ව්‍යාපාරයෙහි පතාක යෝධයකු වූ අතර දේශපාලන අදහස් වලින් ජනතාව සන්නද්ධ කළහ. එපමණකින් නොනැවතී රටේ සංවර්ධනය සඳහා සාමාජික හා සංස්කෘතික සංවර්ධනය සඳහා වූ සැලැස්මක්ද ජනතාව වෙත හඳුන්වා දුන්නා. “දේශපාලන බණ” ලෙස සමහරු හැඳින්වූ දේශන මාලාවක් ජනගත කිරීමට කාලය පුවත්පත මුල් තැන ගත්තේය.


පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන වනාහි ආයතනයත්, සම්බුද්ධ ශාසනයත්, දේශපාලන ක්‍ෂේත්‍රයත්, සමාජයත්, ඔකඳකළ භික්‍ෂු පරපුරක කේන්ද්‍රස්ථානයකි. එසේම ව්‍යාකරණානුකූල  ව්‍යවහාරික හා ශාස්ත්‍රීය හෙළ බසත් රැකගෙන ජාත්‍යන්තරයට ගෙනගිය විද්වත් ආයතනයකි. බටහිර අධිරාජ්‍ය ගැති ප්‍රතිපත්ති නිසා නැඹුරු වූ දේශපාලන බලවේගයන් බලයට පත්වූ වහාම සිදුකළේ විද්‍යාලංකාර පිරිවෙනට අරියාදු කිරීමය.


ඊට හේතුව ජනතාව දැනුම්වත් කරමින් බි්‍රතාන්‍ය කීරිටයටත් අන්‍යාගමික බලපෑම්වලටත් සිංහල බෞද්ධ සංස්කෘතිය වනසන බලවේගවලටත් එරෙහි සටන් කළ බැවිනි.


“ජනතාවගේ යහපතට බලපාන ඕනෑම ලෞකික - ලෝකෝතත්ර ක්‍රියාමාර්ගයක් භික්‍ෂුවට සුදුසුය. එය දේශපාලනය ලෙස නම්කළද එය වරදක් නොවේ.” මේ විද්‍යාලංකාර පිරිවෙනේ මුඛ්‍යපාඨයයි. මේ අනුව සැබෑ ජනමතයට ගරුකරන රජයක් පිහිටුවීමට 1956 සිට විද්‍යාලංකාර භික්ෂූහු ආයතන මට්ටමින්, සමාජීය මට්ටමින් මෙන්ම දේශපාලන මට්ටමින් පැවැත්වූ ජන හමු සංවිධානය කළහ.


එසේ ක්‍රියාශීලි ප්‍රගතිශීලි භික්‍ෂූන් වහන්සේ නමක් ලෙස මහාචාර්ය බඹරැන්දේ සිරි සිවිලි හිමියෝ දැක්විය හැක. සුන්දර රූපකායකින්ද, ව්‍යක්ත සරල සුගම භාෂා ශෛලියකින්, ව්‍යවහාර හා ලේඛන බසින්ද, ජනාදරයට පත් උන් වහන්සේ වටා ගෙතුණු කතා රැසකි.

 

1952 දී අගමැති පදවියට පත් ඩඞ්ලි සේනානායක මහතා පරිවේණාධිපති නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගනියි.

 


1908-06-20 දින දෙවිනුවර බඹරැන්ද ගම්මානයේ උපත ලබා කුරුඹුරේ රජමහා විහාරයෙන් සිංහල, පාලි සහ සංස්කෘත භාෂා දැනුම ලැබ 1917 දී පැවිදි බව ලැබූ උන්වහන්සේ 1931 දී මහනුවරදී උපසම්පදාව ලදහ.
මල්වතු මහා සංඝ සභාව වෙත විද්‍යාලංකාර පිරිවෙන්පති ගුරු හිමියන්ගේ චරිතාපදානය අඩංගු ශ්‍රී ධර්මාරාම සාධු චරිතය ලියාපිළිගැන් වූ අතර ඉන් ප්‍රසාදයට පත් සංඝ සභාව උන්වහන්සේට “ශ්‍රී” නාමය පුදකළ අතර බඹරැන්දේ සිරිසීවලී නම්විය.


වාමාංශික දේශපාලනය ඇසුරින් ලියැවුණු හා ගැමි සුවඳ අතොරක් නොමැතිව විහිදෙන ග්‍රන්ථ 65ක් උන්වහන්සේ පාඨකයන්ට පිරිනැමූහ. ඒවායෙහි බැලූ බැල්මට දේශපාලන කරුණු නොවීය. එහෙත් 1936 දී කාශී විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබද්දී ලියූ ‘ඉතාලියේ දෙපිටකාට්ටුකම’ නම් දේශපාලන ලිපිය මනස ආන්දෝලනයකට ලක් වූ බව කියති.


තම කෘති පෙරදිග මෙන්ම අපරදිග භාෂා රැසකට පෙරළීමේ කුසල ඥානය සිරිසීවලි හිමියන්ට විය. මේ අතරින් උන්වහන්සේ කළ ‘යසෝදරා හින්දු නාට්‍යය’ දෙවැනි වූයේ ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන්ගේ ජාතික දරු නැළවිල්ලට පමණි.


පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ කලින් කල පැවැති දේශපාලන භික්‍ෂූ සටන් ව්‍යාපාරවලට කෙළින්ම සම්බන්ධ වූ සිරිසීවලී හිමියෝ කාර්යශූරව එහි නියැළුණහ. පෑනද, කථිකත්වයද එකලෙස බලවත් වූ සිරිසීවලී හිමියන් දැකබලා ගැනීමටත් දෙසුම් ඇසීමටත් ජනතාව මැතිවරණ වේදිකාව වටා රොක් වූ වකවානුවක් තිබිණ. ඒ 1959 - 1960 යුගයයි.

 

 


මතු සම්බන්ධයි.

 

ඡායාරූප / සටහන :
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි