නන්දසේන සූරියආරච්චිගේ 
“ඇන් ඇම්” කෘතියෙනි

 

ආනන්දයේ ඉගෙන ගනිද්දී පාසල් නේවාසිකාගාරයේ කළ කෙළි සෙල්ලම් තුළින් ලද අත්දැකීම් නිසා එක් අතකින් රොබට් ගුණවර්ධන මෙතෙක් දේශපාලන ක්ෂේත්‍රයේ කිසිදු පුද්ගලයෙකු නොකළ වැඩ රාජකාරි සම්භාරයකට දායකත්වය දැරීය. බොරළුගොඩ රාලහාමි තම දරුවන් මෙරට ගෙන යන නව සමාජයක ප්‍රමුඛයන් වන බව කෙළිලොල් වයසේ සිට පිලිප් රොබට් කළ කතාවන් ඇසුරු කළ පුද්ගලයෝ මෙන්ම හැසිරීම් රටාවන් තුළින් ද හොඳින්ම දැන සිටි්යහ.


අධිරාජ්‍ය බලය දැඩිව ක්‍රියාත්මක වෙමින් තිබිය දී ඇසූ දුටුවන් සිරගෙදර කොටුකර ගනිද්දී තම දෙපුතුන් ගෙන යන අරගලය ඔහු දුටුවේ තමාට තම පරපුරෙන් කළ නොහැකි වූ වැඩ කොටසකට පිලිප් - රොබට් ගෙන යන ක්‍රියාදාමය තුළින් මෙරට ශක්තිමත් බලවේගයක් ගොඩනැගීම නිදහස් ජාතික උදාර මිනිසකු වශයෙන් මියැදෙන්නට හැකිවන බවයි.
අවදානම ඉතා බලසම්පන්න විය. දුටුතැන අත්අඩංගුවට ගෙන නොවිඳිනා දඬුවම් ලබා දී තම සහචරයන් විඳින දුක්ඛදායක තත්ත්වය බොරළුගොඩ රාලහාමි හොඳින්ම දැන සිටියේය.


“මම පෙර ආත්මයේ මහ පින්කමක් කරලා තියෙනවා දරුවෝ විතරක් නෙමෙයි පිලිප්ට එකතු වෙච්ච කුසුමා, විවියන්, ලෙස්ලි උන් කවද හරි අපේ රට හොල්ලාවි.’ මොහොතක් නොහැර බොරළුගොඩ රාලහාමි තම දූ දරුවන්ගේ ශක්තියෙන් නැගීගෙන එන නව ලොවක පෙරමඟ දිටීය.


මේ වන විට රොබට් සිටියේ කෙසේ හෝ සිරිමදිරියෙන් පැන යළිත් අධිරාජ්‍යවාදයට එරෙහිව ගෙනයන ඉන්දියානු ජනතාවගේ සටන් ව්‍යාපාරයට එක්වී තමන් උපන් දේශයේ ශක්තිය තුළින් නව ලොවක් බිහිකර ගැනීම උදෙසා ගෙන යන වීර ක්‍රියාවලියට තමාගේ උපරිම සහයෝගය දිය යුතුය යන දෘඨතර අපේක්ෂාවෙකි.
හිරගෙදරින් පිටවන්නට සැලසුම් කරගෙන සිටියත් පසුදිනම රොබට් ඇතුළු මැදිරියේ සිටි පිරිස බෝම්බායේ මහ බන්ධනාගාරයට මාරුකරනු ලැබිය. හිරගෙදර මාරු කරනු ලැබුව ද කිසිම වෙනසක් දක්නට නොලැබුණි. එකම පහසුවක් ලෙස දැනුණේ අතොරක් නොමැතිව තිබූ මකුණු කරදරයෙන් මඳකට හෝ අස්වැසිල්ලක් ලැබීම පමණී.
ඉන්දියානු ජාතික සටන් ව්‍යාපාරයේ නියමු මහත්මා ගාන්ධිගේ භාර්යාව වූ කස්තුරි බායි මිය ගියාය. මෙම හදිසි අභාවය නිසැකවම කුමන්ත්‍රණයක ප්‍රතිඵල බව දැනගත් බෝම්බාය නගරයේ ජනතාව මහමඟට පිළිපන්හ. තම ශක්තිය මුළුමනින්ම යොදවා රජයේ කාර්යාල රාජසන්තක දේපොළ විනාශ කරන්නට පටන් ගත්හ.
පොලිසිය මෙහිදී කැරලිකරුවන් රාශියක්ම අත්අඩංගුවට ගත්හ. බැටන් පහර වැදීම්, තඩිබෑම් තුළින් සමහර උද්වේගකරුවෝ දැඩි ලෙස පීඩනයට පත්ව සිටියහ. මෙහිදී අත්අඩංගුවට ගත් ගැහැනු කණ්ඩායමක් රැගෙන ආයේ බොම්බායේ ආතර් පාරේ පිහිටි රොබට් ඇතුළු කණ්ඩායම රඳවා සිටි සිර මැදිරියටය. මෙතෙක් කල් තමන් රඳවා සිටියේ ගැහැනුන් රඳවන සිරමැදිරියක බව රොබට් ඇතුළු පිරිස දැන ගත්තේ එවිටය.


‘අප මෙතැනින් එළියට යන්නේ නෑ. යවන්න ඕනම නම් උස්සගෙන ගිහිල්ලා ඕන තැනකට දමාපල්ලා’ රොබට් සිරිමැදිරිය භාර ජේලර්වරයාට කෑ මොර දුන්නේය. සිරමැදිරියට අලුතින් කිසිවකු පැමිණියේ නැත.


ඉන්දියානු රජයට රොබට් ගුණවර්ධන මහා හිසරදයක් විය. තම දේශයේ ජනතාව කුපිත කරවා ඔවුන් ලවා තවත් කලබැගෑනියක් ඇති කරන්නට රොබට් කල්යල් බලමින් සිටින බව ඔවුහු දැන සිටියහ.


රොබට්ගේ සිරමැදිරියට පැමිණි ප්‍රධාන ජේලර්වරයා ඔහු එළියට ගත්තේය.


“තමුසේ අපිට මහ කරදරයක්. ඉක්මනට ලෑස්ති වෙනවා ලංකාවට යන්න.’


“ලෑස්තිවෙන්න මට මොනවද තියෙන්නෙ. තව සුමාන දෙකක් ඉන්න තිබුණ නම් මම දන්නවා කරගන්න ඕන මොනව ද කියලා.”


“සද්ද බද්ද කරන්න එපා තේරුණා ද? ඔය තමුසේ ඇඳගෙන ආපු කලිසම් පරඬැල්ල ඇඳගන්නවා.” සිරමැදිරියට ගිය රොබට් තම මිතුරන් හමු වී කතාබහ කළේ ඔවුන්ට එරට කළ හැකි හැම දෙයක්ම කරන්නට උනන්දු වන ලෙසය. ලංකාවට ගොස් කළ හැකි වැඩ රාජකාරි රැසක්ම ඇති හෙයින් එය ද දෛවය විසින් පවරනු ලැබූ කාර්ය භාරයකැයි හෙතෙම තේරුම් ගත්තේය.


1944 අවුරුද්දේ මාර්තු මස 20 වැනිදා බොම්බායේ ආතර් පාරේ සිරගෙදර සිටි රොබට් ගුණවර්ධන තුවක්කු රැගත් මිලිටරි පොලිස් භටයෝ දෙදෙනෙක් සහ පිස්තෝලයක් රැගත් පොලිස් පරීක්ෂකයෙක් සමග දැඩි රැකවල් මැද්දේ බෝම්බායේ මධ්‍යම දුම්රියපොළට කැඳවාගෙන ආහ. මාංචු කුට්ටම, දම්වැල් ද යොදාගෙන මෙසේ කැඳවාගෙන ආ රොබට් එහි සිට මදුරාසිය බලා යන දුම්රියකට ඇතුළු කළහ. දින දෙකක් මුළුල්ලේ හිඳගන්නට අසුනක්වත් නැතුව ආ ගමන ඉතා දුෂ්කර විය. එග්මෝ දුම්රිය පොළින් රොබට් ලංකාවට ගෙන ඒමට කටයුතු යොදා තිබිණි. දැඩි මහන්සිය හා තෙහෙට්ටු ගතිය නිසා රොබට් එම දුම්රියට නගින්නට ගොස් බැලූ විට හිඳගන්නට තැනක් නැති බව දුටුවේය.
“මොකද කල්පනාව නගින්නේ නැද්ද?”


දුම්රියට ගොඩ නොවී  ඉදිරියට ගත් පය ආපස්සට  තැබූ රොබට් දෙස බැලූ පොලිස් ඉන්ස්පෙක්ටර්වරයා ඇසීය.

“හරකෙක් වගේ මේකෙ යන්නෙ කොහොමද?” දැන් දවස් දෙකක්ම හිටගෙන තෙරපි තෙරපි ආවේ. ආයෙමත් දවසක් හිටගෙන යන්න මට බෑ. දේශපාලන හිරකාරයන්ට තමුසෙල සලකන්නෙ මෙහෙමද?”


“මට ඒක කොහොමටත් කරන්න බෑ. තමුසෙට බැරිනම් මම ස්ටේෂන් මාස්ටර්ට කියල බලන්නම්” 


වේදිකාවේ සිට දුම්රිය ස්ථානාධිපතිගේ කාර්යාලය දෙසට යාමට පිටත් වූ රොබට් ගුණවර්ධනට යෑමට හැකි වුණේ අඩි තුන හතරක් පමණී. ඔහු පසුපසින් පැමිණි මුර භටයකුගේ තුවක්කු පහරක් රොබට්ගේ දණහිසට වැදුණි. රොබට් ඒ මොහොතේදීම බිම වැටුණි. අනෙක් මුරභටයා පැමිණ පහර වැදුණු දණහිසට තුවක්කු බටයෙන් ඇනගෙන ඇනගෙන ගියේය.


තමන්ගේ කකුල කැඩුණු බව රොබට් දැන ගත්තේය. සෙනඟ දෙසීයක් පමණ අතවරයට ලක්ව සිටි රොබට් වඩා එක් වූහ.


‘මේ බලපල්ලා උඹලගේ ජාතිය සුදු හැතිකරයෙන් බේරගන්න සටන් කරන්න ගිහින් මුන් මගේ කකුල කැඩුවා. මේ පන්දම්කාරයන්ට මගේ වැඩ නතර කරන්න පුළුවන් වෙන්නේ මාව මරා දැම්මොත් විතරයි. ඒ වෙනතුරු මම මගේ රාජකාරිය කරනවා.’ යැයි රොබට් ඉංග්‍රීසියෙන් හා දෙමළෙන් කියාගෙන කියාගෙන ගියේය. රොබට්ගේ කතා විලාසය සැර පරුෂ විය. ඔහුට වැඩිපුර කතා කරන්නට නොලැබිණ. එක් මුරභටයෙක් රොබට්ගේ අත් දෙකින් අල්ලා ගත්තේය. ඔව්හු රොබට් උස්සාගෙන ගොස් කෝචිචි පෙට්ටියට වීසි කළහ. බංකුවක වාඩි වී සිටි සෙනඟ ඉවත් කළ ඔවුහු එහි රොබට් දිගා කරවීය. අත්වලට මාංචු දමා එහි සවිකළ යකඩ දම්වැල් බංකු කකුළේ ගැට ගැසූහ.


දවසක් ගත කළ කෝච්චි ගමන තුළ දී රොබට්ට කන්නට බොන්නට කිසිවක් නොලැබිණ. එක් අතකින් කුසගින්නත් තවත් අතකින් කකුල කැඩී යාම නිසා ඇති වූ වේදනාවත් විඳ දරා ගනිමින් මහත් අපහසුවෙන් රොබට් ලංකාවට පැමිණියේය.