නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශයේ ලේකම්
සිරිනිමල් පෙරේරා

සංවර්ධනයේදී නාගරික ක්ෂේත්‍රය ප්‍රමුඛය. නාගරික සංවර්ධනය රටේ සංවර්ධනයේ දී කැපී පෙනෙන අංශයයි. 2010 පටන් 2015 ජනවාරි දක්වා මෙරට නාගරික සංවර්ධනය ශීඝ්‍ර දියුණුවක් ලබා ගත්තේය. එම කාලය තුළ මෙරට සිදුවූ නාගරික සංවර්ධනය දකුණු ආසියාවේ කිසිඳු රටක සිදුවූවා යැයි සිතිය නොහැක. එදා ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ මේ රටේ නාගරික සංවර්ධනය නව මානයකට ගෙන ගියේය.

එදා නාගරික සංවර්ධනයේ මූලිකම කටයුත්තක් වූයේ සැමටම නිවසක් ලබාදීමේ පිළිවෙතය. නාගරික නිවාස මෙහිදී විශේෂ වුණි. අඩු ආදායම් ලාභීන්ගේ නිවාස කෙරේ මෙහිදී වැඩි අවධානයක් යොමු කළේය. මෙම ක්‍රියාවලියේ දී තවත් පහළට යමින් පැල්පත් සහ මුඩුක්කු සම්බන්ධව ප්‍රමුඛතාව දීමට පියවර ගත්තේය. පැල්පත් සහ මුඩුක්කු යනු මොනවාදැයි එදා සමීක්‍ෂණයක් කළේය. මේ දෙකේ වෙනස පවා බොහෝ දෙනෙක් දැන නොසිටියහ. පැල්පත් සහ මුඩුක්කුවල සිටින අයට නිවාස ඉදිකරදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළේ පීටර් කෙනමන් මහතා නිවසා ඇමැතිව සිටියදීය. එහෙත් කොළඹ 1 සිට 15 දක්වා කොතරම් පැල්පත් සහ මුඩුක්කු තිබෙනවාදැයි ඒ මහතාට ද නිසි වැටලීමක් තිබුණේ නැත. මේ එක් මුඩුක්කුවක හෝ පැල්පතක කී දෙනකු ජීවත් වන්නේදැයි තොරතුරු තිබුණේ නැත.

නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වශයෙන් 2015 ට පෙර මා පත්වූ පසු පැවරුණු පළමු වගකීම වූයේ කොළඹ ඇති මුඩුක්කු සහ පැල්පත් සම්බන්ධයෙන් සමීක්‍ෂණයක් කිරීමය. එම සමීක්ෂණයේ දී කොළඹ පිහිටි එක මුඩුක්කුවක් හෝ පැල්පතක් මඟ හැරුණේ නැත. ඒ වගේම මේවායේ කී දෙනෙක් සිටිනවාද?, ළමයි ගණන කීය ද?, ඔවුන්ගේ වයස, අධ්‍යාපනය ලබන පාසල, පංති, මව, පියා කරන රැකියා යනා දී සියල්ල මේ සමීක්‍ෂණයට හසු වුණේය. රුපියල් බිලියන දහයක ණයකර නිකුතුවකින් අවශ්‍ය මුදල් සොයා ගෙන 68894 ක් වූ කොළඹ පිහිටි මුඩුක්කු සහ පැල්පත් තුරන් කිරීමේ වැඩපිළිවෙළ අපි එදා ඇරැඹුවෙමු. ප්‍රේමදාස යුගයේ ද කොළඹ අඩු ආදායම්ලාභීන්ට නිවාස ලබාදීමට කටයුතු කළත්, මේ සංඛ්‍යා දත්ත තිබුණේ නැත. නිසි සැලසුමක් තිබුණේ නැත. එහෙත් 2010 දී ඇරැඹි නාගරික සංවර්ධන ක්‍රියාවලිය නිසි සැලසුමක් ඇතිවය. දෙමටගොඩ මිහිඳු සෙන්පුර ආරම්භ කළේ එලෙසය. ඉන්පසු හේනමුල්ල, ග්‍රෑන්ඩ්පාස්, බ්ලූමැන්ඩල් ආදී ප්‍රදේශවල ද නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කළේය. වැඩිම නිවාස ගණනක් ඉදි කළේ උතුරු කොළඹය. මේ ආකාරයට පවුල් 4684 ක් නව නිවාසවල පදිංචි කරවීමට 2014 පමණ වන විට අපට හැකිවුණි. ඒ අතර තවත් නිවාස ව්‍යාපෘති කීපයකම වැඩ ආරම්භ කළේය.

එහෙත් 2015 බලයට පත්වූ ආණ්ඩුව මේ වැඩ නිසි පරිදි ක්‍රියාත්මක කළේ නැත. අප ඉදිකළ නිවාස බොහොම අමාරුවෙන් විවෘත කිරීමට පමණක් මේ අය කටයුතු කළ බව කිව යුතුය. යහපාලනය කොතරම් බෙර ගැසුව ද ඔවුන්ගේ වසර හතර හමාරෙදී ඉදි කළේ නිවාස 450කි. 2011 සිට 2014 දෙසැම්බර් වන විට නිවාස 19650 ක් විවිධ මට්ටම්වලින් සම්පූර්ණ කිරීමට අපට හැකිවුණි. කොළඹ කසළ බැහැර කිරීමේ ප්‍රශ්නය අපි ඒ කාලයේ දී විසඳුවෙමු. දුඟඳ හමන කොළඹ පිරිසුදු නගරයක් කළේය. නගර අලංකරණය මෙන්ම ඇවිදින මංතීරු ඇති කළේ ජනතාවගේ සෞඛ්‍යය කෙරෙහි ද අවධානය යොමු කරමිනි. ළමා උද්‍යාන ඇති කළේය. කොළඹ ගංවතුර පාලනයට පියවර ගත්තේය. ගරා වැටී තිබූ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කොට ඒවා ව්‍යාපාරික ස්ථාන බවට පත් කළේ නාගරික සංවර්ධනයේ කොටසක් වශයෙනි. කොළඹ ලන්දේසි රෝහල එයට උදාහරණයකි. මෙවන් උදාහරණ රාශියකි. සිංගප්පූරුව, ක්වාලාලම්පූර්, ජකාර්තා ආදී නගර පරාජය කරමින් ‘‘වේගයෙන්ම දියුණු වන නගරය’’ ලෙස කොළඹ නගරය 2015 දී සම්මානයට පාත්‍ර වූයේ මේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් වශයෙනි. නගර අලංකරණය කොළඹට සීමා කළේ නැත. ගාල්ල, නුවර, කුරුණෑගල, යාපනය, මඩකළපුව ආදිය උදාහරණ වශයෙන් පෙන්නාදිය හැකිය. ලංකාවට කීර්තියක් ලැබුණෙත් නාගරික සංවර්ධනයක් ඇති වූවෙත් 2011 සිට 2014 දක්වා කාලයේය.

එහෙත් 2015 සිට 2019 දක්වා මේ රටේ සිදු වූ දේවල් අමුතුවෙන් කිවයුතු නැත. මීතොටමුල්ලේ කුණු කන්ද කඩා වැටුණේය. කොළඹ කුණු අරුවක්කාලු ප්‍රදේශයට ගෙනයාමට සැලසුම් කර තිබුණි. ඒ නිසි ක්‍රමවේදයක් අනුවය. එහෙත් පසුගිය ආණ්ඩුව කළේ කොළඹ කුණු ප්‍රධාන මාර්ගයෙන් ලොරිවල රැගෙන යාමය. එනිසා මාර්ගයම කුණු ගඳ ගසන තත්ත්වයට පත්වූවේය. පුත්තලමේ ජනතාව මේවාට එරෙහිව කටයුතු කළහ. කුණු ලොරිවලට එම ප්‍රදේශයට යාමට ඉඩ දුන්නේ නැත. මෙයින් පෙන්නුම් කරන්නේ වසර හතර හමාරක් නාගරික සංවර්ධනය නතර වූ ආකාරයයි. එහෙත් මුදල් වියදම් කිරීමෙ නම් අඩුවක් පෙන්නුම් කරන්නේ නැත. ප්‍රතිඵල නැත. ජනතාවට ප්‍රතිලාභ නැත. මේ සියල්ල වෙනස්කර 2015 ට පෙර පැවැති සංවර්ධන ක්‍රියාදාමය යළි ආරම්භ කර තිබේ. මේ වසර පහේදී කළයුතු වැඩ සැලසුම් කර අවසන්ය. සපුරාගත යුතු ඉලක්ක ලබාදී තිබේ. නිවාස ලක්‍ෂයක් මේ කාලය තුළ ඉදිකිරීම ඉලක්කය වී තිබේ. මේ නිවාස අඩු ආදායම් ලාභීන්ට පමණක් නොවේ. එම කොටසේ ප්‍රශ්නය සෑහෙන පමණ විසඳා තිබේ. එනිසා මධ්‍යම පංතිය කෙරේ අවධානය යොමුකර තිබේ. ඉහළ මධ්‍යම පාංතිකයන්, මධ්‍යම මට්ටමේ මධ්‍යම පංතිකයන්, පහළ මධ්‍යම පාංතිකයන් වශයෙන් මධ්‍යම පංතිය ද කොටස්වලට බෙදා ඔවුන්ට නිවාස ඉදිකරදීමේ කටයුතු ආරම්භ කර තිබේ. රුපියල් බිලියන 25 ක ණයකර නිකුතුවකට යන්නේ සියයට 6.25 ක පොලියකටය. ඒ වගේම මෙහි ගෙවීම් කාලය අවුරුදු තිහකි. කිසිදු මූල්‍ය ආයතනයකින් මෙවන් කාලයක් ලබා දී නැත. මෙහිදී අපේ ඉලක්කය තරුණ කණ්ඩායමය. මේ නිවාස ලබා දෙන්නේ නියම සුදුස්සාටය. ගුරුවරු, බැංකු සේවක සේවිකාවන්, වෛද්‍යවරුන්, සෞඛ්‍ය වෘත්තිකයන් ආදී ක්ෂේත්‍ර රැසක් මෙහිදී ආවරණය කිරීමට කටයුතු කර තිබේ.

ඉහත කී රු. බි. 25 යොදාගෙන නිවාස 5000ක් පමණ ඉදිකිරීමට සැලසුම් කර තිබේ. එම නිවාස ද කාණ්ඩ තුනකට අයත්ය. පෑලියගොඩ, කොළඹ, පන්නිපිටිය, නුවර, අනුරාධපුර යන ප්‍රදේශවල මේ නිවාස ඉදි කෙරෙනු ඇත. පසුව කුරුණෑගලට ද යාම අපේ අපේක්‍ෂාවය. කාමර තුනක මෙම නිවසකට මාසයකට ගෙවිය යුතු මුදල රුපියල් 47,000 ක් පමණය. මෙය අඩු වාරිකයකි. කාමර දෙකක නිවාසකට රු. 36,000 ක් පමණ මාසික වාරිකයක් ගෙවිය යුතුය. මධ්‍යම පාංතික කොටස්වලට මේ මුදල දරාගත හැකිය. තරුණ කොටසේ නිවාස සිහිනය සැබෑ කරලීම මෙම ප්‍රයත්නයේ අරමුණය. ජනාධිපතිවරයාගේ අරමුණ වී ඇත්තේ ද මේ කාලය තුළ නිවාස ප්‍රශ්නය හැකි උපරිම මට්ටමෙන් විසඳීමය.

මෙයට සමගාමීව නාගරික සංවර්ධනය වෙනම සිදු වෙමින් තිබේ. ගම්පහ, රාගම, අනුරාධපුරය, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, ගාල්ල, මාතර ආදී නගර සංවර්ධනයට මේ වනවිට පියවර ගෙන අවසන්ය.

කෙසේ වෙතත් මේ වසර පහ අවසන්වන විට නිවාස ලක්‍ෂයක් ඉදිකරදීම අරමුණ වී තිබේ. ග්‍රාමීය නිවාස එක් රාජ්‍ය අමාත්‍යාංශයක් යටතේ ඉදිකෙරෙන අතර වතුකරණයේ නිවාස තවත් රාජ්‍ය අමාත්‍යංශයක් යටතේ ඉදිකෙරෙනු ඇත. ආයතන කීපයක් යටතේ මේ නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක වෙමින් තිබේ. එක් ග්‍රාමසේවා වසමකට නිවාස 14,022 ක් ඉදිකිරීමට කටයුතු සම්පාදනයකර අවසන්ය. ඒ අනුව වසර පහ ගතවනවිට ග්‍රාමීය නිවාස පමණක් 70,000 ක් පමණ ඉදිවේ යැයි අපේ අපේක්‍ෂාවය. මේ අනුව බලන විට නිවාස සම්බන්ධව ජනාධිපතිවරයාගේ අපේක්‍ෂාව ඉටුවනු ඇත.

වරාය නගරයේ සංවර්ධනය ද ශීඝ්‍රයෙන් සිදුවෙමින් තිබේ. මෙහි හෙක්ටයාර් 169 ක් චීනයට ද හෙක්ටයාර් 124 ක් ලංකාවට ද අයිතිය. නව කේන්ද්‍රස්ථානය වන්නේ වරාය නගරයයි. හොංකොංහි පිහිටි මූල්‍ය කේන්ද්‍රස්ථානය ද වරාය නගරයට ගෙන ඒමට සැලසුම් කර තිබේ. දැනටම ලංකාවට අයත් කොටසේ ජාත්‍යන්තර පාසලක්, ජාත්‍යන්තර රෝහලක්, ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවක්, ජාත්‍යන්තර හෝටලයක් ආරම්භ කිරීමට කටයුතු කර ඇති බව කිව යුතුය. ඒ වගේම පසුගිය කාලයේ වැඩ නතරවී තිබූ හයට් හෝටලයේ වැඩ ආරම්භ කර තිබේ. ලබන දෙසැම්බර් මාසය වනවිට එහි වැඩ අවසන් කිරීමට සැලසුම් කර තිබේ. ඒ වගේම නාගරික සංවර්ධනයෙන් 2015 ට පෙර ඉඩම් ලබාදී ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘති රාශියක වැඩ අතරමඟ නතරවී තිබිණි. අල්ටෙයාර් ව්‍යාපෘතිය වසර තුනක් ප්‍රමාද වී තිබේ. ඩෙස්ටිනි ව්‍යාපෘතිය වසර දෙකක් ප්‍රමාද වී තිබේ. මෙම ව්‍යාපෘතිද කඩිනම් කිරීමේ වගකීම් ජනාධිපතිතුමා ලබාගෙන තිබේ. මේවා කරන්නේ මහජන සුබසිද්ධිය වෙනුවෙනි. මේ ආකාරයට දැවැන්ත සංවර්ධන ක්‍රියාදාමයක් ක්‍රියාත්මක වෙමින් තිබේ.

රථවාහන තදබදය කොළඹ නගරය ආශ්‍රිතව පවතින ප්‍රධාන ගැටලුවකි. කොළඹට පැමිණෙන වාහන නතර කර තැබීමට පහසුකම් නැත. ඒ නිසා කොළඹ සහ ඉන් පිටත රථවාහන ගාල් 12 ක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ. කොළඹ කොටුව ප්‍රදේශයේ, ඩී.එස්. සේනානායක විද්‍යාලය ආසන්නයේ ස්ථානයක, නාරාහේන්පිට ආදී ප්‍රදේශවල මේ රථවාහන ගාල් ඉදි කෙරෙනු ඇත. ඒ වගේම මේවායෙන් අටක් ඉදි කෙරෙන්නේ රාජ්‍ය – පෞද්ගලික අංශවල හවුල් ව්‍යාපෘති වශයෙනි. එමෙන්ම මෙම රථවාහන ගාල් ඉදි කෙරෙන්නේ සාප්පු සංකීර්ණ, නිවාස යනාදිය සමගය. එනිසා මේ එකඳු ඉදිකිරීමකින්වත් පාඩු වන්නේ නැත. මේ වසරේ මේවායේ වැඩ ඇරැඹෙනු ඇත.

ගෆූර් ගොඩනැගිල්ල නවීකරණ කටයුතු පසුගිය කාලයේ ඇණහිට තිබුණ ද වත්මන් ආණ්ඩුව යටතේ ඒ වැඩ නැවත ආරම්භ කර අවසන්ය. ඉදිරියේ දී එය හෝටලයක් බවට පත්වනු ඇත. ෆ්ලොටින් මාකර්ට් එක විනාශ වී තිබුණි. කිසිඳු නඩත්තුවක් එහි සිදුව තිබුණේ නැත. මෙය ඉදි කළේ දේශීය වෙළෙඳුන්ට යම් ආදායමක් උපයාදීමේ අපේක්‍ෂාවෙනි. අච්චාරු අලෙවි කළ අයට පවා එහි අවස්ථාව සලසා දී තිබුණි. විදේශ සංචාරක ආකර්ෂණය ලබාගැනීම මෙහි තවත් අරමුණකි. මෙවන් ව්‍යාපෘති රාශියක් කොළඹ නගරය ආශ්‍රිතව තිබුණත් ඒවා සියල්ල අඩපණව පැවතියේය. දැන් යළිත් ඒවා සියල්ල පණ ගැන්වීමේ වැඩ ආරම්භ වී තිබේ. කොළඹ කොටුවේ දුම්රිය ස්ථානයේ සිට මරදාන දුම්රිය ස්ථානය දක්වා පදික වේදිකාවක් ඉදිකෙරෙනු ඇත. එහි දෙපස වෙළෙඳසැල්ය. මේවා කොළඹ නගරය වෙනස් කරන ව්‍යාපෘති බවට පත්වනු ඇත.

ජපන් මිත්‍රත්ව පාලම ප්‍රදේශයට මායිම්ව බත්තරමුල්ලේ සඳුන් උයන ව්‍යාපෘතියද ක්‍රියාත්මක කෙරෙනු ඇත. තවත් ප්‍රදේශ රාශියක සංවර්ධන ව්‍යාපෘති ඇරැඹෙන්නේ ජනතා සුවපහසුව වෙනුවෙනි. කොළඹ කොටුව ප්‍රදේශයේ සංචාරකයන් ඉලක්ක කර ව්‍යාපෘති කීපයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. සංචාරකයන් මෙරටට පැමිණිය ද රාත්‍රී 10.30 න් පසු කොළඹ නිදන නගරයකි. සංචාරකයන්ට මෙය ගැළපෙන්නේ නැත. සංචාරකයන්ට විනෝදවීමට අවශ්‍ය පහසුකම් නැත. ඒ වගේම කොළඹ ජාතික රෝහල් චතුරශ්‍රය සංවර්ධන ව්‍යාපෘතිය ද තව අංශයකි. රථවාහන ගාල් පහසුකම් සහිතව මේ ස්ථානය විධිමත් සංවර්ධනයකට යටත් කෙරෙනු ඇත. මැනිං වෙළෙඳපොළ තිබූ ස්ථානය ප්‍රවාහන කේන්ද්‍රයක් බවට පත් කෙරෙනු ඇත. ඒ වගේම ගල්වලේ තිබෙන ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසල් සියල්ල පෑලියගොඩ ප්‍රදේශයට ගෙනගොස් ‘‘හාඩ්වෙයාර් සිටි’’ නමින් විධිමත්ව පහසුකම් සහිතව එක් තැනක ස්ථාපනය කිරීමට සැලසුම් කර තිබේ. එවිට ජනතාවට පහසුවෙන් තම අවශ්‍යතා ඉටුකර ගැනීමට පුළුවන.

ලංකාවේ තිබෙන තානායම් අයත් වන්නේ නාගරික සංවර්ධන අධිකාරියටය. එම සංඛ්‍යාව 32 ක් පමණය. ඉස්සර කාලයේ මේ තානායම් ඉහළම තත්ත්වයේ පැවතියේය. අඩුම මුදලකට හොඳම කෑම වේලක් මේ තානායම්වලින් ලබා ගැනීමේ අවස්ථාව එදා තිබුණි. එහෙත් අද මේ සියල්ල විනාශ වී ගොසිනි. තානායම් ගරා වැටුණු තත්ත්වයට පත්ව තිබේ. විධිමත් බවක් නැත. පහසුකම් නැත. එනිසා මේ සියල්ල නවීකරණය කර එදා පැවැති ආකාරයට සාමාන්‍ය ජනයාට ගොස් හොඳ කෑම වේලක් ලබාගැනීමට හැකි තත්ත්වයට පත් කිරීමට කටයුතු කර තිබේ. ඒ අනුව තව වසරකින් පමණ ඕනෑම තානායමකට ගොස් එහි උසස් සේවා ලබා ගැනීමට හැකිය.

ඒ වගේම දේශීය විදේශීය සංචාරකයන් වැඩි වැඩියෙන් සංචාරය කරන නුවරඑළිය සංවර්ධනයට වෙනස්ම සැලසුමක් අප සතුය. ස්කොට්ලන්ඩ්වල පවත්නා ආකාරයේ නිවාස නුවරඑළියේ ඉදිකිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර අවසන්ය. එම නිවාස ඉදිකර විකිණීමෙන් සෑහෙන මුදලක් උපයා ගැනීමට පුළුවන. මේවා මුල්ගල් පැළවෙන ව්‍යාපෘති නොවේ. එසේ නොවන බව 2015 දක්වා අපි ක්‍රියාවෙන් ඔප්පුකර පෙන්නුවෙමු. එනිසා අපි නගර සංවර්ධනයට අත ගසා ඇත්තේ වචනවලට සීමා වෙමින් නොවේ. ජනාධිපතිවරයා යමක් ප්‍රකාශ කළොත් එය සැබෑවටම සිදුවන බව මේ රටේ ජනයාගේ විශ්වාසය වී තිබේ.

නාගරික සංවර්ධනයත් සමග කෙරෙන්නේ ජනතාවගේ ජීවන මට්ටමේ උසස් කිරීමය. කිසිවකුගේ ජීවන මට්ටම පහළ යාමට කිසිඳු ඉඩක් තබන්නේ නැත. පැල්පතේ සිටි අයට ටයිල් ඇල්ලූ බිමක් සහිත ස්ථීර ලිපිනයක් ලැබී ඇත්තේ අත්‍යවශ්‍ය සියලු පහසුකම් සහිතවය. මේ පිරිස් තම ජීවිතවල පියවර කීපයක් ඉහළට ගොසිනි. එනිසා අප කටයුතු කරන්නේ මේ සියලු අංශ කෙරෙහි සැලසුම් සහ අවධානයකිනි. අවාට ගියාට කටයුතු කරන්නේ නැත. දරුවන් අධ්‍යාපනය ලබා දීමේ වැඩසටහන්, ක්‍රීඩා කිරීමේ පහසුකම්, ස්වයං රැකියා පහසුකම් පවා සලසා දුන්නේය. ඉදිරියට ඒවා තවත් වැඩිදියුණු කරනවා මිස අඩුවක් වීමට ඉඩ තබන්නේ නැත.

නාගරික සංවර්ධනයේ දී පොදු ප්‍රවාහනය සම්බන්ධව ද අවධානය යොමුකර තිබේ. මෙය දියුණු කළ යුතුම සහ විසඳුම් දිය යුතුම අංශයකි. සැහැල්ලු දුම්රිය යනාදීය ගැන සාකච්ඡා තිබේ. කොළඹ වාහන තදබදය අඩු කිරීමේ ක්‍රම, ‘‘පාර්ක් ඇන්ඩ් ඩ්‍රයිව්’’ ක්‍රමය ඇරැඹීමට කටයුතු කරමින් තිබේ. දියුණු පොදු ප්‍රවාහන පද්ධතියක් ඇති කිරීමට අවශ්‍ය කටයුතු කෙරෙමින් පවතින් බව කිව හැකිය. මේවාට යම් කාලයක් ගත වන්නට පුළුවන. ජනාධිපතිවරයාගේ දැක්ම අනුව යමින් ජනතාවට ප්‍රතිලාභ ලැබෙන, උපරිම පහසුව සැලසෙන ආකාරයට මේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අපේ අරමුණ වී තිබේ. ඒ වගේම මේ අමාත්‍යංශය යටතේ ඇති ආයතන සියල්ල ලාබදායකව පවත්වා ගෙන යාම ද අපේ අරමුණකි.


(*** සටහන – චමින්ද මුණසිංහ)