ඊළාම් සටනේ මහ මුහුදේ යුද්ධය 40

 


යුද ජයග්‍රහණයට දස වසරකි. ඒ යුද ජය ග්‍රහණය නිර්මාණය වූයේ මරණයට අභියෝග කළ වීරෝදාර රණවිරුවන්ගේ අයස්කාන්ත මැදිහත් වීමෙනි. ඇස්, ඉස්, මස්, ලේ හා ජීවිත පරිත්‍යාග කළ මව්බිමේ සුජාත දූ පුතුන්ගේ ඒ උත්තම පූජාවන් වර්තමානයට මතු නොව අනාගතයටද දෑසක්ව පැලඳවිය යුතුය.


තිස් වසරක යුද්ධය තුන් වසරකින් නිමා කිරීමේ මෙහෙයුමේදී නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා නාවික හමුදාවට සැපයූ නායකත්වය නොවන්නට ඉතිහාසය වෙනස් විය හැකිව තිබිණි. මේ ඒ ඉතිහාසයෙන් වසන් කළ නොහැකි කතාවය. අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ තම යුද අත්දැකීම අළලා ලියූ ‘අධිෂ්ඨානය’ කෘතියෙන් මේ උපුටනය අනාගත පරපුර වෙනුවෙනි.


 

ආරක්‍ෂක ඇමතිවරයා මූතුර් නගරයට ආරක්‍ෂාව දිගටම සපයන ලෙස නාවික හමුදාවට උපදෙස් දුන්නේය. එම අවසරයෙන් මම එදිනම මූතුර්හි, නිලධාරීන් සහ නාවිකයන් 80 දෙනෙකුගෙන් පමණ සමන්විත නාවික අනුඛණ්ඩයක් ස්ථාපනය කළෙමි.


මෙවැනි අලුත් අනුඛණ්ඩයක් සාම ගිවිසුමේ යම් යම් කොන්දේසිවලට පටහැනි බැවින් සහ එහි ඇති ප්‍රශ්නය සමථයකට පත් වූ පසු නාවික භටයන් මූතුර් ප්‍රදේශයෙන් ඉවත් කිරීමට ද සිදුවන බැවින් එම අලුතින් පිහිටවූ අනුඛණ්ඩය ස්ථිර අනුඛණ්ඩයක් ලෙස පවත්වාගෙන යාමට අවසර දෙන ලෙස මූතුර් සිට ත්‍රි’මලයේ නාවික මැදුරට පැමිණි පසු මාරපන අමාත්‍යවරයාගෙන් මම ඉල්ලා සිටියෙමි.


“සර් මේ නාවික අනුඛණ්ඩය දිගටම පවත්වාගෙන යෑම වරායේ ආරක්‍ෂාවට අතිශයින්ම වැදගත්. මේ මූතුර් ප්‍රශ්නය ඇතිවෙලා තියෙන්නෙත් වරායේ දකුණු සීමා ප්‍රදේශවල L.T.T.E ය ශක්තිමත් වෙමින් පවතින නිසායි. සර්, ඒ නිසා මූතුර් කඳවුර දිගටම පවත්වාගෙන යන්න අපට අවසර දෙන්න.”
ඔහු ස්වල්ප වේලාවක් මා දෙස හා වරාය දෙසට තියුණු බැල්මක් හෙළා, “හොඳයි එහෙනම් මේ අවස්ථාවේ වැඩිපුර පිරිස් බලයක් එම අනුඛණ්ඩයට යවන්න. මූතුර්වල L.T.T.E ප්‍රශ්නය අවසන් වෙලා අනුඛණ්ඩය ඉවත් කරන්න උපදෙස් ලැබුණම නාවික භටයන් කොටසක් මූතුර්හි දිගටම රඳවා තබාගන්න. අනුඛණ්ඩය දිගටම පවත්වාගෙන යන බවක් නොපෙන්නා එසේ කරන්න.”


මෙය මට ඉමහත් අස්වැසිල්ලක් විය. යාන්තමට හෝ රජයේ ප්‍රබල අමාත්‍යවරයෙක් මා කියූ දේ පිළිගැනීම ඉමහත් සන්තෝෂයට කරුණක් විය.
“තැන්කියු සර්”


එදිනම ආරක්‍ෂක අමාත්‍යවරයා ඇතුළු පිරිස කොළඹ බලා පිටත්ව ගියහ. නාවික හමුදාපතිගේද අවසර ඇතිව මූතුර් නගරයට තවත් නිලධාරීන් සහ නාවිකයන් 75ක් පමණ පසුදින වන විට පිටත් කර යැවීමට පුළුවන් විය. මූතුර්හි නාවික අනුඛණ්ඩයක් පිහිටුවීමට ගත් තීරණය වරායේ ආරක්‍ෂාවට ඉතා වැදගත් වූ ඉතා දූරදර්ශී එකක් බව සනාථ වූයේ ඉන් වසර තුනකට පසුය. ඒ 2006 දී L.T.T.E ය. ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර හා ගුවන් හමුදා කඳවුර ඉලක්ක කරමින් සාම්පූර් ප්‍රදේශයේ සිට කාලතුවක්කු ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේදීය. එම අවස්ථාවේදී මූතුර් නගරයේ සිටි කුඩා යුද හමුදා භට කණ්ඩායමට කට්ටපරිච්චාන් යුද හමුදා කඳවුරට පසුබැසීමට සිදුවිය. එසේම කට්ටපරිච්චාන්හි ස්ථාපනය කර තිබූ යුද හමුදා කඳවුර L.T.T.E ය. විසින් වටලන ලදී. මේ සියල්ලට මුහුණ දීම සඳහාත්, හමුදා සෙබළුන්ගේ ජීවිත බේරා ගැනීම සඳහාත් යුද හා නාවික භටයන් විශාල ප්‍රමාණයක් මුහුදින් බෝට්ටු මගින් ගොඩ බස්සවන ලදී. මේ තීරණාත්මක අවස්ථාවේදී ප්‍රබල ලෙස ප්‍රායෝජනවත් වූයේ මූතුර්හි පිහිටුවන ලද නාවික අනුඛණ්ඩයයි.
*     *     *     *      *
හකීම් ඇමතිවරයාගේ මේ දැඩි ස්ථාවරය සම්බන්ධයෙන් රජයේ විශේෂ අවධානය යොමු වූ අතර ඔහු කැඳවාගෙන ඒම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග ආරක්‍ෂක අමාත්‍ය තිලක් මාරපන, අමාත්‍ය මිලින්ද මොරගොඩ සහ මලික් සමරවික්‍රම ඇතුළු පිරිසක් 2003 අප්‍රේල් 24 වන දින නැවතත් ත්‍රිකුණාමලයට පැමිණ මූතුර් බලා ගියහ. ඔවුන් සමග මූතුර් වෙත මා ද ගිය නමුත් මම සාකච්ඡාවලට සහභාගි නොවූයෙමි. සාකච්ඡා අවසානයේ හකීම් ඇමතිවරයා මූතුර් සිට ත්‍රි’මලයට පැමිණ ප්‍රීමා ආයතනයේ ඇති නිවාසයකට නාවික හමුදා යාත්‍රාවක් මගින් රැගෙන යන ලදී.


එදින දිවා භෝජනයට පෙර ත්‍රි’මලය නාවික නිලධාරි නිවාසයේදී අග්‍රාමාත්‍යතුමා ඇතුළු පිරිස ත්‍රී’මලය ප්‍රදේශයේ සිටි සියලුම නාවික නිලධාරීන් සමග රැස්වීමක් පැවැත්වූයේය. එහිදීද මා විසින් ඉතාමත් අසතුටුදායක තත්ත්වයකට පත් වී ඇති ත්‍රි’මලයේ ආරක්‍ෂාව පිළිබඳව මෙන්ම විශේෂයෙන් ඉලන්කන්තෙයි ප්‍රදේශයේ අලුතින් ඉදිකළ මුහුදු කොටි කඳවුරු පිළිබඳවත් ඔවුන් දැනුම්වත් කරන ලදී. 


රනිල් වික්‍රමසිංහ මහතා, තිලක් මාරපන මහතා සහ නාවික හමුදාපති එදින ත්‍රි’මලයේ නාවික මැදුරේ ගත කිරීමට තීරණය කළ නිසා අනෙක් ප්‍රභූවරු එදිනම නැවත කොළඹ බලා හෙලිකොප්ටර් යානාවක් මගින් පිටත් වූහ. රාත්‍රී භෝජනයට සහභාගි වූයේ අග්‍රාමාත්‍යතුමාත්, ආරක්‍ෂක ඇමතිතුමාත් නාවික හමුදාපතිතුමාත්, මාත් පමණි.
රාත්‍රී කෑමට පෙර නාවික මැදුරේ ඉහළ මාලයේ බැල්කනියක් ලෙස ඉදිකර ඇති කොටසේ අපි විවේකයෙන් සතුටු සාමීචියේ යෙදී සිටියෙමු. ටික වේලාවක් යන විට අගමැතිතුමාට කතා කිරීමට මටද අවස්ථාව ලැබුණි.


“සර්, බුද්ධි අංශ තොරතුරුවලට අනුව L.T.T.E ය දැනට 10,000ක් පමණ පුහුණු කරලා තියෙනවා. විශාල ලෙස නව සාමාජිකයින් බඳවාගෙන යනවා. මොවුන් මෙය කරන්නේ සටන් විරාමය සහ සාම කතා මුවාවෙන්. මේක ඉදිරියට විශාල තර්ජනයක් වේවි සර්.”


“මට ඒක පිළිගන්න අමාරුයි. මෙතරම් කෙටි කාලයකින් ඔය කියන තරම් විශාල සංඛ්‍යාවක් පුහුණු කරන්නේ කොහොමද? නාවික හමුදාවේ පුද්ගලයෙක් පුහුණු කරන්න කොපමණ කාලයක් ගත වෙනවාද?”


“සර්, මාස 6ක් යනවා මූලික පුහුණුවට”


“එහෙම නම් කොහොමද අවුරුද්දක් ඇතුළත L.T.T.E ය. ඔච්චර ප්‍රමාණයක් පුහුණු කරන්නේ?”


“සර්, L.T.T.E ය පුහුණු කරන්නේ ආයුධ හැසිරවීම විතරයි. අපි එහෙම නෙමෙයි. විෂයයන් ගණනාවක්ම පුහුණු කරනවා. ඒකයි මාස හයක් යන්නේ. ආයුධ පුහුණුවට මාසෙක කාලයක් හොඳටම ඇති. L.T.T.E යට විශාල පිරිසක් එකවර පුහුණු කිරීමේ හැකියාව තිබෙනවා.”


එහිදී මාතෘකාව වෙනස් කරමින් අග්‍රාමාත්‍යවරයා මගෙන් මෙසේ විමසා සිටියේය.


“කරන්නාගොඩ, ඔබ ගාව ‘කරෝකි’ (Karaoke - TV දර්ශන පටයක් සමග ගීත ගායනා කරන උපකරණයක්) සෙට් එකක් තියෙනවාද?” 


“නෑ සර්” “බලන්න කරුණාට කරෝකි සෙට් එකක් තියෙනවා. කරුණා බැංකොක්වල සාම සාකච්ඡාවට ගිහින් එන ගමන් තමයි ඒක අරන් ඇවිත් තියෙන්නේ.”


අගමැති රනිල් වික්‍රමසිංහගේ එම කථාවේ අර්ථය වටහා ගැනීමට මට තත්ත්පර කීපයක් ගත වුණි. එහිදී මට වැටහුණු ප්‍රධාන කාරණය වූයේ ඔහු යම් කිසි සැලසුමක් ඇතිව උපක්‍රමශීලිව L.T.T.E. ය කොටු කර ගැනීමට උත්සාහ කරන නායකයකු බවයි. ඒ සඳහා ඔහු විදේශ රටවල සාම සාකච්ඡා සංවිධානය කළේය. එයින් මේ ප්‍රශ්නය ජාත්‍යන්තරයට රැගෙන ගියේය. එමගින් ජාත්‍යන්තරයෙන් L.T.T.E.යට පීඩනයක් ඇති කිරීමට ක්‍රියා කළේය. තවත් අතෙකින් කැලෑ වැදී බංකර්වල ජීවත් වූ කරුණා අම්මාන් වැනි L.T.T.E සාමාජිකයන්ට කැලෑවට වඩා ප්‍රසන්න ලෝකයක් ඇති බව පෙන්වා දුන්නේය. එයින් L.T.T.E සාමාජිකයන්ගේ යුද මානසිකත්වය ක්‍රමයෙන් බිඳ වැටී ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි යොමුවනු ඇතැයි ඔහු විශ්වාස කළේය.


රනිල් වික්‍රමසිංහ සියුම් උපායශීලි නායකයෙකු බව මේ ක්‍රියාවලියෙන් පෙනී යයි. එහෙත් ඔහු එක් පුද්ගලයෙකු තේරුම් නොගත්තේය. ඒ L.T.T.E නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්වය. කරුණා L.T.T.E යෙන් බිඳී යෑම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපායශීලිත්වයේ යම් සාර්ථකත්වයක් ඇති වූ අවස්ථාවකි. නමුත් ප්‍රභාකරන්ගේ මනස හඳුනාගැනීමට නොහැකිවීම ඔහුට අවාසිදායක තත්ත්වයක් ඇති කළේය. මේ යුද්ධය පටන් ගැනීමට පෙර සිටම නාවික හමුදා සේවයේ නිරත වූ පුද්ගලයෙකු ලෙස මට ප්‍රභාකරන්ගේ අවසාන අරමුණ කුමක්ද යන්න පිළිබඳව සැලකිය යුතු අවබෝධයක් තිබුණි. ඔහු කිසිම උගත්කමක් නැති පුද්ගලයෙකි. එසේම ඔහු ඉන්දියාවේ සිට ශ්‍රී ලංකා මුහුදු තීරයේ හොරබඩු ජාවාරමේ යෙදුණ චෞරයෙකි. තුවක්කු හා භීෂණ සංස්කෘතියෙන්ද කැලෑ ජීවිතයෙන්ද පිට කිසිවක් ඔහු නොදත්තේය. කරුණා අම්මාන් එබඳු පුද්ගලයෙකු නොවේ. ඔහු ගණිතය අංශයෙන් උසස් පෙළ දක්වා ඉගෙන ගත් කිසියම් දුරකට බුද්ධියක් ඇති පුද්ගලයෙකි. එහෙයින් කැලෑ ජිවිතයෙන් මිදී නව සමාජයට පැමිණීමට ඔහුට හැකියාව තිබුණේය. එහෙත් ප්‍රභාකරන්ට ඒ හැකියාව නොතිබුණි.

 

 

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
ඡායාරූප අන්තර්ජාලයෙනි