1973 වසරේ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ විද්‍යාලංකාර මණ්ඩපයට ඇතුල් වූ මම 1976 වසරේ එම විශ්වවිද්‍යාලයෙන් පිට වූයේ ජනසන්නිවේදන විධි උපාධියක් ගෞරව සාමාර්ථයක් ලබමිනි. එකල දැනට කැලණිය විශ්වවිද්‍යාලය නමින් හඳුන්වන විශ්වවිද්‍යාලය හඳුන්වනු ලැබුයේ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ විද්‍යා ලංකාර මණ්ඩපය නමිනි. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ඉතිහාසය පරීක්ෂාකර බැලීමේදී මුලදී විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය නමින් එය හඳුන්වා පසුව ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයීය විද්‍යාලංකාර මණ්ඩපය ලෙස ද පසුව කැලණිය විශ්වවිද්‍යාලය ලෙස  මෑතක සිටද හඳුන්වනු ලබයි. 


ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ද මුලින් හඳුන්වනු ලැබූවේ “විද්‍යෝදය විශ්වවිද්‍යාලය” යනුවෙනි. පසුව එය ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ විද්‍යෝදය මණ්ඩපය වී පසුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය බවට පත් වී ඇත. විශ්වවිද්‍යාලවල විකාශනය වෙනම සාකච්ඡා කළ යුතු මාතෘකාවකි. කෙසේ වුවද අධ්‍යාපනයේ ශ්‍රේෂ්ඨතම පූජනීය නාමයන් වූ විද්‍යෝදය විද්‍යාලංකාර යන නාමයන් එම විශ්වවිද්‍යාලවලින් හැලී ගියේ කවර ඓතිහාසික සාධක මතද? කාගේ බලපෑමක් මතද? එහි නුසුදුසුතාවය කුමක්ද ආදිය ද වෙනම කථා කළ යුතුය. කෙසේ හෝ වේවා දැන් රට පුරා සරසවි බිහි වී තිබේ. එය හොඳ වැඩකි. සරසවි බිහි වී ප්‍රායෝගික මට්ටමේ උපාධි හදාරණ රටට වැඩ ඇති නව දැනුමෙන් හා තාක්ෂණයෙන් සුසැඳි පාඨමාලාවන් හදාරා උගතුන් බුද්ධිමතුන් බිහිවීම අත්‍යවශ්‍ය කරුණකි. 


ජනසන්නිවේදන විධි පාඨමාලාව 1973 වසරේදී කැලණිය විශ්වවිද්‍යාලයේ පටන්ගැනීම එම ක්ෂේත්‍රයේ නව ඇරඹුමක් සටහන් කරන්නකි. එතෙක් සරසවි පාඨමාලා තුළ නොතිබුණු එම පාඨමාලාව මුලින්ම ආරම්භ කළ අවස්ථාවේ එම අංශය භාරව සිටියේ මහාචාර්ය විමල් දිසානයක මහතා බව මා හට මතකය. එයට අමතරව ආචාර්ය සුනන්ද මහේන්ද්‍ර ආචාර්ය එඩ්වින් ආරියදාස වැනි වියතුන් ඒ සඳහා මූලිකව වෙහෙසුණු අතර ඔවුන්ගේ දේශන වලින් මුල්කාලීන පාඨමාලා පෝෂණය විය. තවත් උගත් වියතුන් කිහිප පලක්ම ඒ සඳහා කැප වී ක්‍රියා කළ බවද සඳහන් කළ යුතුය. මෙසේ පටන් ගත් ජනසන්නිවේදන පාඨමාලාව වර්තමානයේ ඉතා පුළුල් පරාශයක් හසුකර ගනිමින් නව ප්‍රබුද්ධ ශිෂ්‍ය පරපුරක් උගත් පරපුරක් සමාජයට දායාද කරමින් සිටි. 


කෙසේ හෝ ජන සන්නිවේදන පාඨමාලාව හදාරා නිම වීමෙන් පසුව අප හට එම අංශයේ රැකියා ලබාදීමට නම් එකල සැලැස්මක් නොතිබුණි. ඒ නිසා එසේ අධ්‍යාපන කටයුතු නිම කළ ජන සන්නිවේදන උපාධිධාරීහු ද සුපුරුදු පරිදි රැකියා විරහිත උපාධිධාරී පෝලිමට එකතු වූහ. ඒ අනුව මා කල්පනා කළේ උපාධියක් ලබා රැකියා විරහිතව සිටීමට වඩා ස්වයං රැකියාවක හෝ නිරත වීමටයි. ඒ අනුව පෞද්ගලික පන්තියක් ආරම්භ කර ඉගැන්වීමට කටයුතු කිරීමට මා සමග එක් වී සිටි දිසානායක නමැති හිතවතෙකුට ආරාධනා කළෙමි. ඔහු ද ඒ සඳහා කැමැත්ත පළකළ අතර එයට අමතරව අප දෙදෙනාම අවධානය යොමුකළ කරුණක් වූයේ එකල ද රැකියා සොයා ගැනීමේදී දේශපාලන හයිය ඉතා වැදගත් බැවින් ලොකු අත්තක් අල්ලාගෙන දේශපාලනය කිරීමටයි. ඒ අනුව මාත් මාගේ හිතවතාත් දිනක් එවකට රත්මලාන එක්සත් ජාතික පක්ෂ සංවිධායක ලලිත් ඇතුලත්මුදලි මහතා හමුවීමට ගියෙමු. විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබු කාලයේ සිට ඇතුලත්මුදලි මහතා මා හඳුනාගෙන සිටි අතර ඔහු රත්මලාන ආසනයේ සංවිධාන කටයුතු ප්‍රබල අන්දමින් සිදු කරමින් සිටියේය. මාගේ යාළුවා එතුමා හඳුනන්නේ නැතත් මවිසින් ඔහුවද හඳුන්වා දී ආසනයේ උපාධිධාරීන්ගේ සංගමයක් පිහිටුවා ගෙන වැඩ කරගෙන යාමට ඇතුලත්මුදලි මහතාගේ අනුමැතිය ලබා ගත්තෙමි. 


ඒ අනුව අපි දෙදෙනාම රත්මලාන ආසනය පුරා ඇවිද රැකියා කරන නොකරන උපාධිධාරීන් විශාල ප්‍රමාණයක් හමු වී සංවිධානයක් වශයෙන් ඒකරාශී වී ඇතුලත්මුදලි මහතා සමග එකතුව වැඩ කිරීමේ වැදගත්කම පෙන්නුම් කර දුන්නෙමු. මෙසේ සංවිධාන කටයුතු සිදු කිරීමත් සමගම මම යොදාගෙන තිබූ කළුතර ප්‍රදේශයේ බාහිර පන්ති පැවැත්වීමේ වැඩසටහනක් ද ආරම්භ කළෙමි. මසක් පමණ බාහිර පන්ති පැවැත්වූ මා කළුතර ප්‍රදේශයේ එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී ඇති වූ යම් යම් බාධා නිසා එම ප්‍රදේශයේ වෙනත් හිතවත් උපාධිධාරියකුට එම පංතිභාර දී මාගේ ගම් ප්‍රදේශය වන හම්බන්තොටට යාමට තීරණය කළේ එහි හිතවත් ආයතනයක ගුරුවරයෙකු වශයෙන් සේවය කිරීමටයි. මේ තත්ත්වය දැනගත් දිසානායක නමැති මාගේ හිතවතා කීවේ '' ඔබත් සමග මාත් හම්බන්තොටට එන්නම්. ගිහිල්ලා අපි උගන්වමු '' කියාය. ඒ අනුව හම්බන්තොටට ගිය අපි දෙදෙනා එහි ඉගැන්වීම් කටයුතු කරන අතරතුර සති අන්තයේ රත්මලානට පැමිණ දේශපාලන කටයුතු ද කළෙමි. දැන් එම සංවිධානය පිහිටුවීමට ඉතා ආසන්නය. යාලුවා මා හට කීවේ '' හම්බන්තොට ඉන්න අමාරුයි. ඒ නිසා කොළඹ ගිහින් මොනවා හරි කරන්නයි අදහස'' යනුවෙනි. එසේ කියූ ඔහු දවස් කිහිපයකින් කොළඹ ආවේය. එසේ ආ ඔහු මටත් නොදන්වා ඇතුලත්මුදලි මහතා හමු වී වරින් වර සාකච්ඡා කර උපාධිධාරීන්ගේ සංගමය පිහිටුවීමට දිනයක් යොදා ගත් බව මට පසුව දැනගන්නට ලැබුණි. එසේ දිනයක් යොදාගෙන පිරිසක් කැඳවා ඇතුලත්මුදලි මහතාගේ නිවසටම පිරිස කැඳවා සංගමය පිහිටුවා මාගේ යාළුවා සභාපති වශයෙන් පත්ව තිබේ. ආසන සංවිධායකතුමා මා ගැන ඇසූ විට මාගේ යාළුවා ප්‍රකාශ කර ඇත්තේ ''තිස්සකුට්ටිආරච්චි හම්බන්තොට පැත්තේ දේශපාලන වැඩ. ඒ නිසා මේ සංවිධානෙ වැඩ මං භාර ගත්තා''. එසේ ඔහු කියා තිබේ. කෙසේ වුවද සංගමය පිහිටුවා දින දෙක තුනකින් මා හට දැන ගන්නට ලැබුණේ මට ද නොදන්වා මාගේ යාළුවා ඇතුලත්මුදලි මහතා සමග උපාධිධාරී සංගමය පිහිටුවා ඇති බවයි. ඒ අනුව ඔහු රත්මලානේ ඇතුලත්මුදලි මහතා සමග දේශපාලනය කොට 1977 මැතිවරණයෙන් ලැබූ ජයග්‍රහණයෙන් පසුව වෙළෙඳ හා නාවුක ඇමතිවරයාගේ ලේකම්වරයෙක් බවට පත්විය. මම හම්බන්තොට පළාතේ දේශපාලනය සමග කටයුතු කළෙමි. දිනක් මා ඇතුලත්මුදලි ඇමැතිතුමා හමුවීමට අමාත්‍යාංශයට පැමිණි විට එවකට ඇමැතිතුමාගේ ලේකම්වරයෙකුව සිටි මාගේ හිතවතා මා හට කීවේ ''ඇමැතිතුමා මේ දවස් වල හමුවීමට අපහසුයි. වෙනත් දවසක එන්න. හමුවෙන්න පුළුවන්ද කියලා මා උත්සාහ ගෙන බලන්නම්'' කියලයි. ඊට පසු මට ඇමැතිතුමා හමුවීමට නොගියෙමි. 1989 දී මාත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ පසු පාර්ලිමේන්තුවේදී එතුමා හමු වී පරණ ඇසුර හා ආගිය තොරතුරු කථාකරන අතරේ එතුමා කීවේ ''තිස්ස අවශ්‍ය වැඩක් තිබේ නම් කියන්න. මම කරලා දෙන්නම්. ඔයාම මට හඳුන්වල දීපු අය ඔයාට කපපු හැටි මම දන්නවා. දේශපාලනයේදී සමහර මිතුරන් හතුරන් වෙන්න වැඩි වේලාවක් යන්නේ නෑ'' කියලා. දේශපාලන ක්ෂේත්‍රයේ සිදුවන සිදුවීම් දෙස බලන විට ශ්‍රී ලංකා දේශපාලනයේ ශ්‍රේෂ්ඨ නායකයෙකු වූ ඇතුලත්මුදලි මහතා කළ ඒ ප්‍රකාශයෙන් පමණක් නොව එතුමාගේ පළල් දැක්ම හා පෘථුල ඥානය තුළින් තවත් බොහෝ දෑ උගත යුතුව ඇති බව මා හට සිතුණි.