නිරතුරුව මැතිවරණවලට මුහුණදෙන අප රටේ ජනතාව බොහෝ විට දේශපාලනය ගැන කථා කිරීමටත් අපේක්ෂකයින් වශයෙන් ඉදිරිපත්වීමට සිතා සිටින අය ඒ පිළිබඳ ප්‍රචාරක කටයුතු හා වෙනත් විධිවිධානයන් හි නිරත වන ආකාරයත් දක්නට ලැබෙන සුලභ දෙයකි. පසුගිය ජනාධිපතිවරණයෙන් පසු සැරසෙන්නේ මහ මැතිවරණයකට ය. ව්‍යවස්ථානුකූලව ලැබෙන ඉඩකඩ තුළින් ජනාධිපතිවරණය පවත්වා වැඩිකල් යන්නට මත්තෙන් මහ මැතිවරණය පැවැත්වීමට රජය උනන්දුවන්නේ විපක්ෂයේ බලය වැඩිවීම තුළ පාර්ලිමේන්තුවෙන් කෙරෙන කාර්යයන් නිසි පරිදි ඉටුකර ගැනීමේ දී මතුවන ගැටලු හා ප්‍රශ්නකාරී තත්ත්වයන් මගහරවා ගැනීමටයි. 


ඒ අනුව දැනට ප්‍රකාශ වන අන්දමට මාර්තුවල දී පාර්ලිමේන්තුව විසුරුවා අප්‍රේල් අග දී පමණ මහ මැතිවරණය පැවැත්වීමට සැලසුම්කර ඇති බවක් පෙනෙන්නට තිබේ. එය එලෙසම සිදුවේ ද? වෙනස්කම් සිදුවේ ද? මේ සියලු ප්‍රශ්න ජනපතිවරයාත් මැතිවරණ කොමිෂන් සභාවත් අතර තිබෙන විෂයයන් බැවින් වැඩිදුර විග්‍රහ කිරීම සුදුසු නොවේ යයි සිතමි.
කෙසේ වෙතත් ඡන්ද පැවැත්වීමත් ඒ සඳහා සූදානම්වීමත් පිළිබඳව සාකච්ඡා කිරීමේ දී දේශපාලන පක්ෂ ඒ සඳහා යොමුවන ආකාරය හා එහිදී සත්‍ය වශයෙන් සිදුවන ක්‍රියාදාමයන් මාගේ මතකයට නැගේ. ජනාධිපතිවරණ, පාර්ලිමේන්තු මැතිවරණ, පළාත් සභා මැතිවරණ, ප්‍රාදේශීය පළාත් පාලන මැතිවරණ යන සෑම මැතිවරණයකදීම ප්‍රචාරක යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමේ දී අනුගමනය කරන විවිධ ක්‍රම අතර ඒ ඒ ප්‍රදේශවල ප්‍රචාරක කටයුතු සඳහා පිටස්තර දේශපාලනඥයින් අනුයුක්ත කිරීම සුලභව දක්නට ලැබෙන කරුණකි. තම ප්‍රදේශයේ අය පමණක් ඡන්ද ව්‍යාපාරයේ යෙදවීම වෙනුවට පිටස්තර අය යෙදවීමෙන් බලාපොරොත්තු වන කරුණු කීපයකි. පළාතේ අයට වඩා වෙනස් මාදිලියේ ප්‍රචාරක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම තුළින් ජනතා ආකර්ෂනය නැඹුරුකර ගැනීමට හැකි යැයි කල්පනා කිරීම එක් කරුණකි. එසේම පළාතේ අයට වඩා පිට අය ගැන වැඩි පිළිගැනීමක් ඇතිවීම තවත් කරුණකි. පිට අය යෙදවූ විට ඔවුන් දිවා රෑ කැපවීමෙන් ඉතා සාර්ථකව ඡන්ද ව්‍යාපාරය කරගෙන යනු ඇතැයි යන විශ්වාසය තවත් කරුණකි. 


ලංකාව පුරාම ක්‍රියාත්මක වන මැතිවරණයක දී මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ දී ගැටලු මතු වුවත් පළාත් හා ප්‍රාදේශීය වශයෙන් සිදුවන ඡන්දවල දී එම ක්‍රමය සාර්ථකව ක්‍රියාත්මක කළ හැකිය. මෙසේ කරුණු විග්‍රහ කිරීමේ දී මාගේ මතකයට නැංවුණු සිදුවීම් කිහිපයක් අතරින් එක් සිදුවීමක් මෙහිලා සඳහන් කිරීමට අදහස් කරමි. 1993 පැවති දකුණු පළාත් සභා මැතිවරණය කරුණු කිහිපයක් නිසා දේශපාලන ඉතිහාසයේ නොමැකෙන සටහන් තැබූ මැතිවරණයකි. එහි ප්‍රතිඵලය ගැන නොව මා මෙහිදී පෙන්නුම් කරන්නේ ඡන්දය පැවති කාලපරිච්ඡේදයේ පිටතින් පැමිණි දේශපාලනඥයින්ගේ ක්‍රියාකලාපයන් පිළිබඳවයි. මෙම දකුණු පළාත් සභා මැතිවරණයේ දී කෙසේ හෝ නැවතත් බලය ලබා ගැනීමට එක්සත් ජාතික පක්ෂය විවිධ උපාය හා උපක්‍රම ක්‍රියාත්මක කරන ලද අතර දකුණු පළාත් සභාවට අයත් ගාල්ල, මාතර, හම්බන්තොට යන දිස්ත්‍රික්ක තුනේම ඡන්ද කොට්ඨාස සඳහාත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාත් කොළඹින් මැති ඇමතිවරුන් යැවීමට කටයුතු සිදු කෙරුණි. එසේ ගිය මැති ඇමතිවරුන් අදාළ පළාතේ මන්ත්‍රීවරු ඇමතිවරු සමග එක්ව වැඩ කටයුතුවල නිරත විය යුතුව තිබුණි. 


එම මැතිවරණයේ දී තිස්සමහාරාම මැතිවරණ කොට්ඨාසයේ ලුණුගම්වෙහෙර තිස්සමහාරාම සූරියවැව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශයන්හි සංවිධාන කටයුතු සම්බන්ධීකරණය හා මෙහෙයවීම මා වෙත පැවරී තිබුණ අතර ඒ සඳහා මා හට සහාය වී ඡන්දය මෙහෙයවීම හා සංවිධාන හා ප්‍රචාරක මෙහෙයුම් සඳහා කොළඹ සිරිකොත මූලස්ථානයෙන් එවා තිබුණේ එවකට තැපැල් හා විදුලි සංදේශ ඇමති ඒ. එම්. එස්. අධිකාරි මහතා හා ප්‍රතිපත්ති සැලසුම් ක්‍රියාත්මක කිරීමේ නියෝජ්‍ය ඇමති සහ පරිසර හා පාර්ලිමේන්තු කටයුතු ඇමති ආචාර්ය විමල් වික්‍රමසිංහ මහතාය. වික්‍රමසිංහ මහතා මා රාජ්‍ය ඇමති ධුරය දැරූ අමාත්‍යාංශයේ කැබිනට් අමාත්‍යවරයා වූ නිසාත් අධිකාරි මහතා අප සමග ඉතා සමීපව හිතවත්ව ක්‍රියා කළ අයෙකු නිසාත් ඔවුන් මා හට භාර වූ ප්‍රදේශ සඳහා එවීම ගැන මම බොහෝ සෙයින් සතුටු වීමි. එකල දුරකථනයක් ලබාගැනීම ඉතා අපහසු රාජ්‍ය අනුග්‍රහය පවා ලැබිය යුතු කරුණක් වූ නිසා මම අධිකාරි මහතා මගින් දුරකථන ලබා ගැනීමට අපේක්ෂා කළ බොහෝ දෙනෙකුට දුරකථන පහසුකම් ද ලබා දුන්නෙමි. කෙසේ හෝ අප තිදෙනා එකතු වී සැලැස්මක් සැකසූ අතර එම සැලැස්මේ එක් අංගයක් වූයේ සෑම දිනකම උදේ වරුවේ රැස්වීම් 3 බැගිනුත් සවස් වරුවේ 2.00 සිට රැස්වීම් 6කුත් පැවැත්වීමයි. 


ඒ සඳහා ක්‍රමානුකූල සැලැස්මක් සෑදූ අතර වික්‍රමසිංහ මහතා බණ්ඩාරවෙල නතර වී ඒවාට සහභාගි වීමට යොදාගත් අතර අධිකාරි මහතා කතරගම සංචාරක බංගලාවක නතර වී ඡන්ද කටයුතුවල යෙදීමට සිතුවේය. ඒ අනුව දින 10ක් පමණ ඇමතිවරු දෙදෙනාම මවිසින් සංවිධානය කරන ලද රැස්වීම්වලට සහභාගි වී ජනතාව ඇමතූ අතර තවත් දින 20ක් පමණ ප්‍රචාරක කටයුතුවලට ඉතිරි වී තිබුණි. කෙසේ හෝ දින 10කින් 12කින් පමණ පසුව ඇමතිවරු දෙදෙනාම දෙවතාවක දී කථා කර මා හට කීවේ “මල්ලි ඔයා රැස්වීම් ටික තියන්න. අපි නොසිටියාට කමක් නැහැ. ඡන්දය කිට්ටු කරල අපි නැවත එන්නම්” යනුවෙනි. ඒ අනුව මට සිදු වූයේ තනියම ඡන්දය කිරීමටයි. ඒ අතර වෙනත් පළාත්වලට පත්කරපු මැති ඇමතිවරු ගැනත් මම සොයා බැලුවෙමි. ඒ පැතිවලින් ආරංචි වූයේ ඡන්දය කිරීමට ආ මැති ඇමතිවරු බොහොමයක් දවස් කීපයක් වැඩකර කොළඹ ගිය ගමන් නැවත නොපැමිණි බවයි. මෙය අමුත්තක් නොවේ. ඡන්ද ව්‍යාපාරවල දී බොහෝ මැති ඇමතිවරුන් බරටම වැඩ යැයි කීවත් ප්‍රායෝගිකව සිදුවන්නේ මෙයම නොවේදැයි මට සිතුණි.