ජනාධිපතිවරණ සටන දිනෙන් දින උණුසුම් වෙමින් පවති. එක් එක් අපේක්ෂකයන් වෙනුවෙන් වේදිකා දෙදරවමින් කථිකයෝ නොයෙකුත් තර්ක මතු කරති. ඒවාට පිළිතුරු දෙති. මාධ්‍ය සාකච්ඡා පවත්වති. නිවේදන නිකුත් කරති. මේ සියල්ලම කෙරෙන්නේ ඡන්දදායකයන් වන අපේ දැනගැනීම සඳහාය. වෙනත් වචන වලින් කියතොත් නිවැරදිව සුදුස්සාටම ඡන්දය දීම සඳහා අප දැනුම්වත් කිරීම උදෙසාය. එහෙත් මේ කියන බොහෝ දේ අපට වැදගත් වන්නේ නැත. මෙසේ පසුගිය දින වල ඇසුණු එක කතාවක් වූයේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳවය. 
 
එහෙත් ඒ ගැන ඡන්ද දායකයාට ගැටලුවක් ඇති බවක් නොපෙනේ. මාධ්‍යවේදීන් වශයෙන් අපට ද එම කරුණ අදාළ නොවේ. මෙම කාරණය ප්‍රථමයෙන්ම මතු කළේ අද සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රබල ආධාරකරුවන් වශයෙන් පෙනී සිටින අය වලුන් බවද කියවේ. ඡන්දය දීමේදී අපි නම් මේ කිසිවක් අදාළ කර නොගන්නෙමු. 
 
මෙම ලිපිය මගින් අප උත්සාහ කරන්නේ මෙම අධ්‍යාපනය යන මාතෘකාව සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකතුමාට පමණක් නොව ඉතා ඈත අතීතයක සජිත් මහතාගේ පියා වු ආර්. ප්‍රේමදාස මහතාට ද එල්ල වු බව පැවසීමටය. 1978 පෙරබවාරි 04 වැනිදා දෙවැනි ජනරජ ව්‍යවස්ථාව ක්‍රියාත්මක වී අගමැති ජේ. ආර්. ජයවර්ධණ මහතා විධායක ජනාධිපතිධුරයට පත්වීමෙන් පසු හිස් වු අගමැතිධුරයට පත්කර ගනු ලැබුවේ ආර්. ප්‍රේමදාස මහතාය. කොළඹ කෙහෙල්වත්තේ ඩයස් පෙදෙසේ ප්‍රභූ පන්තියට අයත් නොවූ පවුලක ඉපිද සිය උත්සාහයෙන්ම ක්‍රියාකාරී දේශපාලනය තුළ කැපී පෙනෙන චරිතයක් බවට පත්ව 1977 මැතිවරණ ජයග්‍රහණයෙන් පසු රජයේ දෙවැනියා බවට පත්ව සිටි ප්‍රේමදාස මහතා එම රජයේ සභානායකවරයා ලෙස කටයුතු කළේය. අගමැතිකමට මුලදී පත්ව සිටියේ ඔක්ස්ෆර්ඞ් හා කේම්බි්‍රජ් ආදි විදේශ සරසවි වල අධ්‍යාපනය ලැබු ප්‍රභූ පවුල් වලින් පැවතෙන්නන්ය. ප්‍රථම අගමැති ඩී. ඇස්. සේනානායක මහතා කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයේ ඉගෙනුම ලැබුවෙක් වුවත් වඩා ඉහළ අධ්‍යාපනයක් ලැබු අයෙකු නොවන බව දැන සිටියේ ටික දෙනෙකි. දොන් ස්ටේපර් සේනානායක මුදලිතුමාගේ පුත්‍රයෙකු වශයෙන් හා අධිනීතිඥ ඇෆ්. ආර්. සේනානායක මහතාගේ බාල සොහොයුරා ලෙස ද හිමි ව තිබු කීර්තියක් ක්‍රියාකාරීව ජාතික නිදහස් අරගලය උදෙසා දැක්වු දායකත්වයක් නිසා ගොඩනැගී තිබුණු මහා පෞරුෂය හමුවේ ඩී. ඇස්. ගේ අධ්‍යාපන මට්ටම ගැන කතා කරන්නට කිසිවකු ඉදිරියට ආවේ නැත. 1960 දී බලයට පත් සිරිමාවේ බණ්ඩාරනායක මැතිනිය සම්බන්ධයෙන් මෙවැනි කසුකුසුවක් පැන නැගුණත් ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ බිරිඳ වීම නිසාත් සිය පියාණන් වූ බාන්ස් රත්වත්තේ දිසාවගේ පවුල් පසුබිම නිසාත් ඇය කොළඹ ශාන්ත බි්‍රජට් කන්‍යාරාමයේ ආදී ශිෂ්‍යාවක වශයෙන් දිනාගෙන තිබුණු කීර්තියක් හේතුකොටගෙන එම කසුකුසුවද නොබෝ දිනයකින්ම වියැකී ගොස් තිබුණි. 
 
ආර්. ප්‍රේමදාස මහතා කලකට පසු විධායක ජනාධිපතිධුරයට පත් වු පසුව ඔහුගේ විදේශ කටයුතු පිළිබඳ උපදේශකවරයා වශයෙන් රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පිළිබඳ විශාරද දැනුමකින් හෙබි කීර්තිමත් සිවිල් නිලධාරියකු වු බ්‍රැඞ්මන් වීරකෝන් මහතා පත්කර ගත්තේය. ඔහු තරුණ නිලධාරියෙකු වශයෙන් 1954 දී සර් ජෝන් කොතලාවල මහතා යටතේ අග්‍රාමාත්‍ය ලේකම්ධුරයට පත් කරගෙන තිබුණි. රාජ්‍ය සේවයේ ඉහළම තනතුර ලෙස එකල පිළිගැනීමට ලක්ව තිබුණේ අග්‍රාමාත්‍ය ලේකම්ධුරයයි. අවකංක හා අපක්ෂපාතී සේවය නිසා පසුව අගමැතිවරුන් වු ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, ඩබ්ලිව්. දහනායක. සිරිමාවෝ බණ්ඩාරනායක, ඩඞ්ලි සේනානායක, ජේ. ආර්. ජයවර්ධන යන නායකයන් යටතේ අග්‍රාමාත්‍ය ලේකම් ලෙස බ්‍රැඞ්මන් වීරකෝන් මහතා කටයුතු කර තිබුණි. එමෙන්ම අම්පාර සහ ගාල්ල මහ දිසාපතිවරයා වශයෙන් ද කලක් සේවය කළ ඔහු වරක් එක්සත් ජාතීන්ගේ සංගමයේ ජනගහන ප්‍රතිපත්ති සමුළුවේ ආසියානු කලාපීය අධ්‍යක්ෂවරයා වශයෙන් ද සේවය කළ ප්‍රවීණයෙක් වූවේය. මෙවැනි බොහෝ ඇසු පිරූ තැන් ඇති ජ්‍යෙෂ්ඨයෙක් තම උපදේශකවරයෙකු ලෙස සමීපයේ සිටීම වාසියක් ලෙස ජනාධිපතිවරයා සලකන්නට ඇත. පොත් කීපයක් ලියා ඇති ප්‍රකට ලේඛකයෙකු ද වු බ්‍රැඞ්මන් වීරකෝන් මහතා 1991 දී ජනාධිපතිවරයාගේ විදේශ කටයුතු උපදේශකවරයා ලෙස පත් වීමෙන් පසුව එම රාජකාරි වලට අමතරව වෙනත් විශේෂ කාර්යයක් ද ඔහුට පවරනු ලැබීය. එනම් ප්‍රේමදාස චරිතාපදානය ඇතුළත් කුඩා පොත් පිංචක් සම්පාදනය කිරීමයි. ප්‍රේමදාස මහතා සමග සම්මුඛ සාකච්ඡා පැවැත්වීමෙන් සහ අන්‍ය මූලාශ්‍ර මගින් සපයා ගන්නා ලද තොරතුරු අනුව ඔහු එම පොත් පිංච සකස් කළේය. 
 
ගාල්ල දිස්ත්‍රික්කයේ කොස්ගොඩ හෑගල්ලෙන් තම වාසනාව සොයා කොළඹ කෙහෙල්වත්තට පැමිණි සුළු ව්‍යාපාරිකයෙකු වු රිචඞ් රණසිංහ මහතා ජනාධිපතිවරයාගේ පියා වූවේය. ඔහුගේ මව හොරණ ප්‍රදේශයේ ගම්බද කුල කාන්තාවක වූ බටුවිට ජයසිංහ ආරච්චිගේ එන්සිනාහාමි වූවාය. මෙම යුගයේ තම දෛවය උරගා බැලීම සඳහා කොළඹට සංක්‍රමණය වන්නෝ ඔහුල වූහ. එහෙත් දියුණුව කරා ළඟාවීමට හැකි වූවේ අතළොස්සකට පමණි. නගරයේ පවතින දැඩි තරගකාරී තත්ත්වයට ඔරොත්තු දිය හැකි අල්පයක් පමණ පුද්ගලයෝ ජය ගත්හ. රිච්ඞ් රණසිංහ මහතා අත ගැසුවේ රික්ෂෝ ව්‍යාපාරයකටය. වාසනාව ඔහු කරා පැමිණියේය. පසු කලෙක පියාට රික්ෂෝ රථ හැත්තෑවක් පමණ අයත්ව පැවති බව ආර්. ප්‍රේමදාස මහතා පවසා තිබුණි.  මෙසේ සාර්ථක ව්‍යාපාරිකයෙකු බවට පත් වූ රිචඞ් රණසිංහ මහතාගේ කැඳැල්ලට ප්‍රේමදාස දරුවා එක් වූයේ 1924 ජුනි 23 වැනිදාය. පාරම්පරික බෞද්ධයන් වූ රණසිංහවරු තම දරුවාට අකුරු කරවීම සඳහා කෙහෙල්වත්තේ පූර්වාරාම විහාරයේ ගෞරවාහර්හ වැලිතර පඤ්ඤානන්ද හිමියන්ට භාර කළහ. 
 
එහි දී සම්ප්‍රදායිකව සිදුවන පරිදි ශතක පොත් කියවීම අකුරු ලිවීම, දහම් ඉගෙනුම එහිදී සිදු විය. එම දහම් පාසැලේ ද ඉගෙනුම කළ ඔහු පසු කාලීනව පිටකොටුවේ වේල්ලවීදියේ හාවඞ් බාලිකා පාසැලට ඇතුළත් කරනු ලැබීය. අනතුරුව මරදානේ ලෝරන්ස් විද්‍යාලයේත්, මරදානේ ශාන්ත ජෝසප් විද්‍යාලයේත් අධ්‍යාපනය ලැබූ බව කියැවේ. දේශ දේශාන්තරයන්හි ප්‍රකට උගතෙකු සහ බුද්ධිමතෙකු වූ ලෙගොත් පියතුමා එකල ශාන්ත ජෝසප් විද්‍යාලයේ විදුහල්පතිවරයාව සිටි බව වාර්තාවන්හි දැක්වේ. 
ලෙගොත් පියතුමාගේ විදුහල්පති සමය එම විද්‍යාලයේ ස්වර්ණමය යුගය වූ බව සැලකේ. එකල දියුණුවේ හිණීපෙත්තේ පැවති මිෂනාරි අධ්‍යාපනයේ හොඳම කේන්ද්‍රස්ථානයක් ලෙස ශාන්ත ජෝසප් විදුහල සලකනු ලැබීය. එහි පෙර දිග භාෂාවන් ඉගැන්වීමට ද කටයුතු යොදා තිබුණි. එම අංශයේ අධිපතිවරයා වු ඩී. ජේ. ඇන්තනි පියතුමාට බාරදෙන ලදුව ප්‍රේමදාස සිසුවා ඉතිහාසය භූගෝලය යන විෂයන් ඉතා දක්ෂ අන්දමින් ශිල්ප හැදෑරුවේය. ඔහු පාසැලේ සෑම කථික තරගයකදීම කැපී පෙනුණේය. විද්‍යාලයේ සාහිත්‍ය සංගමයේ සභාපතිධුරය හෝ ලේකම්ධුරය එම කාලයේදී නිසැකවම හිමි වූයේ ආර්. ප්‍රේමදාසයන්ටය.  
 
මේ සියලු විස්තර ගොනු කර බ්‍රැඞ්මන් වීරකෝන් මහතා ප්‍රේමදාස චරිතය පිළිබඳව වූ සිය කුඩා පොත නිකුත් වූ වහාම ප්‍රතිවාදිහු ප්‍රේමදාසයන් ශාන්ත ජෝසප් විද්‍යාලයේ ඉගෙන ගත් බව කියවෙන තොරතුරු නිවැරදි නොවන බව දක්වමින් දැඩි විවේචන එල්ල කළහ. 
 
එපමණකින් නොනැවතුණු ඔවුහු ..උය්එ ඊර්ාපදබ ාසා බදඑ ි්හ ්ඉදමඑ ඡරුප්ා්ි්.. නමින් සවිස්තරාත්මක පොතක් ද පළ කළහ. මෙයට පිළිතුරු දීමට ද බ්‍රැඞ්මන්ට සහ ජනාධිපති ප්‍රේමදාසයන්ට සිදුවිය. බ්‍රැඞ්මන් වීරකෝන් මහතා සඳහන් කර තිබු ආකාරයට ප්‍රේමදාස දරුවා ප්‍රථමයෙන්ම ශාන්ත ජෝසප් විදුහලට ඇතුළත් කිරීමට ගිය විට විදුහල්පති ලෙගොත් පියතුමා සමග ඇති වු සම්මුඛ සාකච්ඡාව මෙසේය. 
 
ඔබ මොන ජාතියේද? ලෙගොත් පියතුමා විමසා ඇත. මම සිංහල 
ආගම මොකක්ද? 
මම බුද්ධාගමේ 
තමුන්ගේ ආගම ඉගෙනගන්න යනවාද? 
ඔව්. මම ඉරිදට යනවා. 
බෞද්ධයකු වීම ගැන ආඩම්බරද? 
ඔව්. ෆාදර් 
මේ ඉස්කෝලෙට එන්න ඕන වුණේ ඇයි? 
මට තවදුරටත් ඉගෙන ගන්න ඕනෑ නිසා. 
 
මේ කුමන පිළිතුරු සැපයුවද ප්‍රේමදාස විරෝධීහු නිහඬ නොවූහ. ඔවුහු දිගටම ශාන්ත ජෝසප් කතාව පුන පුනා ප්‍රකාශ කළහ. එම ගැටලුව නිරාකරණය වූයේ එවකට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වු ඕ. එස්. එම්. සෙනෙවිරත්න මහතා ඉදිරිපත්ව ආර්. ප්‍රේමදාසයන් තමාත් සමග එකම පන්තියේ සාන්ත ජෝසප් විද්‍යාලයේ ඉගෙන ගත් බව ප්‍රකාශ කිරීම නිසාය. මෙහි පුදුමය වන්නේ එදා ජනාධිපතිධුරයට පත්ව සිටි පියාට එල්ල වු චෝදනාවට ගැළපෙන චෝදනාවක් දීර්ඝ කාලෙකට පසුව එම තනතුරටම ඉදිරිපත්ව සිටින ඔහුගේ පුත් සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව ද නැගී තිබීමයි. කෙසේ වුව ද අපට කීමට ඇත්තේ දේශපාලන ක්ෂේත්‍රයේ සඳහටම මෙවැනි දේ දක්නට ලැබෙනු ඇත යන්නය. 
කවියෙකු හා රසවතෙකු වශයෙන් ප්‍රකටව සිටි ආර්. ප්‍රේමදාස මහතා නිතරම පාහේ කවියන්, කලාකරුවන් ඇසුරු කළේය. ඔවුනට අනුග්‍රහය දැක්වීය. ඇමතිවරයෙකු වශයෙන් ප්‍රථමයෙන්ම පත් වු 1969 දී අගනුවර තරුණ කවි සමාජයේ උත්සවයක මුලසුන හොබවමින් පැවසු රසවත් කවි පෙළත් පළාත් පාලන සහ නිවාස ඇමතිවරයා වශයෙන් ඔහුගේ අරමුණු ප්‍රතිපත්ති අනාගත සැලසුම් ආදිය ගැන පමණක් නොව තම ආදරණීය පුත්‍රයා ගැන ද සඳහන් කර තිබුණේ මෙසේය.
 
 
ගරුතර හිමි වරුනි 
නෝනාවරුනි මහතුනි 
කවියෙනි කිවිඳියෙනි
මෙන්න මුලසුන දෙසුමේ කවි පැණි 
මටයි මගේ බිරිඳට 
අ.ත.ක.සය කවි මිණි කැට 
දිගු කළ ඇරයුමට 
පුදමි අපගේ කවි කුසුම් මිට 
දෙව් ලොව නොවිය හැකි 
සියලු විසිතුරු දැකුමෙකි 
මිහිමඬල මත සකි 
මගේ මව්බිම මහා කවියකි 
පාසල් මෑණිගෙන් සිප් කිරි උරණ වියේ 
කවියන් ඇසුර මම ලැබුවෙමි සිහල දැයේ 
පණ කඳ තිබෙන තුරු මාගේ නිසරු කයේ 
ඒ රස මතක පවතිනවා තවම ළයේ 
පැලද මල් වඩම් ඒ අය නොඑන රියෙන් 
නොකියා අපට යා යුතු වු ගමන ගියෙන් 
මෙහිදී දෙනුවනින් වෑහෙන මතක දියෙන් 
හදවත තෙමී කවි මතුවෙයි රසික ළයෙන් 
එඩිතර කවි ලියා ජාතිය අවදි කළ 
කිවිසුරු ටිබෙට් හිමිගේ කවි ඇසුණු කල
රට ගැන කුඩා අවදියේ දී මහද තුළ 
ලියලු හැඟුම් විය මගෙ දියුණුවෙහි මුල 
සාගර කපිල මීමන රස තුරුණු වියේ 
නාරම්පනාවේ පී. බී. හනික ගියේ 
ජී. එච්. කිවිඳු එගොඩහ ඉඳ සසර ඔයේ 
බුදුගුණ ගයනු ඇත සැකයක් නොමැත ළයේ 
මහ කවි රාජකරුණා කිවඳුගේ පෑන 
නැළැවිලි ගීතයෙන් කිරි බිළිඳුගෙ මූණ 
සිඹිමින් තොටිල්ලේ මැව්වා නිදි සීන 
ඒවා ගැඹුරු උල්පත් වෙති රස ගේන 
මේ හැම දෙනාගේ සුමිහිරි ඇසුර දිනා 
මම පොඩි වියේදිම කවියට පුරුදු වුණා 
කවි රසයෙන්ම දුක සැප හදවතෙහි අනා 
ඊයෙත් අදත් මිනිහෙකු සේ සතුටු වුණා 
වයසත් ඇඟත් මහතයි එපමණට උසයි 
පත්තර කලාවේ පරතෙර දුටුව ඇසයි 
තවමත් නිශ්ශංක මැතිඳුගෙ පෙනුම යසයි 
පවසන ගැමි කතා කවදත් කනට රසයි 
දෙතොලේ සිනාවකි නැළැවෙන සැනසිල්ලේ 
තවමත් ඔරුව පැදගෙන යයි රසරැල්ලේ 
කිවිඳුනි මී විතක් බඳු මී තොට මුල්ලේ 
ඔබ වේ මුතු ඇටය සරසවියගෙ තැල්ලේ 
නිතරම ඇසට නොපෙනෙන මිහිරම සොයන 
අවිහිර කොහිද එතැනට තම පිය තියන 
කැමරාවෙනුත් ලෝ පරිසිදු කවි කියන 
සුවඳයි ලොවට හෑගොඩගේ හද උයන 
ජන ගී රිදි සීනුවෙ හඬ ඇසුණු එදා 
මාගේ ඇමැති අංශය තුළ රුඳුණු මෙදා 
සේවය කරන විට දහදිය මුගුරු දදා 
එඞ්වින් කිවිඳු මා අසලම සිටිනු හොදා 
 
 
 
 
ආර්. ප්‍රේමදාස මහතා 1969 අප්‍රියෙල් 02 වැනිදා සිළුමිණ පත්‍රයට මෙසේ ලීවේය. 
 
“බැබළෙන පුතෙකුගේ මහිමය නොදැක මෙසේ 
මම පරලොව යනු දැක සැනහෙමුද කෙසේ” 
මගෙ පියතුමා ආදාහන කළ දවසේ 
අගමැතිතුමා පැවසූ හැටි දැනුදු ඇසේ 
එඩිතර ගමන යනු පෙරටම පුතුනි කියා 
දැඩි කළ පියාණන් කඩිනම් ගමන ගියා 
කොඩියට තවත් රන් කොඩියක් බැඳුණු නියා 
පොඩි පුතු තුරුලු කරගෙන සිහි කරමි පියා 
මාගේ දහදියෙන් රට සරු කරන්නෙමි 
මාගේ මුවඟ තෙපුලෙන් දැය තවන්නෙමි 
මාගේ හැම පැයම පොදු වැඩට දෙන්නෙමි 
මාගේ මෑණියන්ගේ පා වඳින්නෙමි 
කඳුළක් වැටුණු තැන හසමල් පියලි වෙති 
මුදු ගුණ සුවඳ හද උයනෙන් හිමිට දෙති 
පොදු ජන වැඩට මා පොලඹන නුවණ ඇති 
සොඳුරක් ලඳිමි එය මට මහ පිනකි නිති 
ගරු බුහුමන් ලදත් නොලදත් පෙරට යමී 
පිරුවටයක් ලෙසින් පිවිතුරු සුවඳ දෙමි 
උරුමය රකින්නට සිංහලයෙකුට හිමි 
මරුමුව තුළට වුව පනිනට පුරුදු වෙමි 
පොදු ජන ආදරය දුක සේ වපුල කෙතේ 
පිපි මල් සුවඳ මා තුරුලට පැමිණ එතේ 
පුතුගෙයි දියණිගෙයි මොළ කැටි බිලිඳු අතේ 
ඒ උරුමය තබමි මට වෙන ඉසුරු නැතේ 
වැලි කැටයයි පුතේ මහ කතරේ බලය 
දිය බිඳුවයි දුවේ සාගරයේ බලය 
මව් බිම දෙව් බිමක් කර ගත හැකි බලය 
පොදු ජන සැපත සැඳුමයි අප සතු බලය 
මහ සුළඟකින් මහ ගස් ඇද වැටෙයි ලොවේ 
තණ පත් නොසෙල් වී දුහුවිලි උඩම වැවේ 
එලෙසින් අපත් සුවසේ පුතනුවනි දුවේ 
නොවැටෙන තැනක හිඳ විඳිනෙමු මිහිරි සුවේ
 
 
 
 
සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප අන්තර්ජාලයෙනි