නගරාධිපති ඇල්ෆ්‍රඩ් දුරෙයප්පා සහ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය යාපනය සංචාරයේදී.

 

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රජයට මහත් වූ සහයෝගයක් දැක් වූ යාපනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකයා මෙන්ම යාපනය නගරාධිපතිවරයා ද වූ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ ඇල්ෆුඩ් දුරෙයප්පා මහතාය.


ඇල්ෆුඩ් දුරෙයප්පා යාපනයේ ජනප්‍රිය පුද්ගලයෙක් විය. ඔහු යාපනය නගරවාසී ජනතාවගේ ආදරය දිනා ගත්තෙක් විය. ඔහු ජනතාව දිනාගත්තේ මුහුණට මුහුණලා කෙරුණ වාග් සංග්‍රාමයන්ගෙන් නොව සුහද සාකච්ඡා හා ගැටුම් නිරාකරණයෙනි. තවද ඔහු සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය හා ඇයගේ දේශපාලන පූර්වගාමියා වූ එස්. ඩබ්.ආර්. ඩී. බණ්ඩාරනායක මහතා කිට්ටුවෙන්ම ඇසුරු කළ ඔවුන්ගේ හිතෛශිවන්තයෙකි. ඔහු සිංහල දෙමළ ජනතාවගේ එකමුතුව සඳහා ක්‍රියාකළ බලවතෙක්ද විය. ඔහුගේ දේශපාලන ශෛලිය සඳහා ආණ්ඩුවේ අනුග්‍රහය ලබා ගැනීම ඔහුට ගැළපුණු අතර ඒ නිසා ඔහු ශ්‍රීලනිපය සමග පෙළ ගැසුණේය.


1972 මැයි මස 22 වැනි දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය යන පක්ෂ වලින් සැදුම්ලත් සමගි පෙරමුණ ආණ්ඩුව විසින් පළමු ජනරජ ව්‍යවස්ථාව සම්මත කිරීමත්, ඒ තුළින් මෙරට ඒකීය රාජ්‍යයක් බව යළිත් තහවුරු කිරීමත්, සිංහල රාජ්‍ය භාෂාව කිරීම ඇතුළු කරුණු කාරණා නිසා ඊට එරෙහිව දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ විසින් මෙහෙය වූ විරෝධතාවන්ට උතුරේ දී රජය වෙනුවෙන් පෙනී සිට කටයුතු කළේද, ඇල්ෆුඩ් දුරෙයප්පා ප්‍රමුඛ පිරිස් විසිනි. ඒ අනුව එස්. ජේ. වී. චෙල්වනායගම්, අප්පාපිල්ලේ අමිර්තලිංගම් යන දෙමළ ජාතිවාදී බෙදුම්වාදී නායකයන් විසින් මෙහෙය වූ දෙමළ එක්සත් පෙරමුණ සහ එම සංවිධානයේ අනුප්‍රාප්තිකයා ලෙස කටයුතු කළ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ විසින් මෙහෙය වූ බෙදුම්වාදී දේශපාලනයට එරෙහිව දුරෙයප්පා කටයුතු කළේය.


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමෙන් දින දෙකකට පසුව එනම් මැයි 24 වැනිද‌ා යාපනයේ දෙමළ එක්සත් පෙරමුණෙන් මහජන රැලියක් පවත්වන ලද අතර යාපනය නගරය පුරා කළුකොඩි ඔසවා විශාල විරෝධතා ව්‍යාපාරයක්ද අරඹා තිබිණි. මෙම රැලියේ මුලසුන හොබවන ලද්දේ එස්.ජේ.වී. චෙල්වනායගම්ය. එසේම ඒ.අමිර්තලිංගම් ද ඊට සහභාගි විය. දෙමළ එක්සත් පෙරමුණේ තරුණ සංවිධානය නියෝජනය කළ නායකයෙකු වූ කාසි ආනන්දන් තම කථාවේ දී 1972 ව්‍යවස්ථාවට පක්ෂව ඡන්දය දුන් දෙමළ මන්ත්‍රීන් සියලු දෙනා ස්වභාවික රෝගයකින් මිය යාමට ඉඩ නොදිය යුතු බවත්, ඔවුන් මරා දැමීමට සුදුසු දෝහීන් යැයි කියා සිටි බවත්, එම පෙරමුණේ සතිපතා නිල පුවත්පත වන ‘‘සුතන්දිරම්’’ හි 1972 මැයි 28 වැනිද‌ා පළවිය. මෙම තර්ජනය හුදු වචනයකට සීමා නොවු අතර 1972 දෙසැම්බර් 19 වැනිද‌ා ඇල්ෆුඩ් දුරෙයප්පා ගේ නිවසට සන්නද්ධ කණ්ඩායමක් විසින් අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඔහු ඝාතනය කිරීමට උත්සාහ ගන්නා ලදි. නමුත් ඒ උත්සාහය ව්‍යවර්ථව ගොස් තිබිණි.


ඇල්ෆ්‍රඩ් දුරෙයප්පාට මඩගසා අපකීර්තියට පත් කිරීමේ වැදගත් සිද්ධියක් වූ​යේ 1974 ජනවාරියේ යාපනයේ පැවති අන්තර් ජාතික දෙමළ පර්​ෙ‌ය​්ෂණ සමුළුවයි. ආරම්භයේ දී සමුළුව කොළඹ දී පැවැත්වීමට බලාපොරොත්තු වුවත් පසුව එය යාපනයේ පැවැත්වීමට ප්‍රධාන සංවිධායක ආචාර්ය මහාදේව ඇතුළු සංවිධායක මණ්ඩලය තීරණය කළෝය. සමුළුව යාපනයට මාරු කෙරුණ කල්හි දෙමළ එක්සත් පෙරමුණ විසින් දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ කිරීම නොවැළැක්විය හැකිවිය.

 

යාපනය පිහිටි ඇල්ෆ්‍රඩ් දුරෙයප්පා ක්‍රීඩාංගනය.

 


පර්​ෙ‌ය​්ෂණ සාකච්ඡා මාලාව දියත් කෙරුණේ ශ්‍රේෂ්ඨ දෙමළ පඬිවරයෙක් වූ එක්ස්, තන්නිනායගම් පියතුමා විසිනි. යාපනයේ පැවති මේ සමුළුව පිළිබඳ මහත් මහජන උද්යෝගයක් විය. ජනවාරි 3 වැනිද‌ා සිට 9 වැනිද‌ා තෙක් වීරසිංහම් ශාලාවේ දී මේ විද්වත් සමුළුව පැවැත්විණි. විදේශීය නියෝජිතයන්ට සවන් දීමට මහජන ප්‍රතිචාරයක් තිබුණු බැවින් මහජන රැස්වීම 10 වැනිද‌ා සවසට යොදාගන්නා ලදි. ඒ අනුව 9 වැනිද‌ා අවසන් වීමට නියමිත රැස්වීම සඳහා වූ පොලිස් අවසරය 10 වැනිදා තෙක් දීර්ඝ කරන ලදි. අවසන් මහජන රැස්වීම ශාලාවේ එළිමහන් රංග පීඨයට ගෙන යාමට සංවිධායකයෝ අවසාන මොහොතේ තීරණය කළෝය. ඔවුහු එළිමහන් රංග පීඨය ලබා ගැනීමට අවසරය ගැනීම සඳහා යාපනය පුරපති ඇල්ෆ්‍රඩ් දුරෙයප්පා හා නාගරික කොමසාරිස් හමුවීමට උත්සාහ කළහ. එහෙත් එය සාර්ථක නොවීය.


සංවිධායකයෝ ශාලාවෙන් පිටත භූමියෙහි තාවකාලික වේදිකාවක් සූද‌ානම් කළහ. එය කන්කසන්තුරේ පාරට ද, යාපනය නගරාංගණයට ද, මුහුණලා ඉදිවිය. අවසන් සමුළුවේ කථිකයන්ට සවන්දීම සඳහා පනස් දහසක පමණ පිරිසක් පාරේද, නගරාංගණයේ සිට යාපනය කොටුවේ දියඅගල තෙක්ම ඉඳගෙන සිටියහ. ප්‍රමාද වී රාත්‍රි 8ට පමණ රැස්වීම ආරම්භ විය. සභාපති ආචාර්ය විද්‍යානන්දන් සහයෝගය දීම පිළිබදව පොලීසියට ස්තුති කළේය. ප්‍රථම කථිකයා වූයේ දකුණු ඉන්දියාවෙන් පැමිණි මහාචාර්ය නයින මොහොමඩ්ය. රැස්වීම අවසානයට ළඟාවන විට කැරැලි මර්දන ඇඳුම් වලින් සැරසුණු පොලිසිය කඩා පැන්නේ රැස්වීම කඩාකප්පල් කිරීමේ අරමුණෙනි. ඔවුහු අහසට වෙඩි තැබුහ. බියට පත් සෙනඟ සීසී කඩ දිව ගියහ. වෙඩි පහරවල් වැදී රැස්වීම් භූමියට ඉහළින් වූ විදුලි රැහැන් කැඩිණි. ඒ සමග ඇතිවූ කලබලය තුළ දී එසේ කැඩි එල්ලුණු විදුලි රැහැන් නිසා විදුලි සැර වැදීමෙන් සිවිල් වැසියන් හත් දෙනෙක් මිය ගියහ. කෙසේ වුවද මෙම ඛේදවාචකයට ඇල්ෆ්‍රඩ් දුරෙයප්පා කිසි ලෙසකින් හෝ සම්බන්ධ බවට අල්පමාත්‍ර හෝ සාක්ෂියක් නොවීය. එහෙත් ආණ්ඩුව සමග සිටීම නිසා නගරාධිපතිවරයා ඉබේටම ගොදුරක් බවට පත්විය.


එදිනම රාත්‍රියේ දෙමළ එක්සත් පෙරමුණේ ආධාරකරුවෙකු යැයි හඳුනාගන්නා ලද පුද්ගලයෙකු මෙහෙයවන ලද කණ්ඩායමක් විසින් මහවීදියේ තිබුණු ශ්‍රී.ල.නි.ප. කාර්යාලයට පහර දෙන ලදි.


සිවිල් වැසියන්ගේ මරණ සම්බන්ධයෙන් වූ ඛේදවාචකයට වගකිවයුතු බවට දුරෙයප්පාටත්. ආණ්ඩුවටත් චෝදනා කිරීමේ ප්‍රබල ව්‍යාපාරයක් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ විසින් දියත් කරන ලදි.


එසේම දෙමළ ජනතාවගේ දැඩි විරෝධයට හේතු වී තිබුණ 1974 දී විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඇතිකර තිබු දිස්ත්‍රික් කෝටා ක්‍රමයට හා ප්‍රමිතිකරණ ක්‍රියාවලියට අදාළව ආණ්ඩුව පාර්ලිමේන්තුවට නිල වාර්තාවක් ඉදිරිපත් කළේය. දිස්ත්‍රික් කෝටා ක්‍රමය හා ප්‍රමිතිකරණ වැඩපිළිවෙළ නිසා විශ්වවිද්‍යාලවල විද්‍යා අංශවල ද්‍රවිඩ සහභාගිත්වය ශීඝ්‍රලෙස පහත වැටී තිබුණු අතර එම තත්ත්වය ද්‍රවිඩ ශිෂ්‍යයන්ගේ දැඩි විරෝධයට හේතු වී ආයුධ සන්නද්ධ අරගලයක් මගින් දෙමළ රාජ්‍යයක් දිනා ගැනීමේ අරමුණ වෙනුවෙන් පෙනී සිටින සටන්කාමී තරුණ සංවිධාන ගණනාවක් උතුරු ප්‍රදේශයේ ගොඩ නැගී තිබුණි.

 

 


මේ අනුව මෙම සිදුවීම් යාපනයේ ගොඩනැගෙමින් තිබුණු දේශපාලන සංත්‍රාසය තවදුරටත් උණුසුම් කිරීමට හේතුවී තිබුණි.


අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය උතුරේ සංචාරය කරන ලෙස දුරෙයප්පා ආරාධනා කළ විට මැතිනිය එය සතුටින් පිළිගත්තාය. ඒ අනුව දුරෙයප්පාගේ පාක්ෂිකයන් විසින් 1974 ඔක්තෝබර් 5 දින යාපනය නගරයට එන අගමැතිනියව තොරණ ගසා පිළිගන්නා ලදි. යාපනයේ අල වලින්, ලුණු වලින් මිරිස් වලින් හැදු මාල ඇයගේ ගෙලට වැටුණි. ඇය ප්‍රධාන රැස්වීම් වේදිකාවට යාමට වාහනයෙන් බසින විට එම පාර දෙපස සිටි කාන්තාවෝ සිය දිගු කොණ්ඩය පාරේ අතුරා ඇයට ඔවුන්ගේ කොණ්ඩය මතින් පියනගන ලෙස ඉල්ලා සිටියහ. යාපනය නගරයට ආ අගමැතිනියට විරෝධය පළකිරීමේ විරෝධතා ව්‍යාපාරයක් ද්‍රවිඩ එක්සත් විමුක්ති තරුණ සංගමය විසින් දියත් කරන ලදි. මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කරන වැඩපිළිවෙළේ නායකත්වය ගෙන තිබුණේ පසුකලක දී දෙමළ ඊළම් කොටි සංවිධානයේ නිර්මාතෘවරුන් බවට පත්වන ප්‍රභාකරන්, පද්මනාදන් සහ බාලසිංහම් යන තරුණයන් තිදෙනාය. විරෝධතා රැස්වීම්වල දී, අගමැතිනිය යාපනයේ දී උත්සවාකාරයෙන් පිළිගැනීමට කටයුතු සංවිධානය කර තිබුණු යාපනය පුරපති ඇල්ෆ්‍රඩ් දුරෙයප්පා දෝහියෙකු ලෙස හඳුන්වා දෙන ලදි. 


ඇල්ෆ්‍රඩ් දුරෙයප්පාට විරුද්ධව ද්වේෂය ගොඩනැංවීමේ ස්වභාවය එසේ විය. ජාතිවාදී හැඟීම් තිබු අයට මේ ප්‍රතිචාරය ගිල ගැනීමේ කිසිදු අපහසුවක් නොවීය. මෙය ගමන් ගන්නේ කොතැනකට ද යන්න ඔවුහු නොඇසූහ. සටන්කාමයේ එළිපැත්තෙන් සිටි තරුණයන්ගේ සිත්වල රෝපණය වූ කල්හි මෙය මිනීමැරීමට පෙලඹීමක් විය.


ඇල්ෆ්‍රඩ් දුරෙයප්පා මහතාගේ පුරුද්දක් වී තිබුණේ සෑම සිකුරාද‌ා සැන්දෑවකම පොන්නලායි වර්ධරාජා පෙරුමාල් කෝවිලට ගොස් යාඥ‌ා කිරීමටය. මෙම පුරුද්ද යාපනයේ බොහෝ  දෙනෙකු සේම කොටි නායක වේලුපිල්ලේ ප්‍රභකරන්ද දැන සිටියේය. සුපුරුදු ලෙස 1975 ජුලි 27 වැනි දින තම සගයන් දෙදෙනෙකු සමග මෝටර් රියකින් කෝවිල වෙත පැමිණි අවස්ථාවේ ඇල්ෆ්‍රඩ් දුරෙයප්පා වෙඩි තබා ඝාතනය කරන ලදි. මෝදු වෙමින් තිබු කොටි සංවිධානය පිහිට වූ ඝාතක කල්ලිය අතර ප්‍රභාකරන්ද සිටියේය. දුරෙයප්පා සමග පැමිණි සගයෙක් වන යෝගනාදන්ගේ සාක්ෂිය මෙහි දී දැක්වීම වැදගත් වේ.


කෝවිල ආසන්නයේ මෝටර් රථය නැවැත් වූ වහාම ඔහුගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටි ඝාතකයෝ දොර සතරේ මෝටර් රථයේ දොරවල් තුනක් වෙත ආහ. ඔවුන්ගේ අභිප්‍රාය වූයේ දුරෙයප්පා සහ ඔහුගේ සගයන් දෙදෙනා මරා දැමීමය. ඔවුන් දෙදෙනාගෙන් යෝගනාදන් පසුපස දොරක් තුලින් බිමට බට කල්හි මිටි තරුණයෙක් තමා දෙසට පිස්තෝලයක් එල්ල කරමින් වෙවුලමින් සිටි බව දුටුවේය. යෝගනාදන් තරුණයා පසෙකට තල්ලු කර බිම පෙරළා දමා ළඟම තිබූ සිසිල් බීම විකුණන කඩයකට දිව ගියේය. අනෙක් සගයා වූ රාජරත්නම්ට තුවාල සිදුවූ නමුත් ඔහුට ද දිව යෑමට හැකිවිය. වෙඩි පහක් හෝ හයක් පත්තු විය. නගරාධිපතිවරයා බිම ඇද වැටෙනු දැක බියට පත්ව සිටි පත්කුණම් නමැති රියදුරාට රියෙන් බසින්නට අණකිරීමෙන් පසු තරුණයෝ දුරෙයප්පාගේ මෝටර් රථයට නැගී වේගයෙන් පළා ගියහ. මිනිමරුවන් ගිය කල්හි කඩය හිමි කාන්තාව ඔහුට එළියට එන ලෙස කතා කළාය. ඔහු වහා දුරෙයප්පා වැටි සිටි ස්ථානයට දිව ගියේය. ඔහුට දැකගත හැකි වූයේ වතුර ඉල්ලා කෑ ගසන දුරෙයප්පාය. ඔහු මිය යන මිනිසාගේ හිස තම උකුළ මත තබාගෙන පැන් උගුරක් ඔහුගේ කටට වත් කළේය. එවිට දුරෙයප්පා අවසන් හුස්ම හෙළීය. අවුරුදු ගණනාවකට පසු ප්‍රභාකරන්ගේ පින්තූරයක් දුටු යෝගනාදන් එද‌ා තමා ඉදිරියේ වෙවුලමින් පිස්තෝලයක් දිගුකරගෙන සිටි මිටි තරුණයා ප්‍රභාකරන්​ ලෙස හඳුනා ගත්තේය.

 


යාපනය නගරාධිපතිවරයා වූ ඇල්ෆ්‍රඩ් දුරෙයප්පා වෙඩි තැබීමට ගිය කණ්ඩායමට මහේන්ද්‍රන් හෙවත් මහත්තයා, සතාසිවම් හෙවත් සෙල්ලක්කිලි, සිවකුමාරන්. චාල්ස් ඇන්තනි හෙවත් සීලන් හා ක්‍රිෂ්ණ කුමාර් හෙවත් කිට්ටු යන අය ද ගොස් තිබෙන බව පසුව තොරතුරු අනාවරණය විය.


ඇල්ෆ්‍රඩ් දුරෙයප්පාට ජීවත් වීමට තිබු අයිතිය උදුරා ගැනීමේ ක්‍රියාව දෙමළ දේශපාලනය ශෝකාන්ත ක්‍රියාද‌ාමයක් දිගේ ගමන් කරවීය. දුරෙයප්පාගේ ඝාතනයෙන් මුළු ශ්‍රී ලංකාවම කම්පාවට පත්වූයේ කිසිදු භේදයකින් තොරවය.

 

 

එම්. තාරික්
ඡායාරූප අන්තර්ජාලයෙනි