ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය තවමත් ලෝකයේ දියුණු රටවල දේශපාලන සංස්කෘතියේ අහලකටවත් ළඟා වී නොමැති බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන කරුණකි. විශේෂයෙන් මැතිවරණයක් ළං වෙත්ම සිදුකරනු ලබන අමනෝඥ හා ප්‍රකෝපකාරී කලබලකාරී සිදුවීම් නිරීක්‍ෂණය කරන විට ඒවා ගෝත්‍රික සමාජයන්හි දක්නට ලැබෙන ක්‍රියාවන්ට සමාන බව පැවසීම අතිශයෝක්තියක් නොවේ. 


ඒ ඒ දේශපාලන කණ්ඩායම්වල ක්‍රියාකාරකම් තවමත් පවතින්නේ ප්‍රාථමික සාමාජීය ලක්ෂණයන් පෙන්නුම් කරමිනි. පෝස්ටරයක් ගැසූ විට එම පෝස්ටරය උඩින් තවත් පෝස්ටරයක් අලවා වසා දැමීම, තැන තොතැන නොබලා පෝස්ටර්, පත්‍රිකා ඇලවීම, විරුද්ධවාදීන්ගේ ගෙවල් දොරවල් කඩා බිඳ දැමීම, ඡන්දදායකයින්ට අඩන්තේට්ටම් හා විවිධ ශාරීරික හා මානසික හිරිහැරයන් සිදුකිරීම විරුද්ධ පාක්ෂිකයින්ගේ වේදිකා කඩා බිඳ දැමීම ගිනි තැබීම ආදී සිදුවීම් ද නිරතුරුව දක්නට ලැබේ. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් වුවද ක්‍රියාත්මක වශයෙන් ඇත්තේ ප්‍රතිවාදී මත හා ක්‍රියාකලාපයන් නුරුස්සන ස්වභාවයකි. දේශපාලනය කිරීම යනු භයානක ජීවිත අවදානමකට පාර කපා ගැනීමක් යැයි සමහරු හඳුන්වති. විශේෂයෙන් ඡන්දයක් ප්‍රාකශ කිරීමෙන් පසු යුද්ධයක් මෙන් එයට මුහුණදීමට සිදුවන්නේ ඉහත සඳහන් කළ පරිදි ගෝත්‍රික ලක්‍ෂණ ඉස්මතු වීම නිසාය.
දියුණු රටවල නිදහසේ සාධාරණව නිශ්ශබ්දව තාප්ප පුරවන පෝස්ටරවලින් තොරව ඡන්දය පවත්වා නිසොල්මන්ව සිටීමෙන් ඡන්දයටත් මනුෂ්‍යත්වයටත් දක්වන ගෞරවය කෙතරම් වැදගත් ද? නිදහස් හා සාධාරණ මැතිවරණ ගැන අතොරක් නැතිව සමාජයේ කථා බහ වන්නේ මේ නිසාය. කෙසේ වෙතත් ලංකාවේ දේශපාලන ඉතිහාසය පුරාම මැනවින් පරික්සීමේදී දේශපාලන ගැටුම් එන්න එන්නම තීව්‍ර වී ඇති ආකාරය මැනවින් පෙන්නුම් වේ. මෙය කෙසේ අවසන් වී සාමකාමී නිදහස් සමාජයක් කවදා බිහිවේදෝයි බුද්ධිමත් හා සාමය, සංවරය, සදාචාරය කැමති ජනතාව අපේක්ෂාවෙන් පසුවෙති. එහෙත් එය කවදා උදාවේදැයි කිසිවෙකුට කිව නොහැක්කේ ප්‍රචණ්ඩත්වය සමාජයේ කිඳා බැස ගොස් ඇති  බැවිනි.


මෙම වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගැනීමේදී අතීතයේ සිදු වූ එබඳු ප්‍රබල සිදුවීම් අපගේ මතකයට නැංවෙන්නේ නිරායාසයෙනි. 1970 සිට 1977 දක්වා පැවති සමගි පෙරමුණු ආණ්ඩුව රටේ සංවර්ධනය සඳහා සාධනීය පියවරයන් රැසක් ගත්ත ද 1975 දී හිතුමතේ තවත් අවුරුදු 2ක් පාලන කාලය දික්කර ගැනීමෙන් පසු සමහරුන් කරන ලද අත්තනෝමතික හා ජන පීඩාකාරී ක්‍රියාවන් නිසා ශීඝ්‍ර ලෙස රජය පරිහානියට ළං විය. එහි එක් ලක්‍ෂණයක් වූයේ සමහර මැති ඇමැතිවරුන් විරුද්ධ පක්‍ෂයට කිසිම ඉඩක් නොදෙමින් මර්දනය හා පීඩනය ඇතිකරමින් සිදුකරන ලද ඇතැම් ක්‍රියා කලාපයන්ය. එකල හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම ආසනයේ ද එවැනි තත්ත්වයක් දක්නට  ලැබුණි.


එවක තිස්සමහාරාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වූයේ අධිනීතිඥ ටෙනිසන් එදිරිසූරිය මහතාය. කෙසේ හෝ වේවා එම වකවානුවේ එම ප්‍රදේශවල එක්සත් ජාතික පක්‍ෂයේ කිසිදු වර්ධනයක් දක්නට නොලැබුණි. එක්සත් ජාතික පාක්ෂිකයින් තමන්ගේ පක්‍ෂය ගැන පවා කතා කිරීමට එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. 1965 - 1970 කාලයේ එක්ස්ත ජාතික පක්‍ෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් සිටි චාලි එදිරිසූරිය මහතාගෙන් පසු හරියාකාර සංවිධායකවරයෙක් පවා එක්සත් ජාතික පක්ෂයෙන් තිස්සමහාරාම ආසනයට නොවීය. ඒ පසුබිම යටතේ 1976 වසර පමණ වන විට අම්බලන්තොට ඉන්ද්‍රා සිල්වා මහතා එජාප සංවිධායක තනතුරේ තාවකාලිකව වැඩ කළ අතර පසුව ස්ථිරව සංවිධායක වරයා වූයේ එකල හම්බන්තොට පළාතේ ජනප්‍රිය වෛද්‍යවරයකු වූ පී. එම්. බී. සිරිල් මහතාය. ඉන්ද්‍රා සිල්වා මහතා තාවකාලිකව සංවිධායක වශයෙන් කටයුතු කරද්දී මා සිටියේ කැලණිය විශ්වවිද්‍යාලයේ එක්සත් සමවාදී ශිෂ්‍ය සංවිධානයේ ලේකම්වරයෙකු වශයෙනි. එක්සත් ජාතික පක්‍ෂයේ සමස්ත ලංකා ශිෂ්‍ය සංවිධානයේ ලේකම් වශයෙන් ක්‍රියා කළේ ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතාය. අපි කරුණාසේන කොඩිතුවක්කු මහතා සමග ද සාකච්ඡා කර තිස්සමහාරාම සංවිධායක සමග ද සාකච්ඡා කර අම්බලන්තොට නගරයේ එජාප රැස්වීමක් පැවැත්වීමට කටයුතු සූදානම් කළෙමු. එවක දේශපාලන අධිකාරිය සමග හැප්පෙමින් දේශපාලන කටයුතුවල නිරතවීම ඉතාම භයානක ප්‍රතිවිපාක උදාවිය හැක්කක් විය හැකි යැයි අප සැලකුවද කෙසේ හෝ මෙම රැස්වීම පවත්වා නිදා සිටි පාක්ෂිකයින් පුබුදුවා ඉදිරියට ගත යුතු යයි අපි කල්පනා කළෙමු. ඒ අනුව තිස්සමහාරාම ආසනයේ එජාප සංවිධායකවරයා තවත් කීප දෙනෙක් ද සම්බන්ධ කර ගෙන 1976 ජුනි මස 05 වැනි දින අම්බලන්තොට නගරයේ රැස්වීමක් සංවිධාන කළහ. අම්බලන්තොට බස් නැවතුම්පල භූමියේ වේදිකාවක් ඉදිකර ශබ්ද විකාශන යන්ත්‍ර රැස්වීම් භූමිය වටා සවිකර අපි ඉතා මැනවින් රැස්වීම සංවිධානය කළෙමු. සවස 2.00ට රැස්වීම පටන් ගැනීමට නියමිත විය. මමත් කරුණාසේන කොඩිතුවක්කු මහතාත් එජාපයේ තවත් කථිකයින් කීප දෙනෙකුත් සමග කුඩා බස් එකකින් එදින උදේ වරුවේ කොළඹින් පිටත් වූයේ සවස 2.00ට පැවැත්වෙන රැස්වීමට සහභාගි වීමටයි.


සිදු වූයේ කුමක්ද? සවස 1.00ට පමණ තංගල්ලට සේන්දු වූ අපට ආරංචි වූයේ ඉතා භයානක ආරංචියකි. එනම් දවල් 12.30ට පමණ එවක දේශපාලන අධිකාරියේ ආශිර්වාදය ඇතිව අම්බලන්තොට නගරයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු ඇතුළු මැර කණ්ඩායමක් රැස්වීම් භූමියට කඩා වැදී වේදිකාව ගිනි තබා ශබ්ද විකාශන යන්ත්‍ර ද කඩා බිඳ දමා ඇති බවයි. එම සිද්ධිය සිදු වූ අවස්ථාවේ රැස්වීමට පැමිණි සෙනඟ සියයකටත් අඩු බව පසුව දැනගන්නට ලැබුණි. ඔවුන්ද හිස් ලූ ලූ අත දිව ගිය අතර වේදිකාව ගිනි ගෙන දැවෙන්නට විය. තංගල්ල පසුකරගෙන ආ කොඩිතුවක්කු මහතා හා තවත් ප්‍රබල කීප දෙනෙකු ඇතුළු අප හට සිද්ධිය ආරංචි වුවත් අප කල්පනා කළේ අම්බලන්තොට ගොස් කෙසේ හෝ රැස්වීම පැවැත්විය යුතු බවයි. එවකට එජාපයේ ප්‍රබලයෙකු වූ ජිනදාස නියතපාල මහතාද මෙයට සහභාගි වීමට පැමිණෙමින් සිටි අතර එතුමාගේ අදහස වූයේත් ගිනි තැබූ වේදිකාවේ සිටම රැස්වීම පැවැත්විය යුතු බවයි. අප සියලු දෙනා සවස 2.00 පමණ වන විට අම්බලන්තොටට ළඟා වූ අතර විශාල රැස්වීමක අලංකාර වේදිකාවක් ගිනි ගෙන දැවෙන හැටි බලන්නට අවට හැම ගම්මානයකින්ම සෙනඟ සිය දහස් ගණනින් ඇදී ආහ. ගිනි තැබීම සිදු නොවුණා නම් එකල දේශපාලන වාතාවරණය අනුව සෙනඟ අඩුවීමට ඉඩ තිබිණ. එහෙත් සිදුකරන ලද ත්‍රස්ත ක්‍රියාව නිසාම දස අතින් සෙනඟ  අම්බලන්තොටට පැමිණ බස් නැවතුම් පොළ භූමිය හා අවට එකම හිස් ගොඩක් බවට පත්විය. නියතපාල මහතා කොඩිතුවක්කු මහතා ඇතුළු කොළඹින් පැමිණි අප සියලු දෙනාගෙන් වැඩි පිරිසක් ගිනි තබා තිබූ වේදිකාවේ සුන්බුන් අතරට නැග ශබ්ද විකාශන යන්ත්‍ර ද අලුතින් සවි කරවා සවස 6.00 පමණ වන තෙක් රැස්වීම පැවැත් වූවෙමු. අම්බලන්තොට නගරයට විශාලම ජන ගඟක් ගැලූ දවසක් බවට එදින පත්වූවා පමණක් නොව සාමාන්‍ය මහජනතාවගේ සිත් තුළ නව දේශපාලන පෙරළියක බීජය දලු ලන්නට ද පටන් ගත්තේය.