සටන් ව්‍යාපාරයක් පෙළ ගැසෙන්නට පටන් ගති. එක් අතෙක වරාය කම්කරුවන්ය. තවත් අතෙක හෝටල් කම්කරුවන්ය. මේ සියල්ල අගනුවර ආශ්‍රිතව සිදු වුවද වමේ දේශපාලන නායකයෝ වෘත්තීය සංගම් ව්‍යාපාරය වතුකරයේ ප්‍රාදේශීය කම්හල් පමණක් නොව පාසල්වල ද ගෘහ සේවකයන් අතර ද පැතිර යන්නට පටන් ගති.


එකල පැවති පාලන ක්‍රමය අනුව දෙටුපෙළ සමත් සිංහල ගුරුවරයකුට ලැබුණේ රුපියල් තිහක (30) වැටුපක් වුවද ඉංග්‍රීසි දෙටුපෙළ සමත් ගුරුවරයකුට රුපියල් හැටක් (60) ලැබුණි. සිංහල අවසාන ගුරු සහතිකය ලැබූ ගුරුවරයකුට රුපියල් හතලිස් පහක් (45) ලැබුණු අතර එම සුදුසුකම ලැබූ ඉංග්‍රීසි ගුරුවරයකුට රුපියල් හැත්තෑපහක් (75) ලැබුණි. මෙබඳු විෂමතා ඉවත් කරන ලෙසට රජයට බල කරන ඉල්ලීම් රැසක් මුල් කරගෙන වමේ නායකයන් ගෙන ගිය සටන මුළුමහත් ලංකාවම ආන්දෝලනයට පත් කරන්නක් විය. 
මෙම බැරෑරුම්කම තවත් ඉහළට ගෙන යන්නට පිලිප් ගුණවර්ධන ඉතාමත් සූක්ෂමාකාරයෙන් වැඩපිළිවෙළක් ආරම්භ කළේය. කම්කරුවන් මෙන්ම ගොවි ජනතාව ද පෙළගැස්වීම තුළින් ජාතියම අවදි කළ හැකි වෙතැයි ඔහු තීරණයකට එළැඹියේය. යුද්ධ කාලයේ පැවැති නීතිරීති නිසා ගොවි ජනතාව පත්ව සිටියේ දැඩි අසීරුතාවකටය. වී බුසල රුපියල් අටකට විකිණිය යුතුය යනුවෙන් දැඩි නීති රිති පනවා තිබිණි. වී බුසල රුපියල් අටකට විකිණීම තුළින් තම මහන්සියවත් නොලැබෙන බව දැන සිටි ගොවි ජනතාව තමන්ට මේ අසාධාරණයට එරෙහි වීමට නොහැකි නිසා දැඩි කනස්සල්ලට පත්ව සිටියහ. යුද්ධය හමාර වුවද රජයේ ප්‍රතිපත්තිවල වෙනසක් නොවීය. 


සමස්ත ලංකා ගොවි සම්මේලනය නමින් අලුත් සංවිධානයක් ඇති කිරීමට පිලිප් ගුණවර්ධනට හැකි විය. දොස්තර වික්‍රමසිංහ අග නගරය මූලික කොටගෙන විවිධාකාර කම්කරු පිරිස් නව මාවතකට පෙළ ගැසෙද්දී ගොවි ජනතාව ද සටන් මගට එක් කළ යුතු යැයි පිලිප් සිතුවේය. ඔහුට ආශිර්වාද කළේ ඔහුගේ පියා බොරළුගොඩ රාලහාමිය. 
බොරළුගොඩ රාලහාමි වූ කලී මෙරට උපන් දෑ හිතකාමී අති විශිෂ්ට ජන ප්‍රධානියෙකි. ඔහු තම පාරම්පරික ඉඩකඩම් තම පරපුරට අහිමි කළේ දුක් කන්දරාවකින් පීඩනයට පත්ව සිටි තම පළාත් වැසියන් වෙනුවෙනි. පිලිප් ගුණවර්ධන ඔහුගේ අධ්‍යාපන කටයුතු සඳහා එතෙරට පිටත් කරනු ලැබුයේ ශ්‍රී ලංකා භූමි තලයේ ඇති සශ්‍රිකත්වය තුළින් මතු පරම්පරාවට කෘෂිකාර්මික යුගයක් උදාකර දෙනු සඳහාය. එහෙත් ඔහු මෙරටට පැමිණෙන විට පැවැති දේශපාලන වාතාවරණය යළි මෙරට නිදහස් අරගලයකට පැමිණෙමින් සිටි හෙයින් පාසල් නොගොස් කට්ටි පනිමින් සිටි රොබට් ගුණවර්ධන ද පිලිප්ගේ ගමන් මගට එකතු කර දුණි. 


පිලිප් මෙරට ඇති කළ පළමු ගොවි සම්මේලනය අමතන්නට පටන්ගත් විට බොරළුගොඩ රාලහාමි ඔහුට නොදැනෙන්නට පසෙකට වී තම පුත්‍රයාගේ දේශනයට සවන් දෙමින් සිටියේය. ඔහු වටපිට බැලූයේ තමා දන්නා හඳුනන ප්‍රභූන් යැයි කියාගත් කිසිවකු ඇත්දැයි නිරීක්ෂණය කරනු සඳහාය. 


වශිකෘතව සිටින මිනිසුන් ගැහැනුන් දෝංකාරය දෙන ඒ හඬ අසන්නට දෑස් දල්වා බලා සිටින අයුරු බොරළුගොඩ රාලහාමි දැක ගත්තේය. 


‘අපේ තාත්තා මම පිටරට යැව්වේ බැරිස්ටර් කෙනෙක් වෙන්න නෙවෙයි. පෙරකදෝරුවෙක් වෙලා මේ අහිංසක මිනිසුන්ගෙ සාක්කු හූරාගෙන ගෙවල් දොරවල් හදාගෙන රජ කෙනෙකු වගේ ඉන්න කියලා හිතාගෙන නෙවෙයි. මම පිටරට ගිහින් ඉගෙන ගත්තේ කෘෂිකර්මයයි. ඒ කියන්නේ අලුත් තාලෙට කෙරෙන ගොවිකම. අපේ රට ලෝකෙටම එක්කරගෙන යන්න මම සූදානම්. මේ පර සුද්දෝ නිරපරාදේ මම හිරගෙට යැව්වේ කවදා හරි මගෙන් රටට වැඩක් කර ගන්න බැරිවෙන විදිහටයි. ගොවි ජනතාව කම්මැළි වුණොත් උදාසීන වුණොත් මුළු ජනතාවම ඉවරයි. හෙට ඉඳලා කිසිම කෙනෙකුගේ වී ඇටයක්වත් ආණ්ඩුවට විකුණන්න එපා. උන් පිටරටෙන් හාල් ගෙන්නපුවාවේ. අපි අපේ මිනිස්සුන් දර දිය ඇදලා කරන ගොවිකමට ඉහළ තැනක් දෙන්න ඕනෑ.


පසුවදා සිට හේවාගම් කෝරලයේ සිට පමණක් නොව අසල ප්‍රදේශවල ගොවි ජනතාව රජයට වී විකිණීම මුළුමනින්ම ප්‍රතික්ෂේප කළහ. මහ ආණ්ඩුවට කර කියාගත හැකි දෙයක් නොවීය. 


ක්‍රමයෙන් මුළු මහත් ගොවි ජනතාවම පිලිප්ගේ ගොවි පෙරමුණ සමග ඒකරාශී වන්නට පටන් ගත්හ. හේවාගම් කෝරලයෙන් ඇරඹුණු ගොවි පෙළපාළිය ගාලු මුවදොර මන්ත්‍රණ සභා භූමිය වෙත ගමන් කරන්නට විය. ‘වී බුසලකට රුපියල් 12ක් ඕනෑ’ ඔවුන්ගේ සටන් පාඨය එය විය. පෙළපාළිකරුවන් නඟුල්, උදලු කර තබාගෙන පෙළපාළියේ ගමන් ගත්හ. මේ වනවිට පෙළපාළියට ගොවි සමිති ශාඛා 63ක් පමණ එක්ව සිටියහ.


මිනිසුන් කුපිත කරලීමේ චෝදනාව යටතේ සිය ගණනක් අත්අඩංගුවට ගැනුණි. සමසමාජ තරුණ සංගමයේ සභාපති කේ. එච්. පෙරේරා ඇතුළු කිහිප දෙනෙකුටම සිරගත වීමට සිදුවිය.


මෙම උද්ඝෝෂණයේ ප්‍රතිඵල වශයෙන් මෙතෙක් වී බුසලක් සඳහා රජය මගින් ගෙවූ රුපියල් 08 වෙනුවට රුපියල් 12ක් ලබාගැනීමට ගොවීන්ට අවස්ථාව ලැබුණි. මෙතෙක් බලයෙන් වී මිලයට ගනු ලැබුව ද මින්පසු සමුපකාර සමිති මගින් වී මිලදී ගැනීම ආරම්භ විය.