සජිත් ප්‍රේමද‌ාස සිසුවා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් වීමද අහම්බෙන් සිදු වූ සිදුවීමකි.


කොළඹ රාජකීය විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රද‌ානෝත්සවය ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් නව රඟහල් ශාලාවේ පැවැත්විණි. වේදිකාවේ ජනාධිපති ජයවර්ධන මහතාට දකුණු පස ගරු අගමැති ආර්. ප්‍රේමදාස මහතා වාඩි වී සිටියි. වම්පස එවකට ගරු අධ්‍යාපන ඇමතිව සිටි රනිල් වික්‍රමසිංහ මහතා වෙයි.


විවිධ කාර්යයන්ට දක්ෂකම් පෙන් වූ සිසුන්ට ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානය කෙරේ. ඉදිරිපස ඉඳසිටින දරුවන් දුටු ජයවර්ධන ජනාධිපති තුමා ගරු අගමැතිතුමා දෙසට හැරී ‘‘පුතෙක් ඉන්නව නේද? කොහේද ස්කෝලෙ යන්නෙ?’’


‘‘කොල්ලුපිටියේ ශාන්ත තෝමස් විද්‍යාලයට’’ අගමැති ප්‍රේමද‌ාස මහතා පැවසීය.


අනිත් පසට හැරුණු ජනාධිපති ජයවර්ධන මහතා අධ්‍යාපන ඇමති රනිල් වික්‍රමසිංහ මහතා අමතමින් ‘‘නියෝගයක්’’ කළේය ‘‘වාචික එකී නියෝගයෙන් කියවුණේ අගමැති ප්‍රේමද‌ාස මහතාගේ දරුවාව රාජකීය විද්‍යාලයට ඇතුළත් කර ගන්නා ලෙසය.


රාජකීය විද්‍යාලයේ හය වැනි ශ්‍රේණියට සජිත් ප්‍රේමද‌ාස ළමයාව ඇතුළත් කළේ එලෙස යැයි නව රඟහල් වේදිකාවේ එදින ඒ අසලින්ම අසුන්ගෙන සිටි රාජකීය විද්‍යාලයේ සම්මානනීය (හිටපු) නියෝජ්‍ය විදුහල්පති විජය වීරසිංහ මහතාගෙන් අප අසා ඇත.


ඒ සමගම එකල අධ්‍යාපන අමාත්‍යාංශයේ සිටි ඉහළ නිලධාරින්ගේ වංචනික ක්‍රියාවක් සම්බන්ධවද තොරතුරු හෙළිවිය. සජිත් ප්‍රේමද‌ාස දරුවා පාසලට ඇතුළත් කරනවාත් සමගම එතෙක් ඒ කාර්යයට අවකාශ නොලත් ඉහළ නිලධාරීහු තවත් ළමයින් පහළොස් දෙනෙකුම ඒ සමගම රාජකීය විද්‍යාලයට ඇතුළත් කළහ. එකී සිදුරෙන් ළමයින් රොත්ත ඇතුළු වෙද්දී ඒ දුටු කටකාර ගුරුභවතෙකුගේ මුවින් මෙවන් වදනක් එද‌ා නිකුත් විය ‘‘යකෝ ගංවතුරට අනම් මනම් පාවෙලා එනව වගේනේ රාජකීයට ළමයි එන්නේ’’

 

ඩී.එස්. වනිගසූරිය මහතා ‘‘ඒ කාලේ රාජකීය විද්‍යාලයේ 6 එස් 1 පන්තිය භාරව සිටියේ මම. මගේ පන්තියට සජිත් ප්‍රේමද‌ාස සිසුවා ඇතුළත් වන විට පොළොන්නරුවේ එච්.ජී.පී. නෙල්සන් මන්ත්‍රීතුමාගේ පුතෙකුත් හම්බන්තොට මන්ත්‍රී දොස්තර පී.ඇම්.බී. සිරිල් මන්ත්‍රීතුමාගේ පුතෙකුත් සිටියා. සජිත් හරිම සංවරශීලී විනීත නිහතමානී ළමයෙක්. මං මේකට හොඳ උදාහරණයක් කියන්නම්. පන්තියට අලුතින් ළමයෙක් ඇතුළත් වූ විට සාමාන්‍යයෙන් ගුරුවරු ළමයාගෙන් තොරතුරු අහනවනේ. මමත් සජිත්ගෙන් ඇහුවා ‘තාත්තා කවුද? තාත්තා මොනවද කරන්නේ’’ කියලා.

 

 


සජිත් නැගිටලා එක පාරටම කිව්වා ‘‘අපේ තාත්තා මැම්බර් කෙනෙක්’’ කියලා. පන්තියේ ළමයි හිනාවෙලා කිව්වා ‘‘නැහැ සර් මෙයාගේ තාත්තා අගමැති ප්‍රේමද‌ාස මහතා’’ කියලා. මේ බලන්න තාත්තා අගමැති කියලා අමුතු ආඩම්බරකමක් තිබුණෙම නැහැ. සාමාන්‍ය අනෙක් ළමයි වගේ පන්තියේ පාසලේ ඉගෙන ගත්තේ, හැසිරුණේ’’.


‘‘සංගීතයට හරි කැමතියි. මං සිංහල භාෂාව උගන්වන ගුරුවරයෙක් වුණාට සංගීතෙත් හද‌ාරල තියෙනවා. විවේක වේලාවට මං වයලීනය වාදනය කරනවා. මට සංගීතේ පුළුවන් බව දැනෙගෙන සජිත් දරුවා එයාගෙ ගෙදර එන්න කියල මැසිවිලි නැගුවා. මං ගියේ නැහැ. සජිත්ට අලුත් සංගීත වාද්‍ය භාණ්ඩයක් ගෙනාවොත් ඒ ගැන සම්පූර්ණ විස්තර මට ඇවිත් කියනවා. සංගීත විෂයට පුදුම උනන්දුවක් තිබුණේ. ඒ වගේම සංගීතයට දක්ෂයි. සංගීතයට උපන් හපනෙක්. දේශපාලනය වැනි කටුක කර්කෂ කටයුත්තක නියැළුණෙන් විනීත සංවරශීලි දහැමි සමාජශීලීත්වයක් ජීවිතයට උරුම වෙලා තියෙන්නෙත් සංගීතය නිසාම යයි කියලා මම හිතනවා’’


‘‘වයස අවුරුදු 11-12 විතර මට හමුවුණ සජිත් බුද්ධිමත් ක්‍රියාශීලී - විනෝදකාමී - නිහතමානී - නිරහංකාර මිත්‍රශීලි දරුවෙක්. කා සමග වුවත් උස් පහත් බේදයෙන් තොරව මිත්‍රත්වය ගොඩනගා ගන්නා රුචියක් දැක් වූ දරුවෙක්. පන්තියේ සිටි හැම ළමයෙකු සමගම යහළුයි. පාසලේ සිටින තවත් දරුවන් රැසක් සමග මිත්‍රත්වය ගොඩනගා ගත්තා. හිටපු කෙටි කාලයට යාළුවෝ ගොඩක් ඇති කර ගත්තා’’


රාජකීය විද්‍යාලයේ (හිටපු) උපවිදුහල්පති එම්.එස්.එච්. කුරේ මහතා 


අගමැති ආර්. ප්‍රේමදාස මහතාගේ පුත් සජිත් ප්‍රේමද‌ාස කොල්ලුපිටිය ශාන්ත තෝමස් විද්‍යාලයේ ඉගෙන ගනිමින් සිටියේ. හයවැනි ශ්‍රේණියට රාජකීය විද්‍යාලයට ඇතුළත් වුණා. විදුහල්පති ඒ කාලේ සිටියේ එල්.ඩී.එච්. පීරිස් මහතා. මට කතා කරලා කීවා අගමැතිතුමාගේ පුතානේ. හොඳ පන්තියකට දමන්න කියලා. ඒ කාලේ අපේ පාසලට ළමයින් ඇතුළත් කරගන්න 5 ශිෂ්‍යත්ව විභාගය වගේම වෙනමම විභාගයක් පැවැත්වුවා. ඒ විභාගයෙන් වැඩිම ලකුණු ලබාගත්තු ළමයින් තෝරා ගෙන ඔවුන් ඇතුළත් කරලා 6 එස් I කියල පන්තියක් තිබුණා. සජිත් ප්‍රේමද‌ාසවත් මං ඒ පන්තියට දැම්මා. දිවයිනෙන්ම වැඩිම ලකුණු ලබාගෙන පැමිණි ළමයි මේ පන්තියේ හිටියේ. ඒ දක්ෂම ළමයින් සමග සජිතුත් ගැටලුවක් නැතිව ඉගෙනීම් කරගෙන ගියා. සජිත් දක්ෂයෙක් නොවේ නම් ඒ ළමයින් සමග එකම පන්තියේ ඉගෙන ගන්න ලෙහෙසි වෙන්නේ නැහැ. ඒ වසරේම අපේ විද්‍යාලයේ වාර්ෂික ශීල ව්‍යාපාරයේ සිල් සමාදන් වූ සෑම ළමයෙකුටම සජිත් අයිස් ක්‍රීම් ගෙනත් බෙදුවා. මිත්‍රශීලි මෙන්ම පරිත්‍යාගශීලි දරුවෙක්.

 

 


6 එස් I පන්තියේ ළමයින්ට සෞඛ්‍ය විෂය ඉගැන් වූ රංජිත් ගමගේ මහතා ‘‘සජිත් පුදුම ලෙසට පොත්පත් කියවන්න පුරුදු වෙලා හිටියේ. කොයි මොහොතක බැලුවත් පොතක් අතේ. ඉංග්‍රීසි පොත් තමයි කියෙව්වේ. පොත් කියවද්දී අමාරු වචන නොතේරෙන තැන් හමු වූ විට ඒ ගැන අසා දැනගන්නවා. සජිත් ඒ අතරින් හරි ඉහළයි. සමහර ළමයි අමාරු නොතේරෙන දේවල් ගුරුවරුන්ගෙන් අසා දැනගන්නෙත් නැහැනේ. මං ඉංග්‍රීසි ගුරුවරයෙක් නූනත් මට පුළුවන් කියලා හිතල මගෙන් අහල දැන ගන්නවා. කියවනවා වගේම දඟ වැඩක් කරනවා. ඒවා ළමා ගතිනේ. මට මතකයි දවසක් ‌ද‌ා එලෙස දඟ වැඩක් කළා. මං පන්තියෙන් එළියට දැම්මා. පන්තිය ළඟ විශාල සියඹලා ගහක් තියෙනවා. අදත් ඒ සියඹලා ගහ තියෙනවා. ඒ ගහ ළඟ සිටගෙන ඉන්න කියලයි මම දඬුවම දුන්නේ. ටික වේලාවක් එළියේ සිටගෙන සිටින විට පිපාසය හැදිලා ආපසු පන්තිය ඇතුළට ඇවිත් මගෙන් ඇහැව්වා ''Sir Can I Have My drink?'' මං කීවා. ''Punishment is Punishment. No No'' සජිත් වතුර බෝතලය නොගෙන ආපසු එළියට ගියා. ටික වේලාවකින් පන්තියට ගත්තා. ළඟදී දවසක අපේ ගමේ පන්සලේ උත්සවයකට ඇවිත් හිටියා. ඉතා සුහදව මා සමග කතා බහ කරලා ඇහැව්වා ‘‘මොනව හරි වැඩක් කර ගන්න අවශ්‍ය නම් කියන්න’’ කියලා. මං කිව්වා ‘‘මට මොකුත් එපා. ඔයා කවද හරි රටේ ජනාධිපති වෙලා රටට වැඩ කරලා රට දියුණු කරන්න වැඩ කරන්න කියලා’’ සිනහ වෙලා සුහදව මට ආචාර කරලා ගියා. 


සජිත් ප්‍රේමද‌ාස රාජකීය විද්‍යාලයේ 8 වැනි ශ්‍රේණියේ ඉගෙන ගන්නා විට පන්ති භාර ගුරු භවතා වූයේ කේ.එච්. අමරද‌ාස ගුරුපියාණන්ය. ඔහු මතකය අවදි කර පැවසූ කතාවයි මේ.
‘‘සජිත් මගේ පන්තියේ සිටින විට දවසක් හරි අපූරු වැඩක් වුණා. එද‌ාත් වෙනද‌ා වගේම දහවල් විවේක කාලය එළඹුණා. රාජකීයේ පිරිමි ළමයින් දහස් ගණනක් එකම වේලාවට පන්ති කාමරවලින් එළියට එනවා. දුවනවා, පනිනවා. සාමාන්‍යයෙන් මේ වේලාවට ඒ අය අතරම මමත් රැඳී සිටිනවා. මං සිටියේ පළමු මහලේ ජනෙල් කවුළුවක් අසල. මං දැක්කා බිමට පාත්වෙලා ගඩොල් කැටයක් එක පාරටම අරන් ළමයෙක් තවත් ළමයෙකුට ගහන්න තැත් කරනවා. විවේකය ගත කරන ළමයින්ගේ ඝෝෂාව අස්සෙම උඩ සිට මං ‘‘ඒයි’’ කියලා හැකි වේගයෙන් කෑ ගැසුවා. ගඩොල් කැටේ අතැති ළමයා උඩ සිටි මා දෙස බලමින් ගඩොල් කැටේ බිම අතහැරියා. මං දෙන්නටම උඩට කතා කළා. එක්කෙනෙක් සමන්ත හේරත්, අනික් කෙනා සජිත් ප්‍රේමද‌ාස. විස්තර විමසූ විට සමන්තා කීවා ‘‘සර් මෙයා (සජිත්) මට නිතර නිතර එක එක ඒවා කියලා හිනා වෙනවා. විහිළු කරනවා. ඉවරයක් නැහැ. මට කේන්ති ගියා. ගඩොල් කැටේ ගත්තේ සජිත්ගේ ඔළුවට ගහන්න. හොඳ වෙලාවට සර් දැක්කේ’’


‘‘කරන්න ගිය වැඩේ බරපතළකම තේරෙනවා නේද?’’ මං ඇහුවා.


‘‘ඔව් සර් මට ඉවසීමක් නැතුව ගියා. කේන්ති ගියා’’ සමන්ත කීවා.


‘‘ඔයත් ළමයින්ට විහිළු කරන එකත් සීමාවක් තියෙන්න ඕන’’ සජිත් දෙස බලා මම කිව්වා. ‘‘ඔව් සර් මට තේරෙනවා’’ මින් මතු එවැනි දේවල් මං කරන්නේ නැහැ’’ සජිත් පොරොන්දු වුණා.


දෙන්නව එදා මං සමාද‌ාන කරලා පන්තියට යැව්වා. එද‌ාම සවස පාසල් ඇරී ගෙදර යන වෙලාවේ සමන්ත අසලට පැමිණ සජිත්’ ‘‘මචං කොහොමද බෝඩිමට යන්නේ’’ කියලා අසා තියෙනවා.


‘‘බෝඩිමක් නැහැ’’ බාප්පලාගේ නිවසේ ඉඳල මං එන්නේ. බස් එකෙන් එනවා. බස් එකෙන් යනවා. මං අපේ වෙහිකල් එකෙන් ඔයාවත් ගිහින් බස්සන්නම්කෝ. නගින්න අපේ වාහනයට. මං ඔයාව බාප්පලාගේ ගේ ළඟින්ම බස්සන්නම්’’ සජිත් කියලා තියෙනවා. ඒ සමගම සමන්ත මෙලෙසින් පිළිතුරු දීල ‘‘උඹේ වාහනය මට ඕනැ නැහැ. මං පුරුදු විදිහට බස් එකෙන් යන්නම්’’ සජිත්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරල තියෙනවා.


මේ කතාවෙන් ඇත්තටම හැගෙන්නේ සජිත් ප්‍රේමද‌ාසගේ ජීවන සුවඳ කියලයි මට හිතෙන්නේ. පාසල් විවේක කාලයේදී තමා සමග උරණ වී තමාට ගඩොලෙන් ගහන්න තැත් කළ අය ගැන අවබෝධ කරගෙන ඒ සිද්ධිය එතැනින් අවසන් කරලා සුපුරුදු සුහද මිත්‍රත්වයට මොහොතින් අවතීර්ණ වුණා. පසුද‌ා සිට දෙන්නම පන්තියේ එකට වාඩි වෙලා ඉගෙන ගත්තා. එද‌ා ඒ සමන්ත හේරත් දැන් විශ්වවිද්‍යාලයක පීඨාධිපති ධුරයක් දරන මහාචාර්යවරයෙක්. එද‌ා වගේම අදත් සමන්ත හේරතුයි සජිත් ප්‍රේමද‌ාසයි ‘‘අඹ යහළුවෝ’’ ‘‘ගජ මිතුරෝ’’. පාසලේ උත්සවවලට පැමිණි විට කොලු කාලේ කළ මේ ‘‘ගඩොලෙන් ගැහිල්ලේ’’ කතාව දෙන්නම කියනවා මං අහල තියෙනවා.


රාජකීය විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ සේවය කර විශ්‍රාම සුවයෙන් පසුවෙන නම සඳහන් කිරීමට අකැමැති තවත් ගුරු සහෝදරයෙක් සජිත් ප්‍රේමද‌ාස පාසල් සමයේ කළ ‘ගැලවීමේ උපක්‍රමයක්’ ගැන විස්තර කළේ මෙසේයි.


‘‘ගණිතයට ඉතා දක්ෂ ගුරුවරයෙක් හිටියා මලවිගේ සර් කියලා. දැන් ඔහු  මිය ගිහින්. සජිත් සිටි පන්තියක ගණිත පාඩම කළේ ඔහුයි. නියමිත වේලාවට ගණන් සාද‌ා නොතිබුණ නිසා දවසක් සජිත්ව මගේ පන්ති කාමරයට එක්ක ආවා. මේ පාසල් වැඩ අවසන් වෙලා කවුරුත් ගෙදර යන වෙලාවෙ ‘‘මට හදිසි වැඩකට යන්න තියෙනවා. මේ ළමයා ගණන් හදල නැහැ. පාඩමේ ගණන් සියල්ලම සාදන තුරු යවන්න එපා. මං හෙට උදේට ඇවිත් බලන්නම්’’ මලවිගේ මහතා සජිත්ව මට භාර දිලා ගියා. මං සවස 4 පමණ වන තුරු පාසලේ ඒ කාලේ රැඳී සිටියා. මට ළං වූ සජිත් මෙහෙම කිව්වා‘‘සර්රුත් අපරාදේ මං නිසා කරදර වෙනවා. මං ගෙදර ගිහින් ගණන් සියල්ලම හදල නොවරදවාම හෙට උදේ මලවිගේ සර්ට පෙන්වන්නම් සර්රුත් ගෙදර යන්න. මටත් යන්න දෙන්න. සර් අපරාදේ මං නිසා පැය ගණනක් නාස්ති කරන්නේ මොකටද? මං යන්නම් සර්’’ ඔහුගේ බැගෑපත් ඉල්ලීමට මං එදා ඉඩ දුන්නා. මිටින් හල කුරුල්ලෙක් වගේ පන්ති කාමරයෙන් දිව්වා. හැබැයි ගණන් සේරම හදලා පසුවද‌ා උදේ මලවිගේ සර්ට පෙන්නල තිබුණා. ඒ රහස දන්නෙ මමයි සජිතුයි පමණයි.

 

 

 

 

 

මතු සම්බන්ධයි

 

හේරස් ප්‍රනාන්දු
කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ (හිටපු) නියෝජ්‍ය විදුහල්පති