අතුරු මැතිවරණ පුරාණයෙන්

තමාට එරෙහිව පැවරූ එකම නඩුවකට වරදකාරයා වීමේ හේතුවෙන් දෙවරක්ම මන්ත්‍රීධුරය අහිමි කරගෙන අතුරු මැතිවරණ දෙකකට මුහුණදීමට සිදුවූ එකම දේශපාලනඥයා හැටියට වැලිමඩ හිටපු මන්ත්‍රී පර්සි සමරවීර මහතාගේ නම ඉතිහාසයේ සටහන් වී තිබේ.

 

එසේම අතුරු මැතිවරණ හතරක් පවත්වන්නට සිදුවීම නිසා (1) 1957-09-07 (2) 1962-06-28 (3) 1967-02-11 (4) 1968-12-17) වැලිමඩ ඡන්ද කොට්ඨාසයටද සුවිශේෂී ස්ථානයක් හිමි වෙයි. පර්සි සමරවීර මහතා ප්‍රථම වතාවට දේශපාලනයට අවතීර්ණ වූයේ 1962-06-28 දින පැවැත්වූ වැලිමඩ ආසනයේ දෙවැනි අතුරු මැතිවරණයට එ.ජා.ප. අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වීමෙනි. එම අතුරු මැතිවරණය පැවැත්වූයේ 1960 ජූලි මහා මැතිවරණයේදී වැලිමඩ ආසනයට තේරී පත්වූ ජාතික විමුක්ති පෙරමුණේ නායක කේ. ඇම්. පී. රාජරත්න මහතාට ආසනය අහිමිවීමේ හේතුවෙනි.


පළමු මැතිවරණ සටනේදී ඡන්ද 5178 ක් ලබාගත් පර්සි සමරවීර මහතා, “වැලිමඩ උරුමක්කාරයා” වූ කේ. ඇම්. පී. රාජරත්න මහතා වෙතින් වැඩි ඡන්ද 3174 ක පරාජයක් ලැබීය. එහෙත් 1965 මාර්තු 22 දින පැවැත්වූ ශ්‍රී ලංකාවේ හයවැනි මැතිවරණයේදී ස්වාධීන අපේක්‍ෂකයෙකු ලෙස “ලාම්පුව” ලකුණ යටතේ තරග වැදී ඡන්ද 8908 ක් ලබාගෙන කේ. ඇම්. පී. රාජරත්න (ජ.වි.පෙ. - අහස් යානය) 7919 පරදවා වැඩි ඡන්ද 989 කින් ජය අත්කර ගත්තේය. 


එහෙත් මෙම තේරී පත්වීම නිෂ්ප්‍රභා කරන ලෙස ඉල්ලා පළමුවැනි ඡන්ද පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කෙරිණ. පෙත්සමේ සඳහන් චෝදනාව වූයේ බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගත් 17,534 දරණ නඩුව යටතේ පර්සි සමරවීර මහතා වරදකරු කරනු ලැබීමෙන් අනතුරුව එක් අවුරුදු සිර දඬුවමක් නියම කර තිබූ බවයි. මෙම ඡන්ද පෙත්සම විභාග කරගෙන යන විට හෙළිදරව් වූයේ අධිකරණයෙන් නියම කළ එක් අවුරුදු සිර දඬුවම විඳීම සඳහා ඔහු වැලිකඩ බන්ධනාගාරයට ඇතුළු කළ බවත්, එසේ සිටින අතර “බණ්ඩාරනායක අනුස්මරණ දිනය” නිමිත්තෙන් සිර දඬුවම් විඳින අයට ලබාදෙන පොදු සමාව යටතේ අග්‍රාණ්ඩුකාර උතුමාණන්ගේ සමාවක් ලබා සිරෙන් නිදහස් වූ බවත්ය. එහෙත්, අදාළ සමාව ලබන විට, පර්සි සමරවීර මහතා තුන් මාසයකට වැඩි කාලයක් සිර දඬුවම විඳ තිබුණ නිසා 1965 මහා මැතිවරණයේදී ඔහු වැලිමඩ ආසනයට තේරී පත්වීම නීත්‍යානුකූල නොවේ යැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය මන්ත්‍රීධුරය අවලංගු කළේය. එම තීරණයට එරෙහිව ගොනු කළ ඇපෑල විභාග කළ ඇම්. සී. සන්සෝනි අග්‍ර විනිශ්චයකාරතුමා ප්‍රමුඛ රජ තුන්කට්ටුව ගාස්තුවටත් යටත්කොට එම ඇපෑල නිෂ්ප්‍රභා කළේය. මෙම මැතිවරණයේදී ඡන්ද 7919 ක් ලබාගෙන දෙවැනි ස්ථානයට පත්වූ කේ. ඇම්. පී. රාජරත්න මහතා වැලිමඩ මන්ත්‍රී කොට්ඨාසයට තේරී පත්වූ මන්ත්‍රීවරයා හැටියට ප්‍රකාශයට පත් කරන මෙන් අයැද තිබූ ඉල්ලීමද ප්‍රතික්ෂේප කෙරිණ.


මේ අනුව, 1965 මහා මැතිවරණයෙන් පසු වැලිමඩ ආසනය වෙනුවෙන් 1967-02-11 දින පළමු අතුරු මැතිවරණය පවත්වන බව අග්‍රාණ්ඩුකාර කාර්යාලයෙන් නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍ර නිවේදනයකින් කියැවුනි. මෙම අතුරු මැතිවරණයෙන් පර්සි සමරවීර මහතා දෙවන වතාවටත් වැලිමඩ ආසනය ජය ගත්තේය. මැතිවරණ දෙපාර්තමේන්තුව නිකුත් කළ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය මෙසේ ය. පර්සි සමරවීර (ස්වාධීන - ලාම්පුව) 7342, කේ.එච්. ජේමිස් සිල්වා (ස්වාධීන - පුටුව) 6669, රත්නායක පුංචි බණ්ඩා (ශ්‍රී.ල.නි.ප. - අත) 4237, වැඩි ඡන්ද සංඛ්‍යාව: 673, ප්‍රතික්ෂේපිත ඡන්ද පත්‍රිකා ගණන 134, ඡන්දය ප්‍රකාශ කළ මුළු ගණන: 18,382, ලියාපදිංචි ඡන්ද දායකයින්ගේ මුළු ගණන: 21,562. මෙම ප්‍රතිඵලයට අනුව පර්සි සමරවීර මහතා 1976-02-22 දින දෙවැනි වරටත් වැලිමඩ මන්ත්‍රීවරයා වශයෙන් දිවුරුම් දුන්නේය. එහෙත් “ඡන්ද පෙත්සම් භීතිකාව” නැවත වාරයක් හිස එසවූ ආකාරය දැක ගත හැකි විය. ඔහුගේ පත්වීම අභියෝගයට ලක්කරමින් නැවත වරක් මැතිවරණ පෙත්සමක් අධිකරණයට ඉදිරිපත් කෙරුණේ 1967-03-06 වැනි දිනදීය. මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ වැලිමඩ ඊ. ඇස්. පීරිස් මහතා සහ දඹවින්නේ ජී. කරෝලිස් සිල්වා මහතා යන දෙදෙනාය. “නීති විරෝධී ලෙස රංචු ගැසීම, අයුතු බලපෑම සහ තවත් චෝදනා මත වගඋත්තරකාර පර්සි සමරවීර මහතාට විරුද්ධව බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පවරන ලද නඩුවක් විභාග කළ විනිසුරුවරයා ඔහු චෝදනාවලට වරදකරු බවට පත්කර 1959-04-06 දින එක් අවුරුද්දක සිර දඬුවමක් නියම කර තිබුණි. මෙම නියෝගයට විරුද්ධව සමරවීර මහතා ඉදිරිපත් කළ ඇපෑල විභාග කළ රජ තුන් කට්ටුව විසින් ද අනුමත කරන ලද, මාස 03 කට අධික කාලයක් සිර දඬුවමක් පසුගිය හත් අවුරුද්දට ඇතුළත් වකවානුවේදී සමරවීර මහතා විඳ ඇති හෙයින් ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වීමට නුසුදුස්සෙකු විය” යනු මෙවර ඡන්ද පෙත්සමේ සඳහන්වූ ප්‍රධාන චෝදනාවයි. අයුතු බලපෑම සහ අල්ලස් දීම යන චෝදනා දෙකක්ද සමරවීර මහතාට එරෙහිව මෙම පෙත්සමෙන් නඟා තිබුණ අතර, ඔහු වැලිමඩ ආසනයේ මන්ත්‍රීවරයා වශයෙන් තේරී පත්වීම අවලංගු කරන ලෙසද, පරාජිත අපේක්‍ෂක කේ. එච්. ජේමිස් සිල්වා මහතා වැලිමඩ ආසනයට නිසි පරිදි තේරී පත්වූ මන්ත්‍රීවරයා ලෙස ප්‍රකාශයට පත් කරන ලෙසද පෙත්සම්කරුවෝ සිය නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයෙන් අයැද සිටියහ. 1967-02-11 දින පැවැත්වූ අතුරු මැතිවරණයට ස්වාධීන අපේක්‍ෂකයෙකු ලෙස තරඟ කළ ද කේ. එච්. ජේමිස් සිල්වා මහතා කේ. ඇම්. පී. රාජරත්න මහතා නායකත්වය දැරූ ජාතික විමුක්ති පෙරමුණේ ප්‍රබල ආධාරකරුවෙකු වූ අතර වැලිමඩ නගරාධිපතිවරයා ද විය.


ඉහත කී මැතිවරණ පෙත්සම 1967-05-17 දින මුලින්ම විභාගයට ගැනුණු අතර, පර්සි සමරවීර මහතාට දෙවැනි වරටත් වැලිමඩ ආසනය අහිමි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජී. පී. ඒ. සිල්වා මහතා 1967-10-05 දින මැතිවරණ පෙත්සම් විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත් කළේය. තීන්දු ප්‍රකාශයේ මෙසේ ද සඳහන් විය. “1967-02-11 දින පැවැත්වූ වැලිමඩ අතුරු මැතිවරණයෙන් පර්සි සමරවීර මහතා තේරී පත්වීම අවලංගු කරන ලෙස ඉල්ලා වැලිමඩ දඹවින්නේ ජී. කරෝලිස් සිල්වා සහ වැලිමඩ, ඊ. සොලමන් පීරිස් යන දෙදෙනා මෙම ඡන්ද පෙත්සම ගොනු කර ඇත. පර්සි සමරවීර මහතා මාස 03 කට වැඩි කාලයක් සිර දඬුවම් ලබා ඇති හෙයින් සත් අවුරුද්දක් ගතවනතුරු මැතිවරණයකට ඉදිරිපත් වීමට හෝ ඡන්දය පාවිච්චි කිරීමට හෝ ඉඩ නොමැති බව පෙත්සම්කරුවෝ කියා සිටියහ. සමරවීර මහතා හිමිවූ සිර දඬුවම ගෙවී අවසන්වී ඇත්තේ 1960-10-17 වැනි දිනයේදීය. අතුරු මැතිවරණයෙන් තේරී පත් වී තිබුණේ 1967-02-11 දිනදීය. එහෙයින් ඔහු තේරී පත්වෙන විට, සිර දඬුවම ගෙවා අවසන්වී අවුරුදු හතක් ඉක්මවා නැත. එනිසා ඔහුට විරුද්ධ චෝදනා නිසැකවම ඔප්පු වී තිබේ. ජී. එච්. කරෝලිස් සිල්වා මහතාගේ පෙත්සමෙන් දෙවන ඉල්ලීම වශයෙන් සඳහන් කර තිබූ එම අතුරු මැතිවරණයේදී දෙවන ස්ථානයට පත්වූ කේ. එච්. ජේමිස් සිල්වා මහතා වැලිමඩ ආසනයේ නීත්‍යානුකූල මන්ත්‍රීවරයා ලෙස ප්‍රකාශයට පත් කරන මෙන් තිබූ ඉල්ලීම විනිසුරුවරයා ප්‍රතික්ෂේප කළේය. පෙත්සම්කරුවන්ගේ නඩු ගාස්තු ගෙවීමටද වගඋත්තරකාර පර්සි සමරවීර මහතාට නියම කෙරුණි. එකම නඩුවක තීන්දු ප්‍රකාශය යටතේ පර්සි සමරවීර මහතාට වැලිමඩ ආසනය අහිමිවූ දෙවැනි අවස්ථාව ලෙස මෙය සටහන්ව තිබේ. මෙම අවස්ථා දෙකේදීම සමරවීර මහතා “ස්වාධීන” අපේක්‍ෂකයෙකු ලෙස “ලාම්පුව” සලකුණ යටතේ තරඟ කර තිබුණේය. තීන්දුව ඇසීමට පර්සි සමරවීර මහතා හෝ පෙත්සම්කරුවන් පැමිණ සිටියේ නැත. ස්ටැන්ලි රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පිට අධිනීතිඥ ඩී. ටී. පී. රාජපක්‍ෂ සහ ජෝර්ජ් පෙරේරා මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන්ද, එස්. ඉසදීන් මොහමඞ් සහ එච්. ඩී. තම්බයියා මහතා වගඋත්තරකාර පර්සි සමරවීර මහතා වෙනුවෙන් ද අධිකරණයේදී කරුණු දැක්වූහ.

 

 


මතු සම්බන්ධයි.

 

 

ජී. ආර්. ඩී. බණ්ඩාර 
ඡායාරූපය : අන්තර්ජාලයෙනි