ඡායාරූපය : අන්තර්ජාලයෙනි

 

 

අගනුවර ආශ්‍රිතව පැවැති විශාල කර්මාන්ත සියල්ලකම වාගේ වෘත්තීය සමිති ඇරඹෙන්නට විය. තේ හා රබර් අසුරන කර්මාන්තශාලා, මුද්‍රණාල සහ හෝටල් කම්කරුවන්, වෙළෙඳසල්, මුද්‍රණශාලා ආදී විවිධ අංශයන්ට මෙය ව්‍යාප්ත වන්නට පටන් ගති. මෙසේ විසිර තිබූ සියලුම වෘත්තීය සමිති ඒකාබද්ධ කරමින් ලංකා කම්කරු සමිති සම්මේලනය ආරම්භ වූයේ 1940 දෙසැම්බර් 14 වැනිදාය.


මෙම එකමුතු සංවිධානයෙහි සුවිශේෂි ලක්ෂණයක් වූයේ එහි සභාපතිත්වයට කම්කරු අංශයට සම්බන්ධ නොවූවකු පත්වීමය. මෙරට වෘත්තීය සමිති ඉතිහාසයෙහි සන්ධිස්ථානයක් වශයෙන් ලංකා කම්කරු සමිති සම්මේලනය හැඳින්විය හැක්කේ නිදහස් අරගලයෙහි දැවැන්ත මෙහෙවරක් කළ උඩකැන්දවෙල සරණංකර හිමියන් මෙහි සභාපතිත්වයට පත්වීමය.


අනගාරික ධර්මපාලතුමාගේ ජාතික ආගමික මෙහෙවර පිළිබඳ ප්‍රසාදයට පත්ව එතුමන්ගේ එකී ව්‍යාපාරයට සම්බන්ධ වෙමින් ඉන්දියාවට ගොස් ඉන්දීය ජාතික නිදහස් සටනට සම්බන්ධ වීම නිසා කිහිප වතාවක් සිරබත් කෑ සරණංකර හිමියන් මෙරට අධිරාජ්‍යවාදී පාලකයන් විසින්ද කිහිපවරක් දඟ ගෙට යවන ලද්දෙකි. ලංකා කම්කරු සමිති සම්මේලනයේ සභාපතිත්වය උන්වහන්සේට ලැබීම වමේ ජාතික ව්‍යාපාරයටද ශක්තියක් ගෙන දෙන්නක් විය.


කම්කරු පන්තියේ ප්‍රශ්න පිළිබඳ මන්ත්‍රණ සභාව තුළත් ඉන් පිටතත් සටන් කිරීමෙහි මූලිකයන් වූයේ ඇන්. ඇම්. සහ පිලිප් ගුණවර්ධන යන රාජ්‍ය මන්ත්‍රීවරුන් දෙදෙනාය. අගනුවර ආශ්‍රිතව මෙසේ කම්කරු ප්‍රශ්නවලට විසඳුම් සොයන්නට සමසමාජ නායකයන් ඇප කැප වී සිටියදී වතුකරය තුළද කම්කරු ප්‍රශ්නවලට විසඳුමක් ලබාදිය යුතු බවට ඔවුහු අදහස් කළහ.


වතු කම්කරුවෝ එදා ජීවත් වූයේ අතිශය පීඩාකාරී වාතාවරණයකය. ඔවුන් සමාන වූයේ මනුෂ්‍යයන්ට වඩා තිරිසනුන්ටය. ජීවත්වීමට සරිලන වැටුපක් නොලැබිණ. නිවාඩුවක් නොලැබිණ. අවම වශයෙන් දරුවකු ප්‍රසූත කළ ස්ත්‍රියකට පවා නිවාඩු ලබාදීමක් නොවීය. වතු අධිකාරිවරු ඔවුන්ටම වෙන් වූ අධිරාජ්‍යයක් ගොඩනඟා ගෙන සිටියහ.
මෙකී පසුබිම වෙනස් කරලීමට සම සමාජ පාක්ෂිකයකු වූ වතු අධිකාරිවරයකුව සිටි බ්‍රෙස්ගර්ඞ්ල් කළ මෙහෙවර තුළින් වතු කම්කරුවන් යම්කිසි ගමන් මඟකට අවතීර්ණ වීමේ මං දොරටු හැරෙමින් තිබිණ. ලංකා සමසමාජ පක්ෂයේ මෙහෙයවීමෙන් 1939 දී බදුල්ල නගරයේ පැවැති මැයි දින රැලිය කම්කරු හැඟීම් පුබුදුවා ලූ සන්ධිස්ථානයක් විය. කඳුකරයෙන් නගරයට ආ කම්කරුවන්ගෙන් බදුල්ල නගරයම පිරී ඉතිරී යන්නට විය.


1939 අගෝස්තු මස 10 වැනිදා ඇන්. ඇම්. ගේ ප්‍රධානත්වයෙන් ඇරඹි සමස්ත ලංකා වතු කම්කරු සමිතියට වතුකරයේ හැම වත්තකම ශාඛා සංවිධාන පැන නඟින්නට පටන් ගති. කම්කරු සටන් ඉතිහාසයේ මෙන්ම ව්‍යවස්ථාදායකයේ ඉතිහාසයේද සුවිශේෂී සටහනක් තැබූ මුල්ඔය සටන මෙහෙය වූවේ ඇන්. ඇම්. ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා වතු කම්කරු සමිතියයි. තමන්ට උරුම විය යුතු වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් මූලිකව කටයුතු කළ සිවනාදන් සහ ඔහුගේ බිරිඳ සේවය කළේ නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් මුල්ඔය වත්තේ කම්කරුවන් ලෙසය. කම්කරු පිරිස් තම ශාඛාවට බඳවා ගැනීමට උනන්දු වී කටයුතු කිරීමත් සමසමාජ පක්ෂයට අයත් දේශපාලන කටයුතුවල නිරත වීමත් යන චෝදනා පිට සිවනාදන් සහ ඔහුගේ බිරිඳ හිටි හැටියේ රැකියාවෙන් දොට්ට දැමිණ.


මොවුන් දෙදෙනාට යළි රැකියාව ලබාදෙන ලෙස ඉල්ලමින් සියලු කම්කරුවෝ වැඩ වර්ජනයකට එක්වූහ. පාලකයන් කම්කරුවන් සමග සාකච්ඡාවකටවත් එක් නොවී දින කිහිපයක් යද්දී වර්ජනයට ආධාර දීමට ලයින් කාමරයකට වී කම්කරුවන් සමඟ කතා කරමින් සිටි වේළුසාමි පොලිසිය ලවා සිරභාරයට ගනු ලැබීය.


දිනය 1940 ජනවාරි 10 වැනිදාය. මෙතෙක් කලක් වහලුන් මෙන් වෙහෙස දරමින් සිටි කම්කරුවෝ සටන් මඟට පිවිසියහ. වතු පාලකයෝ ආණ්ඩුවේ හා පොලීසියේ සහාය ඉල්ලූහ. මොහොතකින් ආයුධ සන්නද්ධ පොලිස් බළ ඇණියක් මුල්ඔය වත්ත ආක්‍රමණය කළහ. දිගට හරහට වෙඩි තබමින් ඉදිරියට ආ පොලිස් බළඇණියේ කෙනෙකුගේ වෙඩි පහරකින් ‘ගෝවින්දන්’ මැරී තිබුණි. පොලිස් ට්‍රක් රථයකට යට කළ ‘පෙරියසාමි’ බරපතළ තුවාල ලැබීය.


කන්ද උඩරට වතුකරයම කලබලයට පත්විය. සිද්ධිය සැල වූ ඇන්. ඇම්. මුල්ඔය වත්තට ගියද ඇතුළුවීමටවත් ඉඩ නොලැබිණි. ගිනි අවි රැගත් පොලිස් සේනාංක වත්තට කිසිවකුට ඇතුළු වීමට ඉඩ නොදෙමින් පේළි ගැසී සිටියහ. මුල්ඔය වත්ත පෙනි පෙනී ඉදිරි වත්තකට ඇන්. ඇම්. ගමන් ගත්තේ දස දහසකටත් අධික කම්කරු ජනතාවක් එහි එක්රොක් වී සිටි හෙයිනි.


ගෝවින්දන්ගේ මිනීමැරුම පිළිබඳ මහේස්ත්‍රාත් විභාගය පසුදින මහනුවරදී පැවැත්වෙන හෙයින් මහනුවර දක්වා පෙළපාළියකින් පැමිණෙන ලෙස මෙහිදී ඇන්. ඇම්. පැමිණ සිටි ජනතාවගෙන් ඉල්ලා සිටියේය. සැතපුම් 28 ක් මහමඟ ගෙවාගෙන පැමිණි පෙළපාළිය මහනුවරට ළඟා වූයේ මහ රෑ දොළහට පමණය.


ගෝවින්දන්ගේ මරණය සාධාරණ මිනීමැරුමක් බව මහේස්ත්‍රාත් නිගමනය විය. එහෙත් මහනුවර කච්චේරියේදී පවත්වන ලද වැඩ වර්ජනය පිළිබඳ වූ පරීක්ෂණයේදී ඕනෑම කම්කරුවකුට වෘත්තීය සමිතියකට බැඳීමට අයිතියක් ඇති බවත් එම වැඩ වර්ජනයට සහභාගි වූ කිසිම කම්කරුවකුට දඬුවම් නොකිරීමටත් වැඩ වර්ජනයක් කිරීමට පෙර තම දුක් ගැනවිලි පාලක පක්ෂයට දැනුම් දිය යුතු බවටත් තීරණය විය. ඒ සමඟම වතු කම්කරුවන්ගේ පඩිය සත 16 කින් වැඩි කිරීමට තීරණය විය.


මෙතෙක් කලක් මුළුල්ලේ නිහඬව වහලුන් මෙන් ඩහදිය හෙළමින් සිටි වතු කම්කරුවන්ට තමන්ටය කියා ආත්ම ගරුත්වයක් තිබෙන්නේය යන හැඟුමන් ඇති කරනු ලැබූයේ සමසමාජවාදීන් ගෙන ගිය දැවැන්ත අරගල තුළිනි. කන්ද උඩරට මුළු වතුකරයම එකාවන්ව සටන් මඟට පිවිසීමට පටන් ගත්හ. වේවැස්ස, නුවරඑළිය, වැලිමඩ, ඇටැම්පිටිය, ඇල්ල, දෙමෝදර, බදුල්ල, වේවැල්හින්න, කඩියලෙන ආදී වතුයායවල කම්කරුවෝ තම ඉල්ලීම් ඉදිරිපත් කරමින් වර්ජනයෙහි නිරත වන්නට පටන් ගත්හ.