සිරිකොත පක්ෂ මූලස්ථානය

 

 

එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය වන “සිරිකොත” පැත්තෙන් එන ආරංචි එතරම් ප්‍රියජනක නැත. ඔව්හු පැහැදිලි ලෙසම පරස්පර විරෝධි පිල් දෙකක නොහොත් ගමන් මාර්ග දෙකක ගමන් කරමින් සිටිති. එක් පිලක් යම්කිසි පියවරක් ගන්නා විට අනෙක් පිලේ අය එයට ඉඳුරාම ප්‍රතිවිරුද්ධ ක්‍රියාමාර්ගයකින් ප්‍රතිචාර දක්වමින් සිටිති. අද ආණ්ඩු බලය අත්කරගෙන සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පවතින ප්‍රධාන විරුද්ධ බලාවේගය එක්සත් ජාතික පක්ෂයයි. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සංකල්පයේ නිරෝගි බව ආරක්ෂා වීම සඳහා ප්‍රබල විරුද්ධ පක්ෂයක් පැවතීම අත්‍යවශ්‍යය. එම හේතුව මතම වුවත් අපි එම පක්ෂයේ පැවැතීම අගය කරමු. ප්‍රධාන විපක්ෂය පිල් බෙදී නන්නත්තාර වීම යහපත් දෙයක් නොවේ. ඒ නිසා එයට යම් රෝගයක් වැලදී ඇත්නම් එය හඳුනාගත යුතුය. නිසි ප්‍රතිකර්ම කළ යුතුය. ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් එම පක්ෂය බේරාගත යුතුය. මාධ්‍යවේදීන් වශයෙන් අපි පක්ෂ භජනයෙන් තොර වෙමු. අපි නිරන්තරයෙන්ම සත්‍යයට පක්ෂ වෙමු. එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට ද පක්ෂ වෙමු. මිනිස් නිදහස කතා කිරීමේ නිදහස, සාගින්නෙන් නිදහස ආදී නන් වැදෑරුම් නිදහස ආරක්ෂා කර ගැනීමේ ඒකායන මාර්ගය ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම බව මාධ්‍යවේදීන් හැටියට අපි අවබෝධ කරගෙන සිටිමු. එම ප්‍රශ්නයට අදාළව මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයේ සුරක්ෂිතතාව පිණිසත් එක්සත් ජාතික පක්ෂය වර්තමානයේ මුහුණ දෙන මාරාන්තික අර්බුදය නොතකා හැරිය හැකි නොවේ.
මෙයට දසක හතකට එහා දුර ඈත අතීතයකදී නිවැරදිවම කීවොත් 1946 සැප්තැම්බර් මස 6 වැනි දින කොළඹ පාම්කෝට් මන්දිරයට රැස් වූ මෙරට විසූ දේශපාලන ක්‍රියාකාරිත්වය කෙරෙහි උනන්දුවක් දැක්වූ ප්‍රභූ පිරිසක් මෙම පක්ෂය පිහිටුවා ගත් බව වාර්තාවල සඳහන් වේ. නුදුරු අනාගතයේදීම බි්‍රතාන්‍යය වෙතින් ලංකාවට ලැබීමට නියමිතව ඇති වගකීම් සහිත ඩොමීනියන් පාර්ලිමේන්තු  ආණ්ඩු ක්‍රමයට ගැළපෙන දේශපාලන පක්ෂයක අවශ්‍යතාව මතු වී තිබුණි. රැස්වීමේ කැඳවුම්කරු වූවේ සර් ජෝන් කොතලාවල මහතාය. එවකට දියවීමට පටන්ගෙන තිබුණු කලින් මෙරට ප්‍රධානම දේශපාලන බලවේගය වූ ලංකා ජාතික සංගමයේ කටයුතු කළ බොහෝ ප්‍රධානීහු මෙම සභා රැස්වීමට එක්ව සිටියහ. එම සංගමයේ මුදුන් මට්ටමේ සහ ප්‍රාදේශීය නායකයෝත් බහුලව මෙයට එක්ව සිටියහ. එමෙන්ම ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා නායකත්වය දැරූ සිංහල මහා සභාව නම් වූ සංවිධානයක් සර් රාසික් ෆරීඞ්, ඇම්. සී. ඇම්. කලීල් ආදීන්ගේ ලංකා යෝනක සංගමයත් ටී. බී. ජයා මහතාගේ මැලේ සංගමයත් මෙයට එක්ව සිටිනු දක්නා ලදී.
මෙම රැස්වීමේ මූලාසනය පැවරුණේ ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයෙකු වූ ඩී. ඇස්. සේනානායක මහතාටය. ඒ අනුව මෙම සභා රැස්වීමේදී ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා යෝජනාවක් ඉදිරිපත් කරමින් නව පක්ෂයේ සභාපති ධුරයට ඩී. ඇස්. සේනානායක මහතා පත්විය යුතු යැයි ප්‍රකාශ කළේය. එම යෝජනාව ස්ථීර කළේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මහනුවර මන්ත්‍රී ජෝර්ජ් ඊ. ද සිල්වා මහතාය. එම යෝජනාව ඒකමතිකව සම්මත වීම නිසා එතුමා සභාපතිධුරයට පත්විය.


ඩී. ඇස්. සේනානායක මහතා මූලාසනයේ සිටිමින්ම උප සභාපති ධුරයන් සඳහා ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, ජෝන් කොතලාවල, ජෝර්ජ් ඊ. ද සිල්වා, අරුණාචලම් මහාදේව සහ ටි. බී. ජයා යන මහත්වරුන් පත්කර ගතයුතු යැයි යෝජනා කළේය. එම යෝජනාව ද ඒකමතිකව සම්මත විය. ප්‍රධාන ලේකම් ලෙස එච්. ඩබ්ලිව්. අමරසූරිය මහතාත් සම භාණ්ඩාගාරිකවරුන් ලෙස ඒ. ආර්. ඒ. රාසික් ÷(පසුව සර් රාසික් ෆරීඞ්) සහ ජේ. ආර්. ජයවර්ධන මහත්වරුන් පත්කර ගත යුතු යැයි ඩී. ඇස්. සේනානායක මහතා කළ යෝජනා ද සම්මත විය. දොස්තර වී. ආර්. ෂොක්මන් මහතා විසින් ඉදිරිපත් කරන ලද ස්තූති යේාජනාව රාජ නීතිඥ සර් ලලිත රාජපක්ෂ මහතාගේ ස්ථීර කිරීමෙන් සම්මත වූ බව පක්ෂයේ ලිපි ලේඛනවල දැක්වේ. මෙය එවකට ලංකාවේ ප්‍රබලම දේශපාලන පක්ෂය බවට පත්වීමට හැකි විය. එම වකවානුවේ මෙරට ක්‍රියාත්මක වූ දේශපාලන බලවේගයන් වූ ලංකා සමසමාජ පක්ෂය, බෝල්ෂේවික් ලෙනිනිස්ට් පක්ෂය, ලංකා කොමියුනිස්ට් පක්ෂය, ඒ. ඊ. ගුණසිංහ මහතාගේ ලංකා කම්කරු පක්ෂය ආදී සියලුම පක්ෂ අබිබවා පෙරට ඒමට ඒ පක්ෂයට ගතවූයේ ඉතා කෙටි කාලයකි. ආරම්භයේදීම පක්ෂ ව්‍යවස්ථාවේ දැක්වෙන පරිදි එක්සත් ජාතික පක්ෂය යන නම ඉංග්‍රීසියෙන් යුනයිටඞ් නැෂනල් පාටි යනුවෙන් දක්වා ඇත. එම වචන තුනෙහි මුල් අකුරුවලින් දැක්වෙන අයුරින් යූ.ඇන්.පී. නමින් බොහෝ දෙනා මෙම පක්ෂය හැදින්වූහ. මේ පක්ෂයට විරුද්ධ මතධාරීහු උපහාසයට මෙන්ම විවේචනාත්මකව ද යූ.ඇන්.පී. යන්නට සාවද්‍ය අර්ථ නිරූපණයක් ලබා දෙමින් එය “උන්ගෙ නෑයින්ගේ පක්ෂය” යනුවෙන් හැදින්වූහ. පහරදීම් සඳහා යොදා ගත් වැකියක් වුවත් යූ.ඇන්.පියේ ව්‍යූහාත්මක පදනම ගැන සලකන විට එම චෝදනාවේද යම් පදනමක් තිබුණි. එය කෙටියෙන් පෙළගැස්විය යුතු වන්නේ මේ ආකාරයෙනි.

 

 


පිළියන්දල කොලමුන්නේ වලව්වේ පදිංචිව සිටි දොන් ගිමෝරිස් ආටිගල යනු මෙරට විසූ අති දැවැන්ත ව්‍යාපාර සමූහයක් හිමි අග්‍රගණ්‍ය ධන කුවේරයෙකු වූවේය. කුඩා අවධියේ සිටම ස්ව උත්සාහයෙන් ආත්ම ධෛර්යෙන් කටයුතු කිරීම නිසා ජීවිතය සාර්ථක කරගැනීමට ඔහුට හැකිවිය. ව්‍යාපාර අංශ කීපයක් කෙරෙහි අතිශය උනන්දුවක් දක්වමින් ඒවා මනා දියුණුවකට පත්කරලීමට ඔහු සමත් විය. වතු වැවිලි කර්මාන්තය අරඹා, පොල්, කුරුඳු, කොකෝවා, සිංකෝනා, ආදී වැවිලි ගණනාවක් ආරම්භ කර අක්කර දහස් ගණනක හිමිකරුවෙක් බවට පත් වූවේය. පසුව මීරන් පතල් කර්මාන්තයට සම්බන්ධ වී එමගින් උපරිම දියුණුවකට පත්විය. දොඩන්ගස්ලන්දේ කහටගහ පතල මදුරාගොඩ පතල සහ බෝගලද මොහුගේ අයිතියට හිමි වූ බව කියනු ලැබේ. එම කර්මාන්ත ක්ෂේත්‍රයේ ලංකාවේ ප්‍රථමයා බවට පත් වූ ආටිගල මහතා මීරන් රජ්ජුරුවෝ යන අන්වර්ථ නාමයෙන් ද හැඳින්වුණු බව සඳහන් වේ. රටේ ප්‍රසිද්ධ දානපතියෙකු හා සමාජ සේවකයෙකු ද වූ ඔහු විහාරස්ථාන රාශියක ප්‍රතිසංස්කරණ, පාසල්, විද්‍යාල රාශියක් ඇති කිරීමට ද ධනය වැය කළේය.


කුඩා ගම් පියසක්ව පැවැති දොඩම්ගස්ලන්ද එම ග්‍රාමීය පරිසරයෙන් මිදී දියුණුවට පත්වූවේ මෙතුමාගේ ව්‍යාපාර සහ වතු පිටි ආශ්‍රිතවය. ඒ නිසා පැරැන්නෝ එය ආටිගල ටවුම යනුවෙන් ද හැඳින්වූහ. ඔහු විසින් ඉටුකරන ලද සමාජ සුබසාධන හා පුණ්‍ය කටයුතුවලට ධෛර්යය දීමක් වශයෙන් එවකට පැවැති බි්‍රතාන්‍ය යටත් විජිත පාලනයේ ආණ්ඩුකාර සර් වෙස්ට් රිජ්වේ විසින් ආටිගල මහතාට 1885 වසරේදී මුහන්දිරම් නාමයක් සහ 1903 දී මුදලි තනතුරකට ද පත්කළේය. එවකට සිටි තවත් ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ ෆොන්සේකා අබේකෝන් මහතාගේ දියණිය වූ පීටර්නෙලා අබේකෝන් මෙනවිය සමග විවාහ වූ දොන් චාල්ස් ගිමෝරිස් ආටිගල මුදලිතුමා දියණියන් තිදෙනෙකු සහ එක් පුත්‍රයෙකු ලැබීය. මෙයින් වැඩිමහල් දියණිය වූ ඇලිස් ආටිගල මෙනෙවිය පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු වූ ජෝන් කොතලාවල මහතා (ජ්‍යෙෂ්ඨ) සමග විවාහ වූවාය. දෙවැනි දියණිය ඇලන් ආටිගල මෙනවිය කීර්තිමත් දානපතියෙකු සහ අධිනීතිඥවරයෙකු වූ ඇෆ්. ආර්. සේනානායක මහතා සමගත් අනෙක් දියණිය වූ කැරොලින් ලීනා මෙනෙවිය කර්නල් ටී. ජී. ජයවර්ධන මහතා සමගත් (ජේ. ආර්. ජයවර්ධන මහතාගේ බාප්පා) විවාහ වූහ.


ආටිගල මුදලිතුමාගේ මෙම දියණියන් තිදෙනාගේ දරු මුනුබුරෝ මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ ඉහළින්ම වැජඹෙන සාමාජිකයෝ බවට පත්වූහ. එක්සත් ජාතික පක්ෂය ආරම්භ කිරීමේදී ප්‍රමුඛ කාර්යභාරය ඉටු කළෝ මොව්හුය. සේනානායක, කොතලාවල සහ ජයවර්ධන යන පවුල් තුන පමණක් නොව ඔවුන් හා විවාහවලින් බැඳුණු ගලගෙදර නුගවෙලවරු අනුරාධපුරයෙන් බුලන්කුලමවරු, හලාවත කොරෙයාවරු මෙන්ම සබරගමුවේ මොලමුරේලා හා මීදෙණියලාත් මේ අතර ප්‍රමුඛ වූහ.


විරුද්ධ පක්ෂයේ ප්‍රධාන බලවේගය වූ ලංකා සමසමාජ පක්ෂය කාල් මාක්ස්ගේ ඉගැන්වීම් ගුරු කොටගත් දේශපාලන න්‍යාය ධර්මයක් අනුගමනය කළ හෙයින් සෑම ප්‍රශ්නයක් ගැනම විග්‍රහ කළේ එම දෘෂ්ටි කෝණයෙනි. එජාපය බටහිර කදවුරට ළැදි විදේශ ප්‍රතිපත්තියක් ද රටේ ඉහළම ධනවතුන්ගෙන් සමන්විත නායකත්වයකින් මෙහෙයවුණු බැවින් ද එය කොම්ප්‍රදෝරු ධනේශ්වර පන්තියේ  පක්ෂයක් ලෙස ද ඔවුහු හැඳින්වූහ. පසුකලෙක බණ්ඩාරනායක මහතා එජාපයෙන් සහ එම රජයේ තනතුරුවලින් ඉවත්ව විපක්ෂයට එක්ව වෙනම මතවාදයක් අනුව දේශපාලන ක්‍රියාමාර්ගයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කළ විට එම පක්ෂය දේශීය ධනපති පන්තියේ පක්ෂයක් ලෙස මාක්ස්වාදීහු විග්‍රහ කළහ.


එජාප නායක ඩී. ඇස්. සේනානායක මහතා සහ එතුමාගේ වැඩිමහල් සොහොයුරු දොන් චාල්ස් යන දෙදෙනාම විවාහ වූවේ උඩරට ප්‍රකට ප්‍රභූ පවුලක් වූ දුනුවිල පෙළපතිනි. එමෙන්ම මෙම ලිපියේ ආරම්භයේම සඳහන් කළ පරිදි ආටිගල මුදලිතුමාගෙන් පැවතෙන්නෝද පාර්ශ්ව දෙකක් වශයෙන් බෙදී සිටිනු දක්නට ලැබුණි. රත්නපුරේ ප්‍රකට ආටිගලවරුන් අතර ලංකා විශ්වවිද්‍යාලයේ දෙවැනි උප කුලපතිවරයා වූ සර් නිකුලස් ආටිගල මෙන්ම සිරිල් ආටිගල වැන්නෝද වූහ. එක්සත් ජාතික පක්ෂය ආරම්භ කිරීමේ රැස්වීමට මෙම සෑම පවුලකම ප්‍රබලයෝ සහභාගි වූහ. ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකයන් ද සමග ඔහුගේ ඥාතීන් වූ රත්වත්තේවරු, ඔබේසේකරවරු මෙන්ම තවත් බණ්ඩාරනායකවරුද එක්ව සිටි නමුදු ඉහළ තැන්වලට පත්වීමේ භාග්‍යය ලැබුවේ වික්ටර් අයිවන් මහතා සඳහන් කරන පරිදි සේනානායක පවුල් සංගමයේ සාමාජිකයෝය. ඩී. ඇස්. සේනානායක මැතිතුමා අග්‍රාමාත්‍යධුරයට පත් වූ අතර ඩඞ්ලි සේනානායක, ජෝන් කොතලාවල, සර් ෆ්‍රැන්සිස් මොලමුරේ, ජේ. ආර්. ජයවර්ධන, ඊ. ඒ. නුගවෙල ආදීහු කැබිනට් ඇමැතිකම් ලදහ. ආර්. ජී, සේනානායක, ටී. එෆ්. ජයවර්ධන, පී. බී. බුලන්කුලම වැන්නෝ උප ඇමැති තනතුරු ලැබූහ.


සේනානායක ආණ්ඩුවේ ඉහළ මට්ටම ප්‍රභූ නායකත්වයකින් යුතු වූ බව විචාරකයෝ පැවැසූහ. එහි ක්‍රියාකාරිත්වය අනුව සලකන විට සභානායක බණ්ඩාරනායකයන් පවා සිටියේ කලකිරීමෙනි. හදිසියේම ඩී. ඇස්. සේනානායක මහතා 1952 මාර්තු 23 වැනි දින අභාවප්‍රාප්ත වූ අතර හිස් වූ අගමැති තනතුරට පත්වූවේ එතුමාගේ දෙටු පුත් ඩඞ්ලි සේනානායක මහතාය. මේ ගැන උරණ වූ එවකට  සභානායකව සිටි සර් ජෝන් කොතලාවල මහතා පෙරළි කරන්නට විය. 1953 වසරේදී ඇති වූ ලෝක ආර්ථික අර්බුදය හමුවේ අපහසුතාවට පත් රජයට එරෙහිව වාමාංශික ව්‍යාපාරය විසින් මෙහෙය වන ලද සමස්ත මහා හර්තාලය නිසා ඩඞ්ලි සේනානායක මහතා අගමැතිධුරයෙන් ඉල්ලා අස් වී දේශපාලන කරළියෙන් ද සමුගත්තේය. අනතුරුව එ.ජා. පක්ෂයේ නායකත්වය හා අගමැතිධුරය භාරගත්තේ ඇලිස් ආටිගල මැතිනියගේ පුත්‍රයෙකු වූ සර් ජෝන් කොතලාවලයන්ය.


පනස්හයේ මැතිවරණ පරාජයෙන් පසු ඔහු ද දේශපාලන කරළියෙන් ඉවත් වූවේ සියල්ල අතහැර විදේශ ගතවීමෙනි. නව නායකත්වයක් තනා ගැනීමට එම පක්ෂය තුළින් දෙවැනි පෙළක් ගොඩනැගී තිබුණේ නැත. ඒ නිසා නැවතත් ඩඞ්ලි සේනානායක මහතා කැඳවාගෙන අවුත් පක්ෂය ඔහුට භාරදුන්නේ ඔහුගේ ජනප්‍රියත්වය හා ප්‍රභූ පවුල් පසුබිම සලකාගෙනය. පනස්හයේදී සිදු වූ යූ.ඇන්.පී. පරාජය සමහරුන් දුටුවේ සමාජ පෙරළියක් වශයෙනි. මාර්ටින් වික්‍රමසිංහ සූරින් එය හැඳින්වූවේ බමුණු කුලයේ බිඳ වැටීම වශයෙනි. එහි ව්‍යංගාර්ථය වූවේ ප්‍රභූ නායකත්වය අවසන් වූ බවයි. එතෙක් කරළියේ සිටි ප්‍රභූ පැළැන්තිය පරාජයට පත්ව ඇම්. ඇස්. තේමිස් වැනි සුළු සේවකයන්, කලාවැවේ ඇම්. ඇස්. දිසානායක වැනි ගුරුවරුන්, මුදියන්සේ තෙන්නකෝන් වැනි ගොවීන්, ටී. බී. තෙන්නකෝන් වැනි කවිකොළකාරයින් එවර මැතිසබයට පත්ව සිටියහ. බැරිස්ටර්වරු, දිසාවේවරු, ඉඩම් හිමියෝ බටහිර වෛද්‍යවරුන් කලින් එම ආසන නියෝජනය කළහ. ඩඞ්ලි සේනානායක මහතාගේ ආගමනයෙන් පසු 1956 දී ආසන අටකට සීමා වී අන්ත පරාජයකට පත්ව සිටි යූ.ඇන්.පිය නැවත ජයග්‍රාහී මාවතකට යොමු කිරීමට ඔහු සමත් විය.


දෙවරක්ම එජාපය ජයග්‍රහණය කරවා අගමැති පදවියට පත් වූ ඩඞ්ලි සේනානායක මහතා 1973 අප්‍රියෙල් මස 13 වැනිදා අභාවප්‍රාප්ත වනතුරු නායකත්වය දැරීය. ඔහුගේ අනුප්‍රාප්තිකයා වූවේ ජූනියස් රිචඞ් ජයවර්ධන මහතාය. දොන් ගිමෝරිස් චාල්ස් ආටිගල මුදලිතුමාගේ දියණියක වූ කැරෝලින් ලීනා ආටිගල මෙනෙවිය සමග විවාහ වූ කැප්ටන් ටී. එෆ්. ජයවර්ධනයන්ගේ වැඩිමහල් සොයුරාගේ පුත්‍රයා වූ ජේ. ආර්. සිය පියාගේ ආභාසය අනුව යමින් නීති ක්ෂේත්‍රයට සම්බන්ධ වූ බැරිස්ටර්වරයෙකු ලෙස සේවය කරමින් සිටියදී 1943 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කැලණිය ආසනයට තරග කර ජය ගනිමින් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසියේය. ඔහු එම ආසනයට තරග කිරීමට තීරණය කිරීමේදී ඔහුගේ මිත්තණිය වූ කීර්තිමත් දානපතිනියකුද වූ දෝන හෙලේනා විජේවර්ධන මැතිනිය විසින් කැලණියේ ජාතික ආගමික සහ සමාජ සේවා වෙනුවෙන් කරන ලද අපරිමිත සේවාව ද සැලකිල්ලට ගන්නට ඇතුවා නිසැකය. 1960 දී දකුණු කොළඹ අසුනට සංක්‍රමණය වනතුරු කැලණිය ආසනය තම බල කේන්ද්‍රය වශයෙන් තබා කටයුතු කළේය. 1973 දී නායකත්වයට පත්වීමෙන් පසු පක්ෂය නව මගකට යොමුකර නව වැඩසටහනක් යටතේ ජයග්‍රහණය කරා මෙහෙයවීමට ඔහු සමත් විය. 1970 දී අන්ත පරාජයට පත්ව ආසන 17 ක් පමණක් හිමිව සිටි එම පක්ෂය ජේ. ආර්. ජයවර්ධනයන්ගේ නායකත්වය යටතේ හයෙන් පහක පාර්ලිමේන්තු බලයක් අත්පත්කර දීමට ඔහු සමත් විය. ඉන්පසුව මෙරට දේශපාලන මාදිලිය උඩුයටිකුරු කරමින් ආර්ථික හා දේශපාලන වෙනස්කම් රාශියක් සිදුකිරීමට කටයුතු කළේය. එතෙක් පැවැති බි්‍රතාන්‍ය වෙස්ට් මිනිස්ටර් පාලන ආකෘතිය මුළුමනින්ම වෙනස්කර විධායක ජනාධිපති ක්‍රමයක් ස්ථාපිත කිරීම, විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වාදීම, දීර්ඝ කාලයක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ සුබසාධනවාදී සහල් සලාකය මුළුමනින්ම අහෝසි කිරීම් ආදී විශාල වෙනස්කම් ඇති කිරීමට ක්‍රියා කළේය. ඔහුගේ ජනාධිපතිධුර කාල දෙක නිමා වීමෙන් පසු 1988 දී ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා දේශපාලන කටයුතුවලින් විශ්‍රාම ගියේය. එයට පෙර ඇති වූ සිදුවීමක් ගැන ද පාඨක අවධානය යොමුවිය යුතුය. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පුද්ගලයෙකුට විධායක ජනාධිපතිධුරය දැරිය හැක්කේ දෙවරක් පමණක් බව පැහැදිලිව දක්වා තිබුණි. එහෙත් ජේ. ආර්. ජයවර්ධන මහතාට තුන්වැනි වරටත් පදවිය දැරිය හැකිවන සේ සංශෝධනය කළ යුතු යැයි යෝජනාවක් එක්සත් ජාතික පක්ෂය තුළ මතු වී ආවේය. එම යෝජනාව පක්ෂයට ගෙනා සහ  කුලියාපිටිය මන්ත්‍රී සහ රාජ්‍ය ඇමැතිවරයෙකු ද වූ ලයනල් ජයතිලක මහතා සහ ස්ථීර කළ අගලවත්ත මන්ත්‍රී මෙරිල් කාරියවසම් මහතා ද ඝාතනයට ලක්විය. විවිධ කලබලවලින් රට අනාරක්ෂිතව පැවැති එසමයේ මෙම ඝාතන කව්රුන් අතින් සිදුවී ද යන්න අද වනතුරුත් අබිහරසකි.

 


ඉතිරි කොටස ලබන සතියේ.


සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප අන්තර්ජාලයෙනි