අලුත්  ජනපතිගේ පෙළපත්  පුරාණය

02 වැනි කොටස

 

ඉතා සංකීර්ණ දේශපාලන ක්‍රියාකාරිත්වයකින් යුතු මේ රටේ යම් කිසි කෙනෙකු ජනාධිපති ධුරය දක්වා හිණිපෙළ තරණය කර ජයග්‍රහණය අත්කර ගැනීම කිසිසේත්ම පහසු ක්‍රියාවක් නොවේ. එය වනාහී අධිෂ්ඨානය, ධෛර්යය කැපවීම සහ වාසනාව යන සියලු සාධකයන්ගේ සුසංයෝගයෙන් සිදුවන්නකි. මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහ නොබෝදා ජනතාවරමින් ජනාධිපති ධුරයට පත්වූ ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ එම පදවිප්‍රාප්තිය විස්තර කළ හැකි සරලම නිර්වචනය එබඳුය.


1945 නොවැම්බර් 18 වැනි දින උපත ලැබූ මහින්ද රාජපක්‍ෂ මහතා කොළඹ තර්ස්ටන් විද්‍යාලයෙන් සහ නාලන්දා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය. සිය පියාගේ අභාවයෙන් පසුව බෙලිඅත්ත ආසනයේ පක්‍ෂ සංවිධායකවරයා ලෙස ශ්‍රී.ල.නි.ප. නායිකා සිරිමා බණ්ඩාරනායක මැතිනිය විසින් මහින්ද රාජපක්‍ෂ මහතා පත්කරන ලදී. 1970 පාර්ලිමේන්තු මහා මැතිවරණයේදී සිය ඥාති සොහායුරු ලක්‍ෂ්මන් රාජපක්‍ෂ මහතා මෙන්ම මහින්ද රාජපක්‍ෂ ළාබාලම මන්ත්‍රීවරයා ලෙස බෙලිඅත්ත ආසනයෙන් පත්ව ආවේය. එම පාර්ලිමේන්තුව විවෘත කරමින් අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව මහතා විසින් සිදුකරනලද රාජාසනයේ කථාවට ස්තුති යෝජනාව ඉදිරිපත් කිරීමේ වරප්‍රසාදය හිමිවූවේ මෙම ළාබාල තරුණයාටය. එම රජයේ පසු පෙළ මන්ත්‍රීවරයෙකු ලෙස විශාල වැඩ කොටසක් ඉටුකරන ලද නමුදු 1977 මහා මැතිවරණයේදී ශ්‍රී.ල.නි.ප. අන්ත පරාජයක් ලබද්දී මහින්ද මහතාටද ආසනය අහිමිවිය. නැවත ඔහු මැති සබයට ආවේ 1989 මැතිවරණයේදීය. 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක රජයේ අමාත්‍ය ධුරයකට පත් වූ ඔහු දැඩි අධිෂ්ඨානයෙන් හා ධෛර්යෙන් යුතුව පාද යාත්‍රා, මිනිස් දම්වැල්, ජනඝෝෂා ආදී නොයෙකුත් ක්‍රියාකාරකම් මෙන්ම දකුණු පළාත් සභාවේ බලය අත්කර ගැනීම සඳහා කළ දැවැන්ත අරගලයද ශ්‍රී.ල.නි.ප. ප්‍රමුඛ පොදු පෙරමුණ බලයට රැගෙන ඒමට මහෝපකාරී විය. කුමන අමාත්‍යාංශයක් ලැබුණද ඉතා නිර්මාණශීලිව නව සංකල්පයන් ඔස්සේ කටයුතු කිරීමට ඔහුට තිබුණු හැකියාව සුවිශේෂී දක්‍ෂතාවක් වූවේය. ධීවර ඇමැතිව සිටියදී දියවර ගම්මාන සංකල්පය මෙන්ම කම්කරු ඇමැතිවරයාව සිටියදී ඉදිරිපත් කරන ලද කම්කරු ප්‍රඥප්තියද එවැනි ක්‍රියා දෙකකි. මෙසේ පියවරෙන් පියවර ඉදිරියට ගිය මහින්ද මහතා, 2005 වසරේ පැවති ජනාධිපතිවරණයේදී ජනතා වරමින් මේ රටේ පස්වැනි විධායක ජනපති බවට පත්විය.


එම වකවානුවේ ශ්‍රී ලංකාව පැවතියේ මරණයේ දේශයක් වශයෙනි. බෙදුම්වාදී එල්.ටී.ටී.ඊ. යුද්ධය නිසා කිසිවෙකුගේ ජීවිතය ආරක්‍ෂිත නොවීය. කුමන මොහොතේ බෝම්බයක් පුපුරුවා තමන් ඝාතනයට ලක්වේදෝයි සෑම පුරවැසියෙක්ම සිටියේ බියෙනි. සැකෙනි. උදේ නිවෙසින් පිටව යන කෙනෙකු ආපසු පැමිණෙන්ට ලැබේද යන සැකය ගෙවී යන සෑම මොහොතකම කාගේත් සිතට වධ දුන්නේය. මෙම බියකරු තත්ත්වයෙන් රට වෙළාගෙන රාජ්‍ය නායකයා වශයෙන්ද විධායක ජනාධිපති හා සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක වශයෙන්ද හිමිවූ සුවිශේෂී බලය උපයෝගී කරගෙන යුද්ධය මෙහෙයවීමට ඔහු පසුබට නොවීය. ජේ. ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, ඩී. බී. විජේතුංග සහ චන්ද්‍රිකා කුමාරතුංග යන ජනපතිවරුන් සිව් දෙනෙකුට ජයගත නොහැකි වූ බෙදුම්වාදී යුද්ධය ජයග්‍රහණයෙන් නිමාකර ගැනීමට ඔහුගේ කෘතහස්ත නායකත්වයෙන් හැකිවිය. 2015 මැයි 18 වැනිදා යාපන අර්ධද්වීපයේ වෙල්ලමුල්ලි වයික්කාල්හි, නන්දිකඩාල් කළපුවේදී මිනීමරු ප්‍රභාකරන් මරාදමා සන්නද්ධ හමුදාවෝ රට බේරාගත්හ. එනිසා “රට බේරාගත් වීරයා” ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා ජනතාවගේ උපහාරයට ලක්විය. 2010 දී නැවත වරක් ජනාධිපති තරගයෙන් ජයගත් ඔහු දසවසරක් රට පාලනය කළේය.


වසර හතර හමාරක් පාලනය අහිමිව අටලෝ දහමේ කියවෙන නින්දා, අපහාස, අලාභ ආදී සියල්ල විඳ දරා ගනිමින් තම පාක්‍ෂිකයන් ඉදිරියට මෙහෙයවා නැවත ජයග්‍රහණයේ මාවතට යොමුකිරීමට ඔහු සමත් විය. ඔහුගේ සොහොයුරු ගෝඨාභය රාජපක්‍ෂයන් ඉදිරියට ගෙන ඔහු ජනාධිපති ධුරයට ඔසවා තැබීමට ජනවරම ලබාගැනීමට මාර්ග දේශකත්වය දුන්නේ මහින්ද රාජපක්‍ෂ මහතාය. 2015 වසරේදී සම්මත කරන ලද 19වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව විධායක ජනාධිපති ධුරය සීමාකර එහි බලතල පාර්ලිමේන්තුවට හා අග්‍රාමාත්‍යවරයාට පවරා තිබේ. අද අග්‍රාමාත්‍ය ධුරය හොබවන්නේ මහින්ද රාජපක්‍ෂ මහතාය.


අගමැති සොහොයුරු වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ දේශපාලන පරපුරේ වගතුග මෙසේ විය.
ප්‍රකට දේශපාලනඥයෙකු වූ ඩී. ඒ. රාජපක්‍ෂ මහතා සහ එම ප්‍රියම්බිකාව වූ දන්දිනා සමරසිංහ රාජපක්‍ෂ යුවළට දාව මාතර පාලටුවේදී උපත ලැබීය. පසුව කොළඹ ආනන්ද මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු දෙවැනි ලුතිනන්වරයෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්විය. උතුරු යුද බිමේ බිහිසුණු යුද මෙහෙයුම් ගණනාවකට සක්‍රියව දායක වූ ඒ මහතා, රණවික්‍රම සහ රණශූර යන පදක්කම්ලාභියෙකුද විය. 1971 සිට 1992 වසර දක්වා හමුදා සේවයේ යෙදීසිටීමෙන් ඉක්බිති ඉන් ඉවත්ව ඇමෙරිකා එක්සත් ජනපදයේ ස්ථිර පදිංචිය සඳහා ගියේය.


2005 දී ජනාධිපති ධුරයට පත් මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරාධනයෙන් මෙරටට පැමිණි ගෝඨාභය රාජපක්‍ෂ මහතා, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරය භාරගෙන ජනවාර්ගික යුද්ධය ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය වූ උපායමාර්ගික සහ පරිපාලනමය නායකත්වය ලබාදුන්නේය. මේ අතර 2006 වසරේ දෙමළ කොටි ත්‍රස්තවාදීන් විසින් එල්ල කරන ලද මරාගෙන මැරෙන ප්‍රහාරයකට කොල්ලුපිටියේ, පිත්තල හන්දියේදී මුහුණදීමට සිදුවූවද වාසනාවකට මෙන් ඔහුගේ ජීවිතයට අනතුරක් නොවීය.


යුද්ධය ජයග්‍රාහීව අවසන් වීමෙන් පසු ආරක්‍ෂක ලේකම් ධුරයට අමතරව නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ධුරයේද ඔහු කටයුතු කළේය. මෙම යුගය තුළදී කොළඹ නගරය අලංකාර කරමින් ආසියාවේ අසිරිමත් නගරයක් බවට පත්කිරීමට දායක වූවේය. එමගින් ඔහුගේ ක්‍රියාකාරිත්වය ලෝකයාට දැක්වීමට සමත් විය.


සිය පෙළපතේ පූර්වගාමීන්ගේ පෙර සඳහන් ක්‍රියාකාරකම් පිළිබඳ ආභාසයත් ඡන්මයෙන් උරුමයෙන් ලත් ක්‍රියා කෞශල්‍යය හා හමුදා විනය තුළින් ලද නිර්භීත සංයමයද උපයෝගී කරමින් ශ්‍රී ලංකාව ආරක්‍ෂිත, සෞභාග්‍යමත් හා අභිමානවත් දේශයක් බවට පත්කිරීමේ කාර්යභාරය ඉටුකරන ආකාරය ඉදිරියේදී දැකගත හැකිවනු ඇත.

 

 

සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූපය අන්තර්ජාලයෙනි