රටේ ඡන්ද පොළ මධ්‍යස්ථාන 12,000 සඳහා ගම් මට්ටමින් 12,000ක් දෙනා හමුදාවක් මෙන් සංවිධානය කිරීම සඳහා ඔහු තුළ ඇති අදහස මෙහිදී සැකෙවින් විස්තර කළේය. ඒ අනුව මෙම සියලු දෙනාට තමාගේ ඡන්දපොළ මධ්‍යස්ථානයට අදාළ ඉලක්ක ඡන්ද ප්‍රමාණයක් ලබාදෙන අතර එම ඡන්ද ප්‍රමාණය ලබාගැනීමට නම් මැතිවරණයේදී අදාළ ඡන්ද පෙට්ටියට වැටිය යුතු ඡන්ද සංඛ්‍යාව හා ප්‍රතිශතය පිළිබඳ වගකීම ඉහත 12,000ක් දෙනා විසින් දැරිය යුතුවිය. මෙම සමස්ත ක්‍රියාවලියෙහි වගකීම තිස්ස අත්තනායක මහතා බාරගත් අතර එයට ඇඟිලිගැසීම් සිදු නොවන බවටද එමෙන්ම ඉහත 12,000ක් දෙනාගේ වගකීම ආණ්ඩුවක් පිහිටුවීමෙන් පසු බාරගන්නා බවටද රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු වියයුතු බවද තවදුරටත් තිස්ස අත්තනායක මහතා පැවසීය.

 

තිස්සගේ මෙම යෝජනා ඉදිරියෙහි අන් අයද විවිධ අදහස් ඉදිරිපත් කළ අතර මූලික වශයෙන්ම මේ සියල්ලටම නායකතුමා ඇතුළු සියලු දෙනාගේම එකඟතාව පළවිය. විශේෂයෙන්ම ඉහත ඡන්දපොළ නියෝජිතයන්ගේ ක්‍රියාවලිය පිළිබඳ ආරම්භයේදී නායකතුමාගේ එතරම් ප්‍රසාදයක් තිබුණේ නැත. එහිදී නායකතුමාගේ අදහස වූයේ මෙලෙස ඡන්දපොළ නියෝජිතයන්ගේ කටයුතු තිස්ස අත්තනායක මහතා බාර ගැනීම තුළ ආසන සංවිධායකවරුන් අතර නොසතුටක් ගොඩනැගිය හැකි බවයි. කෙසේ වෙතත් එම වැඩමුළුවේ ප්‍රතිඵලයක් වශයෙන් හා නායකත්වය ඇතුළු සියලුදෙනාම එකඟතාව පළකළ පරිදි පක්‍ෂයේ ලේකම්වරයා වශයෙන් තිස්ස අත්තනායක මහතා සිය වැඩකටයුතු ආරම්භ කළේය.


එහි පළමු පියවර ලෙස ඔහු සජිත් ප්‍රේමදාස මහතා සමඟ දේශපාලන සංවාදයක් ආරම්භ කළේය. මේ වන විට සජිත් හා තිස්ස එතරම් සුහදතාවකින් සිටි අය නොවේ. මන්ද යත්, සජිත්ගේ ඇගයීම වූයේ රනිල් වික්‍රමසිංහ මහතා ආරක්‍ෂා කරන ප්‍රධානම ආරක්‍ෂක කුලුන තිස්ස අත්තනායක බවයි. විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු රනිල් විරෝධී එ.ජා.ප කණ්ඩායම ඉදිරියෙහි වික්‍රමසිංහ මහතා නායකත්වයේ තබාගනිමින් එ.ජා.ප. අර්බුද සමයේ “ලීඩර්” රැකගැනීමේ නියමුවා තිස්ස අත්තනායක මහතා යැයි කීම අතිශයෝක්තියක් නොවනු ඇත. මේ හේතුව නිසාම සජිත් කණ්ඩායමේ ප්‍රබලයන් වූ රංජිත් මද්දුමබණ්ඩාර, තලතා අතුකෝරල වැනි අය අත්තනායක මහතාගේ මුහුණ නොබැලූ යුගයක්ද විය.


කෙසේ වෙතත් අත්තනායක මහතා රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය ලද පරිදි සජිත් ප්‍රේමාදස මහතා සමග එක් අතකින් සංවාදය පවත්වාගෙන යන අතරතුරම ‘මව්බිම’ පුවත්පතේ හිමිකරු ටිරාන් අලස් සමග මෙන්ම කෙලී මහාරාජා සමගද කතිකාවක් ආරම්භ කළේය. මේ වන විට මව්බිම පුවත්පත සතු දේශපාලන න්‍යායපත්‍රයට අනුව එම පුවත්පත සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන්ම මුද්‍රණය වන පුවත්පතක ස්වරූපයක් ඉසිලුවා සේය. ඊට අරලියගහ මැදුරෙන්ද නිබඳ අනුග්‍රහය ලැබිණි. ඒ සමගම සිරස මාධ්‍ය ජාලයද සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන්ම කැපවී සිටි ආකාරයක් දැකිය හැකි විය.


මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණය සඳහා සූදානම් වෙමින් සිටියේය. එතුමා දිනපතා පෙරවරුවේ සිට රෑ බෝ වන තුරුම විවිධ පුද්ගලයන්, කණ්ඩායම් මුණගැසෙමින් ඔවුන් සමඟ දිගින් දිගටම සාකච්ඡා පැවැත්වීය. ඒ අතරතුර එතුමා සෝභිත හිමියන් නායකත්වය දුන් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය දෙසද දැඩි අවධානයකින් සිටියේය. ඊට හේතුවූයේ එහි අවසන් අරමුණ කරු ජයසූරිය මහතා පොදු අපේක්‍ෂකයා කරවීම වූ බැවිනි. මේ අනුව සෝභිත හිමියන්ගේ සිත වෙනස්කිරීමේ අරමුණින් වික්‍රමසිංහ මහතා තිස්ස අත්තනායක මහතාට ගොස් සෝභිත හිමියන් මුණගැසෙන ලෙස අවස්ථා 3කදීම දැන් වූ අතර තිස්සද ඒ සැමවිටම මලික් සමරවික්‍රම මහතා සමඟ නාග විහාරයට ගියේය. 


තිස්ස හා මලික් සෝභිත හිමියන් සමඟ කළ සාකච්ඡාවලදී හාමුදුරුවන් දිගින් දිගටම කියා සිටියේ ‘අනේ මහත්තයො රනිල් මහත්තය නැතුව වෙන ඕන කෙනෙක් දාන්න. අපි උදව් කරන්නම්’ යනුවෙනි. සෝභිත හිමියන් එසේ ප්‍රකාශ කළද උන්වහන්සේගේ වඩා කැමැත්ත ඒ වන විට හිමිව තිබුණේ කරු ජයසූරිය මහතා වෙත බව නොරහසකි.


මේ අතර දිනක් පාර්ලිමේන්තුවේ විපක්‍ෂනායක කාර්යාලයේදී රනිල් වික්‍රමසිංහ මහතා හා සම්බන්ධන් මහතා අතර සාකච්ඡාවක් පැවැත්වුණ අතර එහිදී වික්‍රමසිංහ මහතාගේ මුහුණටම සම්බන්ධන් මහතා ප්‍රකාශ කර සිටියේ පොදු අපේක්‍ෂකයා ලෙස වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වුවහොත් ඔහුගේ සහයෝගය එතුමාට හිමි නොවන බවය. එහිදී ඔවුන් දමිළ ජනාධිපති අපේක්‍ෂකයකු ඉදිරිපත් කරන බවද පැවසීය. සැබවින්ම එදින වික්‍රමසිංහ මහතාට දැඩි කෝපයක් හටගත් දිනයක් විය. ඒ ආකාරයෙන්ම තවත් දිනක් පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක කාර්යාලයේදීම රතන හිමියන් ඇතුළු පිරිසක් වික්‍රමසිංහ මහතා මුණගැසුණු අතර සාකච්ඡා සාර්ථකව සිදුවුවද ඉන් පිටතට පැමිණෙන අතරතුරදී රතන හාමුදුරුවන් තිස්ස අත්තනායක මහතා අමතා කියා සිටියේ ‘රනිල් මහත්තයගෙ හිත පොඞ්ඩක් හදන්න.

එතුමා නොමැතිව වෙන කවුරු හරි එ.ජා.පයෙන් එනවා නම් අපි ආණ්ඩුවෙන් ඉවත්ව සහයෝගය දෙනවා.’ යනුවෙනි. මේ වනවිට වික්‍රමසිංහ මහතාට ප්‍රබලම අභියෝගය ලෙස පෙනෙන්නට තිබුණේ කරු ජයසූරිය මහතාය. මන්දයත්, ඔහුට ‘සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය’ පූර්ණ අනුග්‍රය දෙනු ලැබූ නිසාය. මෙවන් සන්දර්භයක් තුළ දිනක් රනිල් වික්‍රමසිංහ මහතා තිස්ස අත්තනායක මහතාට ගෙන ආ යෝජනාව වූයේ කරු ජයසූරිය මහතාව පාලනය කර ගත යුතු අතර ඒ සඳහා ඔහු නාමික ජනාධිපතිවීමට කැමැතිදැයි විමසන ලෙසය. 


විශේෂයෙන්ම ආරම්භයේදී විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට වික්‍රමසිංහ මහතා කැමැත්තක් නොදැක් වීය. එහෙත් සමාජයේ සතර දෙසින්ම විධායක ජනාධිපති ධුරයට එරෙහිව එය අහෝසි කළ යුතු යැයි යන මතවාදය ශක්තිමත් වෙත්ම වික්‍රමසිංහ මහතා ද ඊට අකමැත්තෙන් මෙන් අනුකූලතාව දැක්වීය. මේ අනුව අහෝසි කිරීමට යෝජනා කරන විධායක ජනාධිපති ධුරයෙන් පසුව නිර්මාණය වන නාමික ජනාධිපති ධුරය නමැති කැරට් අලය පෙන්වීමට ප්‍රයත්නයක් දියත් විය. මෙම ප්‍රයත්නයේදී වික්‍රමසිංහ මහතා කියා සිටියේ පළමුව චන්ද්‍රිකා මැතිනියගේ දේශපාලන රුචිඅරුචිකම් දැනගැනීම පිණිස ඇය වෙත මෙම යෝජනාව දමන ලෙසත් ඉන් අනතුරුව කරු ජයසූරිය මහතාට එම යෝජනාව ඉදිරිපත් කරන ලෙසත්ය.


මෙම යෝජනාවට අනුව විපක්ෂයේ පොදු අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතාය. ජනාධිපතිවරණය ජයගැනීමෙන් අනතුරුව විධායක ජනාධිපති ධුරය අහෝසි කෙරේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති ධුරයට ව්‍යවස්ථා ප්‍රතිපාදන තුළින්ම පත්වේ. ඒ තුළ නාමික ජනාධිපති ධුරයක් බිහි වේ. එම නාමික ජනාධිපති ධුරයට චන්ද්‍රිකා මැතිනිය හෝ කරු ජයසූරිය මහතා පත්කෙරේ. වික්‍රමසිංහ මහතා මෙම යෝජනාව ගෙන එන්නේ ඒ වනවිට තමා වටා ගොඩනැගී තිබුණ අභියෝග ගණනාවකට පිළිතුරු වශයෙනි. එනම්, සොභිත හිමියන්ගේ ව්‍යාපාරය තුළ පොදු අපේක්ෂකයා කරු ජයසූරිය මහතාය. මෙම යෝජනාවට කරු ජයසූරිය මහතා ප්‍රමුඛ සෝභිත හිමියන්ගේ සාධාරණ සමාජයක් එකඟවීමට ඉඩ ඇත. මන්ද, නාමික වුවත් කරු ජයසූරිය මහතා ජනාධිපතිවරයා බවට පත්වෙයි. අනෙක් අතට මේ වනවිට චන්ද්‍රිකා මැතිනියගේ අනාගත දේශපාලන අරමුණු පිළිබඳව ද වික්‍රමසිංහ මහතාට එතරම් පැහැදිලිතාවක් නොතිබිණි. තවද, ශ්‍රී.ල.නි.ප.යේ පිරිසක් ගලවා පිටතට ගත හැක්කේ චන්ද්‍රිකා මැතිනිය මත දේශපාලන බලාපොරොත්තුවක් තැබුවහොත් පමණි.

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්