ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පුත්‍රයා මෙන්ම හිටපු ඇමතිවරයෙකු ද වූ දිවංගත අනුර බණ්ඩාරනායක මහතා තරුණවියේදී තරමක සෙල්ලක්කාරයකු ලෙස ප්‍රසිද්ධව සිටියේය. එංගලන්තයේ උසස් අධ්‍යාපන කටයුතු අවසන් කර 70 දශකයේ මුල් කාලයේ මෙරටට පැමිණ සිටි ඔහු මුලින් දේශපාලනයට සම්බන්ධවීමට ද එතරම් ප්‍රියමනාපයක් නොදැක්වූ අතර එකල දවසේ වැඩි කාලයක් මිඩංගු කර තිබුණේ තම මිතුරු කැල සමග කෙළිදෙලෙන් ගත කිරීමටය.


එකල අනුරටම ගැළපෙන ඉහළ පැලැන්තියට අයත් මිතුරු සමාගමක් ද ඔහු වටා සිටියහ. ඔවුන් අතර ක්‍රිෂාන්ත කුරේ, සෙනේ කිරිදෙන, හැරී ජයවර්ධන, අනුර සොයිසා, ජිත් පීරිස් ඇතුළු තවත් කීප දෙනෙක්ම සිටියද ඔවුන්ගෙන් අනුරගේ අතිශය කුළුපග මිත්‍රයා වූයේ පසුකාලයකදී මෙරට මුල්පෙළේ වානිජ බැංකුවක සභාපති ධුරය දැරූ ක්‍රිෂාන්ත කුරේය.
ඒ දවස්වල ඒ හැම දෙනාටම වගේ අලුත්ම රේසින් කාර් තිබුණා. අනුරටත් තිබුණා. සතිඅන්ත දිනවල ඒ වාහනවලින් නුවරඑළිය, ත්‍රිකුණාමලේ, අනුරාධපුර වගේ දුර බැහැර පළාත්වල විනෝද චාරිකා යන එක තමයි ඒ කට්ටියගේ ප්‍රධාන රාජකාරිය වුණේ.


සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ ප්‍රධාන ආරක්‍ෂක සම්බන්ධීකරණ නිලධාරි ධුරය හෙබවූ හිටපු ඇමැතිවරයකු වූ දිවංගත අනුරුද්ධ රත්වත්තේ මහතා පසු කාලයකදී මාධ්‍යයට හෙළිදරව් කරන ලද අන්දමට තම පුත්‍රයාගේ එම සෙල්ලක්කාර ගති පැවතුම් ගැන සිරිමාවෝ මැතිනිය දැඩි කනස්සල්ලකින් පසුවූවාය. විශේෂයෙන්ම ඇය බියට පත්ව සිටියේ අනුර  අනාරක්‍ෂිත ලෙස ගමන් බිමන් යාම ගැනය.


එකල අනුර දේශපාලනඥයෙකු හෝ රජයේ උසස් තනතුරක් දරන අයකු නොවූවද ඔහුගේ ආරක්‍ෂාවට සහකාර පොලිස් අධිකාරිවරයකු සහ පොලිස් පරික්‍ෂකවරයකු යොදවා තිබුණේය.


නෑ... ඔයගොල්ලො එන්න අවශ්‍ය නෑ..! යි කී අනුර බොහෝ විට විනෝද ගමන් ගොස් තිබුණේ තම මිතුරන් පිරිස සමගය. එවකට අගමැතිනියගේ ප්‍රධාන ආරක්‍ෂක නිලධාරියා වූ සහකාර පොලිස් අධිකාරි චන්ද්‍රසේකර මහතාට එය බලවත් හිසරදයක් බවට පත් වී තිබුණේ අනුරට කුමන අවස්ථාවකදීවත් තනියම ගමන් බිමන් යාමට ඉඩ නොතබන ලෙස සිරිමාවෝ මැතිනිය ඔහුට දැඩි ලෙස උපදෙස් දී තිබූ බැවිනි.


“බලන්න කර්නල් මේ අනුරගෙ වැඩ නිසා මටයි මැඩම්ගෙන් බැණුම් අහන්න වෙලා තියෙන්නේ... යි කියමින් ඒ. එස්. පී. චන්ද්‍රසේකර අනුරුද්ධ රත්වත්තේට අවස්ථා කීපයකදීම පැමිණිලි කර තිබුණේ ද අනුරගේ එම අනාරක්ෂිත සෙල්ලක්කාර ගමන් බිමන් ගැනය.


අනුරුද්ධ රත්වත්තේ නෑකමට අනුරගේ මාමා කෙනකු විය. එහෙත් නෑකමට වැඩි මිත්‍රකමක් ඔවුන් දෙපළ අතර පැවතිණි. එසේ වුවද අනාරක්‍ෂිත ලෙස ගමන් බිමන් නොයන්නැයි අනුරුද්ධ කොතරම් දැනමුතුකම් කීවද අනුර එවා කනකටවත් නොගත්තේය.


ඒ වන විට 1971 තරුණ අරගලය අවසන් වී එතරම් කාලයක් ගත වී නොතිබුණෙන් අගමැතිනිය ද තම පුත්‍රයාගේ සෙල්ලක්කාර ගතිපැවතුම් ගැන දැඩි කනස්සල්ලකින් පසුවූවාය.
මේ කාලයේ අනුරගේ තවත් හිතවතකු වූ අර්ජුන හුළුගල්ලේ හරහා සීමාසහිත ටයිම්ස් ඔෆ් සිලෝන් ආයතනය ආණ්ඩුවේ වක්‍ර පාලනයට යටත්ව තිබුණේය. ඒ අනුව අනුරගේ පාලනය යටතේ පවත්වා ගෙන ගිය ‘අද’ පත්‍රය මුද්‍රණය කිරීම සහ බෙදා හැරීම මුළුමනින්ම සිදුකෙරුණේ ටයිම්ස් ආයතනය මගිනි.


එහෙයින් අනුර ද ඇතැම් අවස්ථාවලදී ටයිම්ස් ආයතනය වෙත ගොස් එහි කටයුතු සොයා බැලීමට පුරුදුව සිටියේය.


මේ අතර එක්තරා සෙනසුරාදා දිනයක අනුර තම අලුත්ම වාහනය පදවාගෙන අරලියගහ මන්දිරයේ මහ දොරටුවෙන් පිටතට පැමිණ ගාලු පාරට දමන ලද්දේ තම මිතුරන් දෙතුන් දෙනකු හමුවීමට යාමේ අදහසිනි. ඔහු සාමාන්‍ය වේගයකින් බම්බලපිටිය දෙසට යද්දී අධික වේගයකින් තමන් පසුකර ගෙනගිය මෝටර් රථයක් පදික වේදිකාවේ ගමන් කරමින් සිටි අයකු ද හප්පා ගෙන නොනවත්වාම පලා ගියේය.


ඒ සමග ‘බරා...ස්... ගා හඬ නංවමින් තම රිය නතර කළ අනුර බණ්ඩාරනායක අර ලෙඩා හොස්පිටල් එකට යවන්න. මං අර වාහනේ ගැන බලාගන්නං...” එහි රැස්වූ පිරිසට කියමින් ඉවත් වූයේ දෙනෝ දාහක් මැද මිනිසකු හප්පා පලා ගිය රිය අල්ලා ගැනීමේ අදහසිනි.


“ඒ අනුර බණ්ඩාරනායක මහත්තය නේද?” යි ඔවුනොවුන්ගෙන් විමසමින් එම පිරිස මරණාසන්නව සිටි පුද්ගලයා ඒ අසල තිබූ ටැක්සියකට දමා ගනිද්දී අනුර අසරණ මගියකු හප්පා පලා යමින් සිටි මෝටර් රථය පසුපස පන්නා ගෙන ගියේය. තවත් කිලෝ මීටර දෙකක් පමණ ගිය පසු පලා යමින් තිබූ මෝටර් රියට ළං වීමට ඔහුට හැකි විය.
මේ අතර අධික වේගයකින් හා වෙනත් වාහනවලට වෙට්ටු දමමින් ගමන් කරමින් තිබූ වාහන දෙක දුටු ඇතැමුන් පාර අයිනට පැන තම ජීවිත බේරා ගනු ලැබුවේ නොදකින් මෙහෙම මදාවිකාරයෝයි කියමින් එම වාහන පදවා ගෙන ගිය රියදුරන්ට අමු තිත්ත කුණුහරුපයෙන් බැණ වදිමිනි.


කෙසේ හෝ තවත් ටික දුරක් යාමටත් මත්තෙන් පලා යමින් තිබූ රියට වම් පසින් ගොස් ඉස්සර කර එහි මග අහුරමින්  තම රිය නතර කළ අනුර වාහනයෙන් බිමට බැසීමටත් පෙර වැරදිකාර රියැදුරා අතපය විසිකරමින් ඉදිරියට දුවගෙන ආවේය. ජවසම්පන්න තරුණයෙකු වූ ඔහුට අවශ්‍ය වූයේ හැකි ඉක්මනින් තම රියද රැගෙන එම ස්ථානයෙන් පැන යාමටය. මේ කරදරකාරයා ඊට හරස්වීම ගැන ඔහු තුළ ඇතිවී තිබුණේ මරාගෙන මැරෙන තරමේ කෝපයකි.


“මොනවද අයිසේ තමුසෙට වෙලා තියෙන්නේ?’ මම මේ හදිසි ගමනක් යන ගමන්... යි මහ හඬින් බිරුසන් දෙමින් අමුතිත්ත කුණුහරුපයක් ද කියාගෙන ආ එම මැර තරුණයා ගල්ගිල්ලාක් මෙන් එකවරම නිහඬ වූයේ තමන්ට මග හරස් කළ පුද්ගලයා අග්‍රාමාත්‍යවරියගේ පුත් අනුර බණ්ඩාරනායක බව හඳුනා ගැනීමෙනි. ඒ සමගම ඔවුන් පසුපස හඹා ආ පොලිස් ජීප්රියේ සිටි භට පිරිස අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබුණේ ඔහු විසින් තම රියට යට කළ වයසක තැනැත්තා එම ස්ථානයේදීම මියගොස් සිටි බැවිනි.


ඔහුගේ මරණය පිළිබඳව පැවති හදිසි මරණ පරීක්‍ෂණයේදී සිද්ධිය සියැසින් දුටු හා ඊට අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසියට උදවු කළ පුද්ගලයා වශයෙන් අනුර බණ්ඩාරනායක ද සාක්ෂි දී තිබුණේය. එහිදී කොළඹ නාගරික හදිසි මරණ පරීක්‍ෂකවරයා මුව නොසෑහෙන සේ ප්‍රශංසා කර තිබුණේ එම ක්‍රියාව සෙසු අයටද ආදර්ශයක් බව කියමිනි.


මේ අතර ඊළඟ සතියේ සඳුදා නිකුත් වූ දිනමිණ සහ ලංකාදීප පුවත්පත්වලින් අනුරගේ එම ක්‍රියාව වර්ණනා කර තිබුණේ එකකට එකක් නොපරදින අයුරිනි. කෙසේ වෙතත් පසුදින පළවූ ‘ඇත්ත’ සඳහන් කර තිබුණේ ආණ්ඩුවේ බේරේ ගෙදරත් ආණ්ඩුව මගින් හීලෑ කර තිබූ සමයම් ගෙදරත් අනුර වීරයකු සේ හුවා දැක්වීම සඳහා තම තමන්ගේ පුවත්පත් මගින් දැවැන්ත උත්සාහයක් ගෙන තිබූ බවය.

 

 


නිහාල් ජගත්චන්ද්‍ර 
ඡායාරූපය : අන්තර්ජාලයෙනි