බලයට එනතුරු තමන්ගේ අවශ්‍යතා තම ධනයෙන්ම ඉටුකරගත් ඇතැම් දේශපාලනඥයෝ බලය ලැබුණු වහාම ඒ පිළිවෙත අත්හැර රජයෙන් ලැබෙන වරප්‍රසාද මතම යැපෙන්නටත් බලයෙන් ගිලිහෙන විට එම භාණ්ඩ හා වරප්‍රසාද යළි භාර නොදී තමන්ටම සින්න කර ගැනීමටත් උත්සාහ දරති.

 

1948 දී බි්‍රතාන්‍යයෙන් නිදහස ලැබෙන සමයේ විසූ මෙරට දේශපාලන පරම්පරාවේ කිසිවකුට එවැනි චෝදනාවක් එල්ල වූ බවක් අසා නැත. ඩී.බී. ජයතිලක, ඩී.ඇස්. සේනානායක, ජෝන් කොතලාවල, බණ්ඩාරනායක, දහනායක වැනි දේශපාලනඥයන්ට රජයේ දේපොළ අවභාවිතය පිළිබඳ චෝදනා එල්ල වී නැත.


එහෙත් එවැනි චෝදනා පමණක් නොව අල්ලස් දූෂණ, සාපරාධී බලපෑම්, විනය නීති කැඩීම් විරුද්ධවාදීන්ගෙන් පළිගැනීම් හා රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණවලට දායක වූ බවට නීතියෙන් ඔප්පු වුණු දේශපාලනඥයන්ට උසාවියෙන් මෙන්ම රාජ්‍ය මට්ටමින් හා පක්‍ෂ මට්ටමින් ද දැඩි දඬුවම් ලබාදුන් අවස්ථා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ඉතිහාසයේ දක්නට ලැබේ.


මොවුන්ට දඬුවම් දීමට විනය කමිටු හා කොමිසන් සභා පත් කළ ද ඒවාට ඉහළ දේශපාලනඥයන් ඇඟිලි නොගැසූ නිසා ස්වාධීන තීරණ ගැනීමටත් ඔවුන් සන්තක කරගත් රාජ්‍ය දේපොළ යළි පවරා ගැනීමටත් එයිනුත් නොනැවතී ප්‍රජා අයිතිය අහිමිකිරීමටත් රජයට අපහසු නොවීය. සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ කාලයේ අල්ලසට හා දූෂණයට යට වූ තම පක්‍ෂයේම මන්ත්‍රීවරුන්ට ද සිරබත් කෑමට පවා සිදුවූ බව වාර්තා වේ. 
1977/78 විවෘත ආර්ථිකය, විධායක ජනාධිපතික්‍රමය, නව ව්‍යවස්ථාව යටතේ දේශපාලනඥයන් තුළ ප්‍රජාතන්ත්‍රවාදී අදහස් අභිභවා ධනය, බලය, දේපොළ රැස්කිරීමේ තණ්හාව වර්ධනය වන්නට විය. එතෙක් මෙතෙක් බලයට පත් වාමාංශික හා ධනවාදී ආණ්ඩු කිහිපය තුළට ‘රැස්කර ගැනීමේ’ තණ්හාව රජකරමින් තිබිණ.


බටහිර රදල මානසිකත්වයෙන් විසූ ප්‍රභූ පිරිස් පවා ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකර නම්‍යශීලී වූහ. බණ්ඩාරනායක වැනි ප්‍රභූහු බටහිර සිරිත් ඇඳුම් පැලඳුම් හා භාෂාව පවා “අත්හැර” රෙද්ද බැනියමට බැස සිංහල රජකළහ. කලිසම් ටයි කෝට් සංස්කෘතියට වඩා චාම් සරලකම වටිනා බව වාමාංශික විප්ලවීය නායකයෝ පවා පිළිගත්හ.


අගමැති ඩඞ්ලි සේනානායක තරම් ජනහඬට සවන් දුන් නායකයකු සොයා ගැනීමත් විරලය. ඔහු මිය යන විට බැංකු ගිණුමේ තිබුණේ සොච්චම් මුදලකි. ධනකුවේරයකු සේ වැජඹෙන්නට තිබුණ ද ඩඞ්ලිගේ චරිතය චාම් හා නිහතමානී බවින් පිරී තිබුණේ ඔහු රජයේ මුදල් හෝ දේපොළ අවභාවිත නොකළ බැවිනි.


සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය පුද්ගලයකු ඉඩම් දේපොළ අයිතිය තමන් විසින්ම ගෙනා පනතක් මගින් අක්කර පනහකට සීමාකරන්නට ඉඩ සලසා ප්‍රජාතන්ත්‍රවාදයට හිස නැමුවාය. එනිසා ඇය සතු ඉඩම් ප්‍රමාණය පවා අක්කර 50ට සීමා විණ.


50 - 60 - 70 යුගයේ මැති ඇමැතිවරුන්ගේ විශේෂ ලක්‍ෂණයක් වූයේ තමන්ගේ ආදායමේ පමණ දැනගෙන ඒ අනුව ජීවන රටාව සකස් කර ගැනීමය. එබැවින් ජනතාවට සිදුවූයේ තම නියෝජිතයාගේ අවශ්‍යතා සොයා බලා ඇතැම් විට මුදල් සම්මාදන් කර හෝ ඔහුට අවශ්‍ය දෑ පරිත්‍යාග කිරීමටයි. ජනතාව එය කළේ ද ගෞරවණීය යුතුකමක් ලෙස මිස බලෙන් පැට වූ බදු බරක් හෝ කප්පමක් ලෙස සිතා නොවේ.


එදා කලවාන මන්ත්‍රී සරත් මුත්තෙට්ටුගම ස්වෙච්ඡාවෙන් සිදුකරනු ලැබූ මහජන සේවයට උපහාර පිණිස ජනතාව එක්රැස් වී කුඩා මෝටර් රියක් ඔහුට තෑගි කළෝය. ආචාර්ය රිචඞ් පතිරණයන් වැනි ජනතාවාදී නියෝජිතයන් වෙත ද එවැනි ජනතා අනුග්‍රහ ලැබුණු බව පැවසේ. එසේ නැතත් බසයෙන් දුම්රියෙන්, බර කරත්තයෙන්, පාපැදියෙන් හෝ පයින් ගොස් ජනතා සේවය කළ මන්ත්‍රීවරු එදා රටේ විසූහ. 


සංස්කෘතික අමාත්‍ය ධුර දැරූ ටී.බී. තෙන්නකෝන් වැනි සරල චරිත පිළිබඳ තොරතුරු අසන විට අද සිටින මන්ත්‍රීවරුන්ගේ චර්යා රටාවන් ගැන දුක සිතේ. ඔවුන් සැබෑ ගැමියන් සේ සුදු රෙදි බැනියම් හැඳ, බුලත්විට කමින්, පාවහන් පවා නොමැතිව පයින්ම ගම් නියම් ගම් සිසාරා සංස්කෘතිය රැකගැනීමට ගියහ. ඔවුන් කවදාවත් රජයේ දේපොළ අවභාවිත කළේ නැත.


මහින්ද යුගයේ රජයේ දේපොළ අවභාවිත කළ බවට අද ආණ්ඩු පක්‍ෂය චෝදනා නගයි. එෆ්.සී.අයි.ඩිය හරහා ඔවුන්ට දඬුවම් ලබාදීමේ දැවැන්ත දැලක් එලා අවසන්ය. මෙම  චෝදනා අතර රජයේ දේපොළ, මුදල්, වාහන, ගොඩනැගිලි වැරදි පරිහණයට යොදා ගැනීම, මිලදී ගැනීම, හිතවතුන්ට දීම වරදාන, ඡන්ද සමයේ ගොඩනැගිලි භාණ්ඩ, සිල්රෙදි, ලිත් බෙදීම, රත්තරන් අශ්වයන්, සුඛෝපභෝගී වාහන, හොර බැංකු ගිණුම්, විදෙස් මුදල් පිළිබඳ චෝදනා වේ.


එහෙත් 17 වසරක් රජ කළ එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවලට ද මෙවැනි බරපතළ චෝදනා එල්ල වූ අයුරු අපට මතකය. ඔවුන් එදා බලයෙන් ගිලිහෙන විට ගෙන ගිය රජය සතු භාණ්ඩ, මුදල් හෝ දේපොළ මෙතෙක් භාර නොදුන් බවටය.


එහෙත් පුදුමයට කරුණක් නම් මේ දක්වා මෙම චෝදනාවලින් දඬුවම් ලැබූවකු පිළිබඳ නොඇසීමය. මන්ත්‍රීවරුන්ට ද වත්කම් හෙළි කිරීම අනිවාර්ය කර ඇති නමුත් ඔවුන් ඒ පිළිබඳ සත්‍ය තොරතුරු රටට හෙළි කර ඇත්දැයි දන්නේ දෙවියන් පමණි. මෙයින් පෙනී යන්නේ රජයේ දේපොළ අවභාවිතය කිරීම වනාහි දේශපාලන වාසිය තකා කලින් කලට ගෙන එනු ලබන සටන් පාඨයක් පමණක් බවයි. එහෙත් මෙම චෝදනාව සියයට සියයක්ම සත්‍ය බව දන්නේ මහා භාණ්ඩාගාරය හා ඡන්ද දායකයින් පමණි.


පසුගිය සතියේ නෝර්වේ රාජ්‍යයේ ධීවර ඇමැති සැන්ඩිබර්ග්ට අපූරු ඇබැද්ධියක් විය. 58 හැවිරිදි ඔහු තම 28 හැවිරිදි ඉරාන ජාතික පෙම්වතිය සමඟ ඉරානයට විනෝද චාරිකාවකට ගියේය. එහි යද්දී නෝර්වේ රජයෙන් ඔහුට ලබා දී තිබූ ජංගම දුරකථනය ද රැගෙන ගිය බව පැවසේ.


එය නෝර්වේ රටේ ආරක්‍ෂාවට තර්ජනයක් බව නෝර්වේ රටේ බුද්ධි අංශය ප්‍රකාශ කළේය. ඉරාන බුද්ධි අංශ විසින් නෝර්වේ රාජ්‍යයේ රහස් එමගින් ලබාගන්නට උත්සාහ ගෙන ඇතැයි ඔවුහු පෙන්වා දුන්හ.


එමනිසා අමාත්‍යවරයාට අගමැතිනි සෝල්බර්ග්ගෙන් මෙන්ම පාලක ප්‍රගතිශීලි පක්‍ෂයෙන් ද චෝදනා එල්ලවිය. ඒ අනුව වරද පිළිගත් අමාත්‍යවරයා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කළේය.


මෙය එක් උදාහරණයක් පමණි. ශ්‍රී ලංකාව වැනි රටක බලයේ සිටින කිසිදු දේශපාලනඥයෙක් තමන් අතින් සිදුවූ රාජ්‍ය දේපොළ අවභාවිතයට වදර පිළිගෙන එම වරද නිවැරදි කරගනිමින් ඉල්ලා අස්වූ බවක් අප අසා නැත. පක්‍ෂය විසින් හෝ පාර්ලිමේන්තුව විසින් හෝ ඒ සඳහා පියවරක් ගන්නේ නම් දිගින් දිගටම මෙවැනි සිද්ධීන් වාර්තා නොවනු ඇත.


එක් පාලන සමයක සිදුවන රජයේ දේපොළ අවභාවිතය පිළිබඳ චෝදනා හෙළිදරව්වන්නේ ද ඊළඟ පාලන කාලය තුළ දීය එනිසා මේවාගේ සත්‍ය අසත්‍යතාව පිළිබඳව සැක උපදිමින් දේශපාලන පළිගැනීම් නිසා විය හැකි බැවිනි.


මේ දිනවල සිදුවන තවත් රජයේ දේපොළ අවභාවිතාවක් නම් බලය ඇති පක්‍ෂය තමන්ට වාසිදායක වන පරිදි වැටුප් හා දීමනා වැඩි කර ගැනීම, සුඛෝපභෝගී භාණ්ඩ පරිහරණයට රජයේ මුදල් වැය කිරීම හා පළිගැනීම්වලට වන්දි යැයි දේශපාලන හිතවතුන්ට මුදල් ලබාදීමය.


කොළඹ නගර සභාවේ වැසිකිළි වායු සමීකරණය කිරීම, බස්නාහිර පළාත් සභාවට කෝටි ගණන් වටිනා සැප පුටු ගෙන ඒම, රට ආර්ථික අතින් අසීරු අඩියක තිබිය දී මන්ත්‍රී වැටුප් වැඩිකර ගැනීම ද තවත් චෝදනාය.
මැලේරියා වසංගතය රට පුරා ව්‍යාප්තව තිබූ සමයේ ඊට සුදු පාලකයන් නිසි පියවර නොගත්හ. මේ අතර රාජ්‍ය මන්ත්‍රණ සභාවට එක්තරා ඇමැතිවරයකු අපූරු යෝජනාවක් ගෙන ආවේය.


“බි්‍රතාන්‍ය ආදිපාදවරයා පිළිගැනීමට රුපියල් හතළිස් දහසක් වෙන්කළ යුතුයි” යනුවෙනි.


එම යුගය ගැන සලකද්දී එය මහත් ධනස්කන්ධයකි. රටම වසංගත රෝග බයෙන් හා ආර්ථික උද්ගමනයෙන් වෙළී සිටින මොහොතක මෙවැනි අමනෝඥ යෝජනාවල් ගෙන ඒම ගැන දේශප්‍රේමීන් කලකිරුණ ද තමන් කැපේ යැයි බියෙන් මන්ත්‍රීවරු කට නොඇරියහ.


මේ කතාව ඇසූ ශ්‍රී ලංකාවේ සමාජවාදී ව්‍යාපාරයේ පුරෝගාමියකු වූ දොස්තර ඇස්. ඒ. වික්‍රමසිංහ කෝපයට පත් විය.


“මේක මහා සාහසික තුච්ඡ යෝජනාවක්. අපේ ජනතාව මැලේරියාවෙන් මැරි මැරී යනවා. ජනතාව ජීවත් කරවන්න තියෙන මේ උතුම් ආයතනය සුද්දන් එක්ක බාල් නටන්න මහජන මුදල් වියදම් කරනවා. මං මීට එක හෙළා විරුද්ධයි” මන්ත්‍රීවරුන් ඉදිරියේ දෙපා පොළවේ ගසමින් ඔහු හඬ නැගුවේ ඔවුන් විස්මයටත් ලජ්ජාවටත් පත් කරමිනි.


මහජන නියෝජිතයා වනාහි හැමදේටම සිග්නල් කණු මෙන් අත ඔසවන්නකු නොව අවශ්‍ය තැනදී නිසි ලෙස හැසිරෙන්නකු බව මෙම උදාහරණවලින් පෙනී යයි.

 

 

 

 


පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි
ඡායාරූප : අන්තර්ජාලයෙනි.