ජුනියස් රිචඞ් ජයවර්ධන එදා සමහර ප්‍රායෝගික දේශපාලකයන් විසින් හඳුන්වා දෙනු ලැබුවේ, මූණු දෙකේ ජානුස්ට සමාන කරමිනි. කපටිකම, තණ්හාව පළිගැනීම ජේ.ආර්. ට සවිකළ මූණුවල අන්තර්ගත යැයි ඔවුහු අනුමාන කළහ. 

කොමියුනිස්ට්වාදයට මාර්ක්ස්වාදයට, ට්‍රොට්ස්කිවාදයට සපුරා විරුද්ධ වූ ජේ.ආර්. බටහිර අධිරාජ්‍යවාදී කඳවුරේ මහ බලවතා වූ ඇමෙරිකාවට පක්ෂපාත වීම නිසාත් එම පිළිවෙත් ඇගැයු නිසාත් ඔහුට යැංකි ඩිකි වශයෙන්ද වමේ නායකයන් විසින් නම් පටබැඳීමක් කරන ලදහ. 


ජයවර්ධන පරපුරේ විකාශය පිළිබඳව ගවේෂණාත්මක හැදෑරීමකින් පසුව හෝ එහි සම්භවය අසිංහල ජාතියකට සම්බන්ධව ඇතැයි පොත් පිංචකින් එළි දැක්වු පී. මලල්ගොඩ පාඨක ලොවට ජේ.ආර්. හඳුන්වා දුන්නේ තම්බි මුදියන්සේ නමිනි. මෙම හෙළිදරව්ව පිළිබඳව නෛතික ක්‍රියා මාර්ගයක් හෝ කුමන අන්දමක ප්‍රතිචාර දැක්වීමක් හෝ කිරීමට ජේ.ආර්. නොපෙලඹීමෙන් ගම්‍ය වූයේ එය තමා වැනි සද්දන්තයෙකු ඉදිරියේ කටුස්සෙකුගේ රංගනයක් හැටියට සිතා විය හැකිය.


කෙසේ වෙතත් ජේ.ආර්. තම අරමුණ සාක්ෂාත් කර ගැනීමට ඕනෑම ප්‍රබල බාධකයක් වුව මැඩගෙන ඉදිරියට යෑමේ ඉවසීමක් හා අධිෂ්ඨාන පූර්වක ආත්ම ශක්තියක් ද ප්‍රබල චින්තන ශක්තියක් ද ඇති දුර්ලභ ගණයේ පුද්ගලයෙකු විය. 


ඩී.ඇස්. ඇවෑමෙන් ඩඞ්ලි අගමැති පදවියට පත්වීම පිළිබඳව බලවත් කනස්සල්ලකින් සිටි ජේ.ආර්. ඩඞ්ලි නොව ඊළග අනුප්‍රාප්තිකයා විය යුත්තේ සර් ජෝන් බවත් ඔහුගෙන් පසු අනිවාර්යෙන්ම තුන්වෙනි සුදුස්සා තමා බවට ඇඟිලි ගනිමින් සිටියත් බලාපොරොත්තුව තවත් පස්සට යෑම පිළිබඳ සිටියේ කෝපය තද කර ගනිමිනි. 


පස්ස දොරෙන් අගමැති වී යැයි විපක්ෂය අවලාද නගන්නට වූයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැර 1952 පැවති මහ මැතිවරණයෙන් පැහැදිලි ජයක් ලැබූ ඩඞ්ලි දෙවන වරටත් අගමැති වෙමින් මුල්ම පාර්ලිමේන්තුවේ මුදල් ඇමතිව සිටි ජේ. ආර්. ම තම කැබිනට්ටුවේ ද මුදල් ඇමති තනතුරට පත්කර ගත්තේය. 


ඩඞ්ලි, කෙනෙකු මනින්නේ ඔහුගේ දක්ෂතාවයන් මතය. තමාට එරෙහි යටි කූට්ටු කුමන්ත්‍රණ ගැන කිසිවක් විශ්වාස නොකළ නායකයෙකු වූ ඔහු ඩී.ඇස්. රජයේ සභානායක ද වී අගමැති තොප්පිය අබියස සිටි අමාත්‍ය සර් ජෝන් තම කැබිනට්ටුවේ ප්‍රබල ඇමතිවරයෙකු කිරීමට තරම් ඩඞ්ලි දක්ෂතාවයට තැන දුන්නේය. 


මුදල් ඇමති වශයෙන් 53 අය වැය ලේඛනය තමන්ට ආවේගි වූ ගාම්භීර හඬින් මැති සභා ගත කරද්දී තම අසුනට හේත්තු වී නිදි කිරමින් මෙන් අඩවන් දෙනෙතින් යුතුව අගමැති ඩඞ්ලි අසා සිටියේ විපක්ෂයෙන් වරින් වර නැඟෙන විරෝධතා හඬ පවා ගණනකටවත් නොගනමිනි. 


හිඟන්නාගෙන් පටන් පළමු පුරවැසියා දක්වා නොවෙනස්ව බෙදෙන හාල් සේරුවේ මිල අය වැයෙන් අසීමිත ලෙසට ඉහළට නැංවෙද්දී විපක්ෂයේ ප්‍රබල විරෝධ හඬින් ඇසුණේ කෙළින්ව ඩඞ්ලිට පවා මෙය අදහාගත නොහැකි දෙයක් විය. 


අද ජනපතිට ඇමති තීරණ වෙනස් කිරීමේ බලයක් ඇතත් එදා අග්‍රාණ්ඩුකාරයාට එවැනි බලතලයක් තිබුණේ නැහැ. එසේම අද ඇමති මණ්ඩලයට හෝ අගමැතිට සමහර අය වැය රහස් හෙළිදරව් කිරීමක් සිදු වුවත් එදා එවැනි තත්ත්වයක් නොතිබුණා වන්නට පුළුවන. නොඑසේ නම් අගමැති ඩඞ්ලි පැවැති තීරණයකට ඉඩ නොදීම ඒකාන්තය. 


හේතුව ඒ වන විට රජයේ මහා භාණ්ඩාගාරයෙන් විදේශ සංචිතයේත් ආර්ථික දේහය ඉතා ශක්තිමත්ව පැවතීම නිසා අයවැයකින් භාණ්ඩ මිල වැඩි කිරීමක් අවශ්‍ය නොවීය හැකි නිසාය. 


එහෙත් හාල් මිල ඇතුළු භාණ්ඩ කිහිපයක මිල වැඩි වීම, පාර්ලිමේන්තුවෙන් එළියට එවුණු ගිනි දැල්ලක් වී රට පුරා ඇවිළී ගියේ ඩඞ්ලිගේ බඬේ රුදාව හිස රදයක් බවටද පත් කරවමිනි. 


ජේ.ආර්. අපේක්ෂා කළ අන්දමට පාර්ලිමේන්තුවේ විපක්ෂ කණ්ඩායම අපේක්ෂා කර සිටි රජයේ අවසානය රජයේම ප්‍රබල ඇමතිවරයෙකුගේ මැදිහත් වීමකින් ආරම්භ වීම අගයමින් රට පුරා මහා හර්තාලයකට මුලු මහත් ජනතාවගෙන් වැඩි කොටසක් ඒකරාශී කළේ ජේ.ආර් වෙස්වළාගෙන පැමිණ ආශිර්වාදයක් සේ සිතමිනි. 


මෙම සටන් පෙරමුණේ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා බර්නාඞ් සොයිසා, පීටර් කෙනමන්, එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක වැනි දේශපාලන නායකයෝ සමග වෘත්තීය සමිති නායකයෝ ද වූහ.


සමස්ත වැඩ කරන ජනතාව ද සහභාගි කරගනිමින් පැවති මෙම හර්තාලය මුළු රටම අක්‍රිය කිරීමට සමත්වූ අතර එයින් ඔද වැඩී ගිය ඔවුන් වඩාත් දරුණු වෙමින් රටපුරා ප්‍රචණ්ඩ ක්‍රියා ද ඇති කිරීමේ හේතුවෙන් හදිසි තත්ත්වය පනවා අකමැත්තෙන් වූව අගමැති ඩඞ්ලි සේනානායක රටේ සාමය ඇති කර ගැනීම් වස් අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීම සඳහා ආරක්ෂක සේනාංකවලට තම අනුමැතිය ලබා දුනි. 


මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රචණ්ඩ ලෙස හැසිරුණු කම්කරුවන් 09 දෙනෙකුගේ ජීවිත ආරක්ෂක අංශයන්හි වෙඩි උණ්ඩවලට ගොදුරු විය. 


ඩඞ්ලිගේ කැබිනට්ටුවේ ඇමතිවරයෙකු වශයෙන් සිටියත් මේ පිළිබඳව ප්‍රතිචාරයක් පවා දක්වන්නට ජේ.ආර්. උනන්දු නොවු බවට සමහරුන් පළකළ මතයන්හි සත්‍යතාවයක් ඇතැයි පතළ වූයේ ඩඞ්ලි සේනානායක අගමැති ධුරයෙන් ගෙදර යවන්නට සකස් කළ පිඹුරු සියල්ල සිදුවූ බවට රටම ජේ. ආර්. වෙතට ඇගිල්ල දිගු කිරීම හේතුවෙනි. 


එහෙත් එසේ ගෙදර යැවු ඩඞ්ලි 56 දී ආසන 08ට බැස ඉතා අසරණ වූ එක්සත් ජාතික පක්ෂය නැවත ගොඩ නැගීමට ඩඞ්ලිට ආරාධනා කිරීමට ජේ.ආර්. ලාටම සිදුවීම දෛවයේ සරදමක් නොවන්නේ ද? 

 

 

 


එල්. ඩබ්ලිව්. පුෂ්ප කුමාර 
ඡායාරූප : අන්තර්ජාලයෙනි.