1971 අප්‍රේල් අරගලයට පසුගිය අප්‍රේල් 5 වැනිදාට වසර 47 කි. මෙරට දේශපාලනයට 71 අප්‍රේල් අරගලය තරම් ගුණාත්මක බලපෑමක් ඇති කළ වෙනත් සිදුවීමක් නොමැති තරම්ය. එහෙත් 71 අප්‍රේල් අරගලය සම්බන්ධයෙන් විවිධ මතවාද පවතී. එය එසේ වුවද වඩාත් වැදගත් වන්නේ 71 අරගලයේ සැබෑ හිමිකරුවා වන ජනතා විමුක්ති පෙරමුණ ඒ සම්බන්ධයෙන් දරණ මතය වේ. ජනතා විමුක්ති පෙරමුණ විසින් 2012 වසරේදී ප්‍රකාශයට පත් කළ පක්ෂයේ ඉතිහාසය 1965 - 1994 කෘතියෙහි. අප්‍රේල් අරගලයට සම්බන්ධ මෙම උපුටනය ඒ නිලමතය අවධාරණය කරනු පිණිසය.


1989 කුරිරු මර්දනයෙන් පසු සතුරන් ජ.වි.පෙ. පිළිබඳව පළකළ සියලු අනාවැකි බොරු කිරීමට මේ අනුව ජ.වි.පෙ. සමත්විය. 1989 දී රෝහණ සහෝදරයා ඝාතනය කිරීමෙන් පසු එවකට නියෝජ්‍ය ආරක්‍ෂක ඇමති ධූරය දැරූ රංජන් විජේරත්න මාධ්‍යවලට පවසා තිබුණේ, “මැච්එක අවසානයි” කියාය. පංති සතුරා ජ.වි.පෙ. අවසාන බව කියද්දී පක්‍ෂයේම දුර්වලයින් හා පාවාදුන් අය පක්‍ෂය යළි ගොඩනැගිය නොහැකි බව පුන පුනා සහතික කර තිබුණි. එහෙත් සැබෑ විප්ලවවාදීන් ලෙස කටයුතු කළ සහෝදරවරු රෝහණ විජේවීර සහෝදරයා අහිමිව සිටියදී පවා යළි පක්‍ෂය ගොඩගැනීම මඟින් ජ.වි.පෙ. කෙබදු දේශපාලන ව්‍යාපාරයක්ද යන්න ඔප්පු කර පෙන්වූහ. ජ.වි.පෙ. මේ වන විටත් අපේ රටේ ප්‍රධාන වමේ ව්‍යාපාරය වන අතර ප්‍රධාන දේශපාලන පක්‍ෂ තුනෙන් එකක් බවට පත්වී ඉදිරියටම ගමන් කරමින් සිටී.


ජ.වි.පෙ. ඉතිහාසයේ ප්‍රධාන සංධිස්ථාන කිහිපයක් තිබේ. ඉන් පළමුවැන්න 1965 මැයි 14 නව පක්‍ෂයකට උපත දෙමින් රෝහණ සහෝදරයා පැවැත්වූ අක්මීමන සාච්ඡාවය. ඉන්පසු 1971 අප්‍රේල් නැගිටීම මර්දනය කිරීම සමඟ ජ.වි.පෙ. එක් පරිච්ඡේදයක් නිමාවූ අතර 1977 සිට ජ.වි.පෙ. අලුත් ජවයකින් යළි ගමන් ඇරඹීය. නව දේශපාලන පරිච්ඡේදයක් වෙත පා තැබීය. යළි 1983 දී පක්‍ෂයට ප්‍රජාතන්ත්‍රවාදය අහිමිකරමින් පක්‍ෂය තහනම් කිරීමත් සමඟ ප්‍රසිද්ධ දේශපාලනයේ පරිච්ඡේදය අවසන් වී යළිත් රහසිගත දේශපාලනය ආරම්භ විය. දේශප්‍රේමී සන්නද්ධ අරගලය 1987 දී ආරම්භ වූවේ, ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කරනු ලැබ ඉන්දියාවට ලංකාව පාවා දෙනු ලැබ තිබු එම වකවානුව තුළය. 1989 රෝහණ සහෝදරයා ඇතළු පක්‍ෂ නායකයන් ඝාතනය කිරීමත් සමඟ ජ.වි.පෙ. තවත් දේශපාලන පරිච්ඡේදයක් නිම විය. ඉන්පසු ජ.වි.පෙ. අලුත් දේශපාලන පරිච්ඡේදයකට පා තැබුවේ 1994 මහ මැතිවරණය සමඟය.


1965 සිට ගෙවුණු වසර 46 ක කාලය තුළ 1970-71 කාලයේ හා 1983-89 කාලයේ සතුරාගේ මර්දනයට මුහුණ දීමට ජ.වි.පෙ.ට සිදුවිය. එසේම දෙවරක් සතුරු පංතියේ මර්දනයට එරෙහිව මෙන්ම විදෙස් ආක්‍රමණවලට එරෙහිව ජ.වි.පෙ අවි දැරූ සටන් දෙකකටද නායකත්වය දී තිබේ. එහිදී දහස් ගණනක් විප්ලවවාදී සොයුරු සොයුරියෝ දිවිපිදූහ. වසර 46 ක් ජ.වි.පෙ. ඉදිරියට ගියේ රෝසමල් ඇතිරූ සුමට මඟක නොවේ. අභියෝග, අර්බුද කුමන්ත්‍රණ,  පාවාදීම් ද්‍රෝහිකම්, කල්ලිවාදයන්, මර්දනයන්, ඝාතනයන් මැදින් පක්‍ෂය ආ එම ගමන අතිශය සංකීර්ණ හා දුෂ්කර එකක් විය. ඒ ගමන්මග තුළ ජ.වි.පෙ ජයග්‍රහණ මෙන්ම පරාජයන්ද ලැබීය. ඒ ගමන්මඟ තුළ පක්‍ෂය පෙන්වූ සාධනීය ලක්‍ෂණ මෙන්ම නිෂේධනීය ලක්‍ෂණද විය. හොඳ දේ මෙන්ම අඩුපාඩුද විය. ජ.වි.පෙ. මාක්ස් - ලෙනින්වාදී පක්‍ෂයක් ලෙස සැමවිටම එහි අඩුපාඩු තේරුම් ගනිමින් ඒවා නිවැරදි කර ගනිමින් ඉදිරියට ආ පක්‍ෂයකි.


මේ ගෙවුණු සමස්ත කාලය තුළ ජ.වි.පෙ. විවිධ උපක්‍රම තෝරා තිබේ. ක්‍රියාමාර්ග ගෙන තිබේ. ඒවායේ සාධනීය ප්‍රතිඵල මෙන්ම සමහර විට නිෂේධනීය ප්‍රතිඵලද තිබේ. එහෙත් ජ.වි.පෙ. කිසිවිටකත් පංතිය පාවාදී නැත. පංතියට ද්‍රෝහී වී නැත. මරණය ඉදිරියේදී පවා පංතියත් තම දේශපාලන අරමුණුත් පාවා නොදුන් පක්‍ෂයක් ලෙස ජ.වි.පෙ.ට හිමි ගෞරවය කිසිවෙකුට කෙලෙසිය නොහැක.


ගෙවුණු ඉතිහාසය තුළ බාහිර සතුරන්ගේ (ධනපති පංතියේ) ප්‍රහාරයන්ට මෙන්ම අභ්‍යන්තර සතුරන්ගේ ප්‍රහාරයන්ට, කුමන්ත්‍රණයන්ට හා පාවාදීම්වලට මුහුණ දීමට ජ.වි.පෙ.ට සිදුවිය. 1970-71 මර්දන සමයේත් 71 අරගලයෙන් පසු සිරගෙවල්වලත් 1983 සිට තහනම්ව පැවති සමය තුළත් 1988-89 ලේ වැකි මර්දනය තුළත් 1994 සිට යළි ප්‍රසිද්ධ දේශපාලනය තුළත් දැවැන්ත අත්දැකීම් සම්භාරයකට ජ.වි.පෙ මුහුණු දී ඇත. අභ්‍යන්තර කල්ලිවල කුමන්ත්‍රණ, මහා පාවාදීම්, ද්‍රෝහීකම් හමුවේ විශාල ලෙස හානි සිදුවෙද්දී පවා ඒ සියල්ල පරාජය කරමින් පෙරට යාමට ජ.වි.පෙ සමත් වී තිබේ. එය සුවිශේෂී අත්දැකීමකි. දේශපාලන ව්‍යාපාර වර්ධනය වන්නේ, න්‍යාය හා භාවිතය යන දෙපාර්ශ්වයේම ක්‍රියාකාරිත්වය හා ඉන් ලබන අත්දැකීම් තුළය. පහරදීමට මෙන්ම පසුබැසීමටද දේශපාලන පක්‍ෂ උගත යුතු අතර දේශපාලන පක්ෂ එය ඉගෙන ගන්නේ, ඒවායේම අත්දැකීම්වලිනි. මේ පිළිබඳව ලෙනින් වරක් මෙසේ පවසා තිබිණි.

 


“විප්ලවවාදී පක්‍ෂවලට ඒවායේ අධ්‍යාපනය සම්පූර්ණ කර ගැනීමට සිදුවිය. ඔවුහු පහර දෙන ආකාරය ගැන උගෙන ගනිමින් සිටියහ. එවැනි දැනුමට අමතරව, ක්‍රමානුකූලව පසුබසින්නේ කෙසේද යන්න ගැනද දැන් දැනුම ලබාගත යුතු බව අවබෝධ කරගැනීමට ඔවුන්ට සිදුවිය. නිසි ලෙස පහර දීමටත් පසුබැසීමටත් යමෙක් උගෙන ගෙන නැතිනම් ජය ගැනුමක් කිසිසේත් නොමැති බව වටහා ගැනීමට ඔවුන්ට සිදුවිය. විප්ලවවාදී පංතිය මෙම කරුණ වටහා ගැනීමට උගෙන ගන්නේ අමිහිරි අත්දැකිම් තුළිනි.”


ලෙනින් (තෝරාගත් කෘති 10 වෙළුම 138 පිටුව)


සිය ඉතිහාසය තුළ ජ.වි.පෙ. අමිහිරි අත්දැකීම් තුළින් ඉගෙන ගත් පක්‍ෂයක් වී තිබේ. දේශපාලන පක්‍ෂවල ගමන්මඟ සකස් වන්නේ, කිසිවෙකුගේ පෞද්ගලික අභිලාෂය මත නොවේ. එය තීරණය වන්නේ, විෂය මූල හා මනෝමූල සාධක අනුවය. එය තීරණය වන්නේ, විප්ලවවාදී පංතියේ කැමැත්ත මත පමණක් නොවේ. විප්ලවවාදී පන්තියත් සතුරු පංතීනුත් අතර වන ප්‍රතිවිරෝධය තුළය. පංති සටන තුළය. ඉතිහාසයේ සංවර්ධනයේ දයලෙක්තිකය එයයි. එය වටහා ගනිමින් තමන් ඉදිරිපිට නිර්මාණය වන අභියෝගයන්ට විසඳුම් සෙවීම, උපක්‍රම තේරීම හා තීරණ ගෙන ඒවා ක්‍රියාවේ යෙදවීම පක්‍ෂයේ වගකීම වෙයි. ජ.වි.පෙ. මේ දක්වා ගෙවුණු ඉතිහාසය එවැනි සජීවි ඉතිහාසයකි. අප මෙහිදී කෙටියෙන් සාකච්ඡා කළේ, එම ඉතිහාසයේ ප්‍රධාන සන්ධිස්ථානයන් ගැනය. එම ඉතිහාසය ගලා ආ ආකාරය පිළිබඳවය. එහිදී අප සාකච්ඡා කළේ, 1965 සිට 1994 දක්වා පක්‍ෂයේ ඉතිහාසයේ ගමන් මඟ පිළිබඳවය.


ඉතිහාසය අවසන් වන්නේ නැත. එය අතීතයට අත්දැකීම් එකතු කරමින් නොනැවතී අනාගතයට ගමන් කරයි. ඒ නිසාම ඉතිහාසය ලියා අවසන් කිරීමටද නොහැක. පක්‍ෂයක ඉතිහාසය සම්බන්ධයෙන් වන සත්‍යය එයයි. කෙසේ වෙතත් ජ.වි.පෙ. ඉතිහාසය දෙස කෙටියෙන් විමසා බැලූ මෙම කෘතිය මෙයින් අවසන් කරමු. ඒ, යළිත් 1994 සිට ගෙවුණු ඉතිහාසය පිළිබඳ සාකච්ඡා කිරීමේ බලාපොරොත්තුව ඇතිවය.

 


සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
ඡායාරූපය : අන්තර්ජාලයෙනි.