ශ්‍රී ලංකාව බි්‍රතාන්‍යයන්ගෙන් දේශපාලන නිදහස ලබාගැනීම පමණක් ප්‍රමාණවත් නොවන බව සැලකූ මහාමාන්‍ය ඩී. ඇස්. සේනානායක අගමැතිඳු රටේ ආර්ථික දියුණුවද නංවාලීම සඳහා ස්ථිර අධිෂ්ඨානයෙන් කටයුතු කළේය. ඉඩම් ජලය හා මිනිස් බලය යන රටේ සම්පත් ප්‍රයෝජනයට ගනිමින් වියළි කලාපයේ ගොවි ජනපද බිහි කළේ ඒ නිසාය.
විදේශීය ආක්‍රමණිකයන් විනාශ කර දමා තිබූ රජරට වැව් අමුණු යළි ප්‍රකෘතිමත් කරමින් මින්නේරිය, ගිරිතලේ, පරාක්‍රම සමුද්‍රය සහ කන්තලේ වැනි යෝධ වැව් පිළිසකර කර කැලෑබිම් එළිකරවා මෙම ජනාවාස පිහිටුවන ලදී. ගල්ඔය සංවර්ධන යෝජනා ක්‍රමය ඊට උදාහරණය.


“ඩී. එස්. ජාතික ධනය විනාශ කරනවා, ගොවි ජනපදවලට යවන මිනිස්සු මැලේරියාව හැදිලා මැරෙනවා. රුවන්වැලි සෑය තරම් උසට සල්ලි කඳු නාස්ති කරනවා.
එදා විපක්‍ෂය  එසේ දෝෂාරෝපණය කළා. එහෙත් අද රජරට මෙන්ම රුහුණු රටේද සශ්‍රීකත්වය රඳා පවතින්නේ ඩී. ඇස්.  සේනානායකයන්ගේ දූර දර්ශී කෘෂි පිළිවෙත නිසා බව කාගේත් පිළිගැනීමයි. ධනවත් පවුලක උපත ලබා බටහිරවාදීන් ඇසුරු කළ පලියට දේශීයත්වය අමතක නොකළ චරිතවලට කදිම නිදසුනක් වන ඩී. ඇස්. නම් කළු කෝට් කලිසම් ඇඳ ටයිපටිය පැලඳි මහාකළු සිංහලයාගේ හදවතෙහි නිදහස් සිතුවිලි පිරී ඉතිරී තිබිණ.
විවේකය ලද සෑම මොහොතක්ම ඔහු ගත කළේ ගොවි බිම්වලය. දියකඳුරුවලය. පරිසරයට පෙම් කරමිනි.  
1935 දී එතුමා පළ කළ කෘෂිකර්මය සහ ජාති හිතෛෂීභාවය පොතෙහි මෙසේ සඳහන් වේ.
“මහවැලි ගඟ යනු ලංකා ගංගාවයි. එහි ජලධාරා නිරිතදිග  මෝසම් කලාපයට මෙන්ම ඊසාන දිග මෝසම් කලාපයටද ඇතුළත්ය. ඒ නිසා මුළු වසර පුරාම ගොවිතැනට ප්‍රමාණවත් ජලධාරාවක් ඇති බැවින් මහවැලිය තුළින් රට සශ්‍රීක කිරීම කාලෝචිත යැයි මම යෝජනා කරමි.”


අද ජල යෝජනා ක්‍රම ගැන දේශපාලනඥයන් කවර පුරසාරම් දෙඩුවත් කෘෂි කර්මාන්තය ගැන දිගුකාලීන දර්ශනයක් තිබුණේ ඩී. ඇස්. ට බව මින් පෙනී යයි. ඩී. ඇස්. ගේ පුතු ඩඞ්ලි සේනානායකයන් මෙරට අග්‍රාමාත්‍ය ධුරයට පත් ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අගය කළ තවත් නායකයෙකි. ඔහු ගොවි ජනතාවටත් ගම්බද පරිසරයටත් දැඩිසේ පෙම් කළ අතර රාජකාරි කටයුත්තකට ගියද ලක්දිව සොබාවික සුන්දර පරිසරය තම ගෙල බැඳි කැමරාවට ග්‍රහණය කර ගැනීමට උනන්දු විය.
එතුමා ජනතාවට බත සපයන්නට දිවයින පුරා වගා සංග්‍රාමයක් ඇරඹූ අතර නොමිලේ සහල් සහනාධාරය ලබාදෙමින් අඩු ආදායම් ලැබූ පවුල්වලට මහත් සහනයක් ලබාදුන් නිසා “බත්දුන් පියා” යැයි පටබැඳිණි.
මුදල් අමාත්‍ය ජේ. ආර්. ජයවර්ධනයන් අයවැය තුළින් සහල් සේරුවක මිල වැඩිකිරීම නිසා ප්‍රකෝප වූ ජනතාවගේ හර්තාල් ව්‍යාපාරය නිසා අග්‍රාමාත්‍ය ධුරයෙන් පවා වරක් සමුගැනීමට එතුමාට සිදුවිය.


අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිදුන් 1956 දී බලයට පැමිණියේ ප්‍රධාන ජාතික බලවේගය ලෙස සැලකුණු ගොවි ජනතාවගේ ඡන්දයෙනි. රදල ධනේශ්වර  පන්තියේ ප්‍රභූවරයකු ලෙස ජනිත වුවද එදා ආසියාවේ නැගී ආ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී බලවේගයේ අගය වටහාගෙන සියලු සම්පත් හැරදමා සරල ජාතික නායකයකු වශයෙන් දැයේ නිදහස වෙනුවෙන් පෙනී සිටියේය. 
තම බටහිර සිරිත් විරිත්, සිතුම් පැතුම්, ආහාර පාන පමණක් නොව ඇඳුම් පැලඳුම් පවා සිංහල ඌරුවට  හරවාගත් බණ්ඩාරනායක මැතිඳුන් තමන් විසින්ම වියා නිර්මාණය කරගත් කපු පිළි පරිහරණයට ගත්තේය. එතුමා ලියූ චරකය හා ගොයි කෙත  කෘතිය තුළින් බණ්ඩාරනායක මැතිඳුන් තුළ පැවති නිදහස් සිතුවිලි හා ස්වදේශානුරාගය කැපීපෙනෙයි. ඉන් ඔබ්බට ගිය කෘෂි සංස්කෘතියක් හඳුන්වාදීමට එතුමා උත්සාහ ගත්තේය.
“පාර්ලිමේන්තු රැස්වීම නිමවා නිවසට පැමිණි බණ්ඩාරනායක මහතා ඊළඟට සුනඛ ප්‍රදර්ශනයක් සඳහා තම සුරතල් බල්ලාද  කැටුව ගියේය. මෙය දුටු විරුද්ධ පක්‍ෂයේ මන්ත්‍රීවරු ඔහුට සමච්චල් කළහ.


“ඔබතුමා උදේට ජාතික ඇඳුම අඳිනවා. හවසට බටහිර ඇඳුම ජැන්ඩිපහට ඇඳගෙන බලු ප්‍රදර්ශනයට යනවා. ඕකද ඔබතුමාගේ ප්‍රතිපත්තිය?”
මෙම කියමන ඇසූ බණ්ඩාරනායක මැතිඳුන්ගේ මුවට සමච්චල් සිනහවක් ආරූඪ විය.
“හරි හරි පාර්ලිමේන්තුව  වගේ වැදගත් තැනකට මා ජාතික ඇඳුම අඳිනවා. බලු වැඩවලට කලිසම් කෝට් අඳිනවා. ඒක වැරදිදද?
බණ්ඩාරනායක මැතිඳු පෙරළා විමසුවේය.
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය රදල පැලැන්තියක උපත ලැබුවද එතුමිය සතුවූ චාම් ගතිගුණ කාරුණික භාවය, ඉවසීමේ ගුණය, ආගම දහමට ඇති ළැදියාව සමතැන්හි ලා සියල්ලන් සැලකීම, දේශමාමකත්වය හා මව් ගුණය අසම සම විය. තමා මරන්නට ආ කැරලි කරුවන්ටද ඇය මවක වූවාය. ලංකා මහිලා සමිතිය ව්‍යාපාරයට බෙහෙවින් පෙම් කළ ඇය කොළඹ හතේ කතුන් මෙන්ම ඈත ගම්බද ගැමි කතුන් සමගද සහෝදරත්වයෙන් කටයුතු කළාය. මල් වගාවට මෙන්ම එදිනෙදා ජන ජීවිතයට ප්‍රයෝජවත් වන ගෙවතු වගාවට හා කෘෂි කර්මාන්තයටද ජනතාව දිරිමත් කළේ තමන්ද ඊට ආදර්ශය සපයමිනි. 


දේශීය වගා සංග්‍රාමයක් අරඹමින් විදෙස්වලින් මෙරටට ආනයනය කරනු ලබන සහල්, බී ලූනු, තිරිඟු පිටි සහ වෙනත් කුළු බඩුවලට සීමා නීති පනවා සියරට දේ සිරි සැප දේ යන නිදහස් ප්‍රතිපත්ති තුළ කටයුතු කිරීම නිසා උග්‍ර ආහාර හිඟයක් රට තුළ තාවකාලිකව ඇතිවිය.
“හාල් නැත්නම් මං හඳෙන් හරි ගෙනත් දෙනවා. අල බතල මඤ්ඤොක්කාවලට හුරු වුවහොත් විදෙස්  වහල් භාවයෙන් නිදහස්වන දිනය අත ළඟයි. මේ තරම් සශ්‍රීක පොළොවක් තබාගෙන පිටරට සහලට අත දිගු කිරීම අපේ මුතුන් මිත්තන්ටත් කරන අපහාසයක්”

 

ගොවි ජනතාව දිරිගන්වමින් ඇය කියා සිටියාය. එහෙත් ධනවාදී චින්තනයේ වහලුන් වී සිටි බහුතරයකගේ බලපෑම් මත 1965 - 1977 වකවානුවල පැවති මැතිවරණවලදී ඇයගේ ආණ්ඩුව  පරාජය වූවා සේම ඇයගේ ප්‍රජා අයිතියද අහෝසි විය. ජනපති රණසිංහ ප්‍රේමදාස යුගයේදී උදාගම් සංකල්පය සහ උදාගම් ව්‍යාපාරය තුළින්  ආර්ථික  අතින් අසරණ වූ ඈත ගම්බද ජනතාවට සිදුවූ සේවය කියා නිමකළ නොහැකිය.
ජනපති ජේ. ආර්. ජයවර්ධන මැතිඳුන් දරදඬු බටහිරවාදියකු ලෙස හංවඩු ගැසී තිබුණද ගාමිණි දිසානායක අමාත්‍යතුමන් යටතේ කඩිනම් මහවැලි  ව්‍යාපාරය දියත්කර මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය තුළින් ගමට සිදුකළ සේවයද විශාලය. මේ හැම පියවරකින්ම මෙරට ජනනායකයන් විසින් 1948 දී අප රට ලැබූ නාම මාත්‍රික නිදහස සැබෑ නිදහසක් බවට පත් කරන්නට උත්සාහ දැරූ අතර දේශපාලන මතවාද හා බල අරගලවලින් මිදී නිදහස් දිවියක් ගත කරන්නටද සිහින මවන ලදී.
ජනපති මහින්ද රාජපක්‍ෂ යුගයේදී බිහිසුණු යුද වාතාවරණය මැද සාරවත් ගොවිබිම් අස්වද්දන්නටත් ගම්බද සොබාවික පරිසරය රැකගන්නටත්, ඇවිදින මංතීරු හා නගරාලංකාරය තුළින් නිදහස් සුන්දර හා පවිත්‍ර  පරිසරයක් නාගරික ජනතාවට මෙන්ම විදේශ සංචාරකයන්ට සලසා දීමටත් කටයුතු කෙරිණි.
ජනපති ගෝඨාභය රාජපක්‍ෂ යුගය එළැඹි කෙටි සමය තුළ නිදහස් සුන්දර පරිසරය පද්ධතියක් රට තුළ නිර්මාණය කිරීමට මහත් මෙහෙවරක් ඉටු කරන බව පෙනේ. කසළ කඳු පොලිතින් මාරයා සමග කරන සටන ඊට හොඳ උදාහරණයෝය. වතුකරයේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීමද කාසල්රි ජලාශයට මත්ස්‍ය පැටවුන් මුදාහැරීම, ඩෙංගු මර්දන ව්‍යාපෘතිය විධිමත් කර දඩ මුදල 25,000 දක්වා වැඩි කිරීම, කසළ ප්‍රතිචක්‍රීයකරණය, මියැදී යන වන ගහණය වර්ධනය කිරීම සඳහා රුක් රෝපණය, ජලපෝෂකවල කඩොලාන ශාක වර්ධනය කිරීම වැනි ව්‍යාපෘති රැසක් තුළින් පාරිසරික නිදහස රැකගැනීමට ක්‍රියා කර ඇත.

 

 


පාරිසරික නිදහසට ප්‍රියකළ අපේ රටේ දේශපාලනඥයන්ගෙන් කැපී පෙනෙන චරිතයක් ලෙස දිවංගත අගමැති දි. මු. ජයරත්නයන්  දැක්විය හැකිය. උපතේ සිට දේශපාලන ජීවිතය පුරාත් මරණය පෙනි පෙනීත් එතුමා පරිසරය ඇසුරු කරමින් චාම් දිවි පෙවතක් ගත කළේය.
පාරම්පරිකව එක්සත් ජාතික පක්‍ෂයට හිතවත් පවුලක උපත ලද දි. මු. තුළ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ගැනත් එහි සමාජවාදී ප්‍රතිපත්ති ගැනත් පැහැදීමක් ඇති වූ අතර පියාට හොරෙන් දේශපාලනයේ නියැළී ශ්‍රීලනිපයේ ඉහළ නායකයන්ගේ ප්‍රසාදයට පත්විය. 1970 කෘෂිකර්ම අමාත්‍ය හෙක්ටර් කොබ්බෑකඩුව විසින් වතු ජනසතු ව්‍යාපාරය ඇරඹීම ගැන සතුටු වුණු ඔහු තම ගම් ප්‍රදේශය වන ගම්පොළ ඉඩම් බෙදීමේ කටයුතුවලට සහභාගි වූයේ ප්‍රදේශයේ තරුණයන් 5000ක් සමගය.
එදා ඔවුන් ඉඩම් බෙදුවේ කොහු ලණුවලින් බව සඳහන් වේ. 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන සමයේදී දි. මු. ඉඩම් කෘෂිකර්ම හා වන සම්පත් අමාත්‍යවරයා වූ අතර 1997 දී ඔහු අම්බුළුවාව ව්‍යාපෘතිය ඇරඹීය.


එය තනිකරම දි. මු. ගේ සැලසුම අනුව ක්‍රියාත්මක වූ අතර කිසිදු ඉංජිනේරු සැලැස්මක් හෝ වාස්තු විද්‍යා සැලැස්මක් නොවූ බව පැවසේ. එහි අඩි 457ක් උස චෛත්‍යයක් එතුමා නිර්මාණය කළේ ගොවි ජනතාවට උපහාර ලෙසිනි. සියලු ආගම්වලට ආදරය කළ දි. මු. අම්බුළුවාව ව්‍යාපෘතියේ ඉදිකළ සර්ව ආගමික මධ්‍යස්ථානවලට එකම මාර්ගයකින් යා හැකි අපූරු නිර්මාණයක් කළේය. දේශපාලනයෙන් සමුගත් දා සිට මියයන තුරුම දි. මු. සාමාන්‍ය මිනිසකු මෙන් එම ව්‍යාපෘතියට ඇප කැපවී කටයුතු කළේ සැබෑ නිදහස ලද්දෙකු ලෙසිනි. අක්කර 25කට අධික අම්බුලුවාව  කඳු මුදුනේ වැව් අමුණු ආරක්‍ෂා කර එයට පිවිසෙන මාර්ගය ඉදිකරන ලද්දේ ස්වාභාවික හරිත වනාන්තරය හා එහි සිසිල් සෙවණ ආරක්‍ෂා කර ගනිමිනි.


“මහරජ තොප මෙම භූමියේ අයිතිකරුවා නොව ආරක්‍ෂකයාය”


එදා මිහිඳු සමිදුන් දේවානම්පියතිස්ස නිරිඳුට දුන් අවවාදය පරිදි සැබෑ දේශපාලනඥයාගේ යුතුකම සහ වගකීම සංවර්ධනය මුවාවෙන් පරිසරය වැනසීම නොව එය ආරක්‍ෂා කර රට ගොඩනැංවීම බව එදා අපේ නායකයෝ දැන සිටියහ.

 

 

පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි
ඡායාරූප අන්තර්ජාලයෙනි