• රජයේ පාලනයට යටත්ව තිබූ ලේක්හවුස් සහ ටයිම්ස් පුවත්පත් එම අයවැය යෝජනාව ගැන මුව නොසෑහෙන සේ මුදල් ඇමැතිවරයාගේ එම ක්‍රියාව වර්ණනා කර තිබුණේය. ඒ පිළිබඳව ඊට වඩා වෙනස් කෝණයකින් බැලූ ඇත්ත සහ ජනදින පුවත්පත් කියා සිටියේ රජයේ එම අයවැය යෝජනාව මගින් මෙරට තරුණ තරුණියන්ගේ ආත්මාභිමානය පොඩි පට්ටම් කිරීමට සමත්වී ඇති බවය. එම සහන දීමනාව ඩෝල් යනුවෙන් ජනවහරට ගොස් තිබුණේ ඉන් අනතුරුවය.

 

1977 ජූලි මස 21 වැනිදා පැවැති මෙරට අටවැනි මහ මැතිවරණයෙන් එජාපය මන්ත්‍රීධූර 140 ක් ලබාගෙන තිබුණේය. ඒ සඳහා චිත්තාකර්ශණීය ඡන්ද පොරොන්දු රාශියක් ලබා දීමට එම පක්ෂයට සිදුවිය.


ඒ අතරින් එක් සිත් ඇදගන්නා සුලු පොරොන්දුවක් වූයේ සෑම පවුලකම වයස අවුරුදු 18 ඉක්මවා සිටින තරුණ දූ පුතුන් අතරින් එක් අයකුට රැකියාවක් ලබාදීමය. ඒ සඳහා රැකියා බැංකුවක් පිහිටුවීමට ද නියමිතව තිබූ අතර ඊට අදාළ ඉල්ලුම්පත් එජාපය විසින් තම සාමාජිකයන් අතර බෙදාදී තිබුණේ මහමැතිවරණයට වසරකටත් වඩා පෙර සිටය.


ඊට අමතරව සෑම පවුලකටම සතියකට ධාන්‍ය රාත්තල් 8ක් ලබාදීම, රටපුරා නිවාස ලක්ෂයක් අලුතින් ඉදිකිරීම සහ ජනතාවට අවශ්‍ය රෙදිපිළි විවෘත වෙළෙඳපොළෙන් අවශ්‍ය තරම් ලබා ගැනීම සඳහා පහසුකම් සැලසීම වැනි චිත්තාකර්ශණීය ඡන්ද පොරොන්දු රැසක්ම ජනතාවට ලබාදීමේ ප්‍රතිඵලයක් වශයෙන් (එජාපයට එවර පැවැති මහ මැතිවරණයෙන් වාර්තාගත ජයග්‍රහණයක් ලබාගත හැකිවිය.


මේ අතර පරාජිත පිලේ හිටපු මැති ඇමතිවරුන්ගේ අදහස වූයේ මෙවැනි ඉටුකළ නොහැකි ඡන්ද පොරොන්දු දී ජනතාව මුළාකර ආණ්ඩු බලය ලබාගැනීම නිසා ජේ. ආර්. ඉතා ඉක්මනින්ම පස්ස බිම ඇනගන්නා බවය.


“අපටත් බලන්න බැරියැ ජේ. ආර්. ඔය පොරොන්දු ඉෂ්ට කරන්නේ කොහොමද කියලා”යි කියමින් සිනාසුණු එම හිටපු මැති ඇමැතිවරුන් දත මැදගෙන බලා සිටියේ ඊට එරෙහිව ජනතාව අවි අතට ගන්නා තුරුය. ශ්‍රීලනිපය 1970 මහ මැතිවරණයේදී ජනතාවට ලබාදුන් හදෙන් හෝ සහල් ගෙනැවිත්දීමේ ඡන්ද පොරොන්දුව තමන්ට ඉටු කිරීමට නොහැකි වූ බව ඒ වනවිට ඔවුන්ට අමතකවී තිබිණි. එහෙත් ජේ. ආර්. ඔවුන් සිතුවාට වඩා කපටියෙකු විය.
“ඒක නං එහෙම තමයි. අපි දුන්නු පොරොන්දු ඉෂ්ට නොකළොත් ජනතාව 71 දී වගේ ආයුධ අතට ගනීවි”යි තමන්ටම කියාගත් ජේ. ආර්. ජයවර්ධන මහතා ඒ වනවිට තම ප්‍රථම අයවැය ලේඛනය සැලසුම් කරමින් සිටි මුදල් ඇමැති රොනීද මැල් මහතා තමන් හමුවට කැඳවූවේය.  අනතුරුව ඔහු කියා සිටියේ ආණ්ඩුවේ පළමු අයවැය ලේඛනයෙන්ම එකී ඡන්ද පොරොන්දු වලින් සියයට 80 ක්වත් ලබාදිය යුතු බවය.
“සර් මේ රැකියා ලක්ෂයක් ලබාදෙන එක නං අපට එක සැරේට කරන්න අමාරුයි. ඒත් ලලිත්ගේ නිදහස් වෙළඳ කලාප පිහිටුවීමේ වැඩපිළිවෙළ යටතේ අවුරුදු දෙක තුනක් ඇතුළත අපට ඒ ටාගට් එකට යන්න පුළුවන්.”යි ඔහු කීවද ජේ. ආර්. එම අදහස නොපිළි ගත්තේය.
එහෙම බෑ ඒ වැඩේ කරන්නම වෙනවා. යි කී අග්‍රාමාත්‍යවරයාගේ අදහස වූයේ එම පොරොන්දුව ඉටු නොකළහොත් ජනතාව තමන් කෙරෙහි තැබූ විශ්වාසය පළුදු වන බවය.
එහෙම නං අපට පුළුවන් ඒ අයට රැකියා ලබාදෙනතුරු ඇමෙරිකාවේ වගේ සහන දීමනාවක් ගෙවන්න.
ඒ කියන්නේ කීයක් විතරද..?


මාසෙකට රුපියල් පනහක් විතර යි කී මුදල් ඇමැතිවරයා තම නායකයාට පෙන්වා දුන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන රැකියා විරහිත තරුණ පිරිසට එරට රජයෙන් එවැනි සහන දීමනාවක් ගෙවන බවය.


ආ... ඒක හොඳයි. අපේ ඡන්ද පොරොන්දුව ඉෂ්ට කරනතුරු තරුණ පිරිසට ඒ විදියේ සහන දීමනාවක් ගෙවන එක හොඳයිනේ.... යි කී ජේ. ආර්. ජයවර්ධන මහතා එය අයවැය යෝජනාවක් ලෙස ප්‍රකාශයට පත් කරන්නැයි තම මුදල් ඇමැතිවරයාට උපදෙස් දුන්නේය.
රොනී ද මැල් මහතා ඒ දිනවල සිටියේ තමන්ට අයත් ගී කියනකන්ද වතුයායේ පිහිටි වතු බංගලාවට වී ආණ්ඩුවේ ප්‍රථම අයවැය ලේඛනය සැලසුම් කරමිනි. ඒ අනුව තමන් ලොක්කාට කී නව වැඩපිළිවෙළ ද එවර අයවැය යෝජනා අතරට එක්කිරීමට ඔහුට හැකිවිය.
ඊට දින කීපයකට පසු ආණ්ඩුවේ මංගල අයවැය ලේඛනය ප්‍රකාශයට පත්වූ අතර රැකියා විරහිත තරුණ පිරිසට ගෙවීමට යන සහන දීමනාවට එම අයවැයෙන් ප්‍රමුඛ ස්ථානයක් ලැබී තිබුණේය.


පසුදින නිකුත්වූ සෑම පුවත්පතකම ඒ ගැන ප්‍රමුඛත්වයක් දී පළකර තිබුණේ රැකියා නැති තරුණ පිරිසට තාවකාලික සහන දීමනාවක් යන දැවැන්ත සිරස්තලයක් සහිතවය. එකල පැවැති විකල්ප ධාරාවේ පුවත්පතක්වූ “ඇත්ත” එය හඳුන්වාදී තිබුණේ තරුණ පිරිසට ඩෝලයක් යනුවෙනි. ඔවුන් එලෙස සඳහන් කළේ සොච්චම් දීමනාවක් යන අරුත් ගැන්වෙන පරිදිය.


ඒ වනවිට රජයේ පාලනයට යටත්ව තිබූ ලේක්හවුස් සහ ටයිම්ස් පුවත්පත් එම අයවැය යෝජනාව ගැන මුව නොසෑහෙන සේ මුදල් ඇමැතිවරයාගේ එම ක්‍රියාව වර්ණනා කර තිබුණේය. ඒ පිළිබඳව ඊට වඩා වෙනස් කෝණයකින් බැලූ ඇත්ත සහ ජනදින පුවත්පත් කියා සිටියේ රජයේ එම අයවැය යෝජනාව මගින් මෙරට තරුණ තරුණියන්ගේ ආත්මාභිමානය පොඩි පට්ටම් කිරීමට සමත්වී ඇති බවය. එම සහන දීමනාව ඩෝල් යනුවෙන් ජනවහරට ගොස් තිබුණේ ඉන් අනතුරුවය.
අපි මෙරට වෙසෙන පවුල් 317,000 ට අයත් රැකියා විරහිතව සිටි තරුණ තරුණියන් සියලුදෙනාටම තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් අනුව රැකියා පහසුකම් ලබාදෙනවා... යි ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් තමන් සහභාගි වූ හැම රැස්වීමකදීම පාහේ කියාගෙන ගියේ ඒ අනුවය.


මේ අතර 1978 ජනවාරි මාසයේ සිට මෙරට වෙසෙන සෑම පවුලකටම අයත් රැකියා විරහිත තරුණ තරුණියන් සඳහා මසකට රුපියල් පනහක සහන දීමනාවක් ගෙවනු ලැබුවේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. කෙසේ වෙතත් ඒ සඳහා හිමිකම් ලැබුණේ එක පවුලක දෙදෙනෙකු බැගින් වන සීමාවකට යටත්වය. ඒ අනුව රට පුරා වෙසෙන රැකියා විරහිත තරුණ තරුණියන් 317,000 කට එම දීමනාව ගෙවනු ලැබුවේ අදාළ ප්‍රදේශයේ තැපැල් කාර්යාල මගිනි.


එකල ‘‘ඇත්ත’’ සහ ‘‘ජනදින’’ යන පුවත්පත් වාර්තා කළ අන්දමට අපේ තරුණ පිරිසට ලැබුණු මෙම ඩෝල් දීමනාව නිසා සමාජ ප්‍රශ්න කීපයක් ද පැන නැගී තිබුණේය. එයින් එක් ප්‍රශ්නයක් වූයේ ඔවුන් අතර දුම්බීමේ ප්‍රවණතාව ඉහළ යාමය. මාස්පතා තමන් අතට ලැබෙන එම සොච්චම් මුදලෙන් මත්පැන් පානය කිරීමට පෙලඹී සිටින තරුණයන් ගැනද අසන්නට ලැබුණේ මේ අතරතුරය.


එම මුදල ප්‍රයෝජනවත් කාර්යයක යොදවනු ලැබුවේ ඉතාමත් සුළු පිරිසකි. අදාළ දීමනාව 1978 වසරේ ටික කාලයක් ගෙවීමෙන් පසු ඉබේටම නතර කෙරුණේය. පසුව ආරංචි වූයේ ඩෝලය ගෙවීම අඛණ්ඩව සිදුකර ගෙන යාමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරයෙන් නොගෙවීම නිසා එය නතර කරන ලෙස මෙරට සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ට සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශයෙන් උපදෙස් ලැබී ඇති බවය. එහෙත් ඒ ගැන එක වචනයකදු නොකී එම අමාත්‍යංශය රජයේ රැකියා බැංකුව මගින් මෙරට තරුණ තරුණියන් ලක්ෂ ගණනකට රජයේ සහ පෞද්ගලික අංශයේ රැකියා පහසුකම් සලසා ඇති බැවින් එතෙක් ගෙවාගෙන ආ සහන දීමනාව තවදුරටත් නොගෙවන බව ප්‍රවෘත්ති නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර තිබුණේය. ඊට පසුදා නිකුත්වූ “ඇත්ත” පත්‍රය ඒ බව පළකර තිබුණේ ‘‘තුන් ලක්ෂයකගේ ඩෝලයට කෙළවෙයි’’ යන දැවැන්ත ශීර්ෂ පාඨයක් සමගය.

 

 

නිහාල් ජගත්චන්ද්‍ර
ඡායාරූප අන්තර්ජාලයෙනි