සිරියානු රජය සමඟ සටන් කරන කැරැුලිකරුවන්ට සහාය දෙමින්, ඉරාකයේ සිට සිරියාවට පැමිණි අල් කයිඩාවට සම්බන්ධ සටන්කාමීහු පිරිසක් ඊයේ (1)  සිරියාවේ ඇලෙප්පෝ නුවරට නුදුරින් පිහිටා ඇති කුර්දි ගම්මාන දෙකකට කඩා වැදී එම ගම්මානයේ වැසියන් 200 දෙනකු ප‍්‍රාණ ඇපයට ගත්හ.
මෙම අල් කයිඩා සටන්කාමීන් කඩා වැදී ඇත්තේ ටෙල් හසෙල් සහ ටෙල් ඇරන් නමැති ගම්මානවලට යැයි සිරියානු රජය නිවේදනය කර තිබේ.
ගම්මානය වටකොට පහර දී ප‍්‍රාණ ඇපයේ සිටින කුර්දිවරුන් බේරා ගැනීමට මෙහෙයුම් ආරම්භ කරන බව සිරියානු රජයේ හමුදාව අවධාරණය කර ඇත.
සිරියාවේ වෙසෙන සුළුතර ජන කොට්ඨාසයක් වන කුර්දිවරුන් පහර දෙන්නේ සිරියානු කැරැුලිකරුවන්ට නොව, සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජයටය.
සිරියාවේ මිලියන 1.6 ක ජනගහනයක් වෙසෙන අතර ඔවුන්ගෙන් සියයට 9 ක් කුර්දිවරුය. කුර්දිවරුන් බහුලව ජීවත් වන්නේ සිරියාවේ ඇලෙප්පෝ සහ ඩමැස්කස් යන නගර ආශි‍්‍රත දිස්ති‍්‍රක්කවලය.
ටෙල් හසෙල් ගම්මානය ආශ‍්‍රිත ගම්මානවල වැසියෝ ද සිරියානු කැරැුල්ල ආරම්භ වූ අවස්ථාවේදී ආයුධ අතට ගෙන කැරැුලිකරුවන් සමඟ සටන් වැදුණාහ.
වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ දිනෙන් දින උත්සන්න වන සිරියානු අර්බුදය දැන් ෂියා සහ සුන්නි මුස්ලිම්වරුන් අතර ගැටුමක් බවට ද නිර්මාණය වී ඇත.
සිරියානු කැරැුලිකාර පාර්ශ්වයට ඉරාකයේ අල් කයිඩා මෙන්ම පාකිස්තාන ඉස්ලාමීය සුන්නි මුස්ලිම් සටන්කාමීන්ගේ සහාය හිමිවෙයි. සිරියාවේ බෝම්බ පුපුරුවමින් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුකරන්නේ මෙම සටන්කාමීන් යැයි සිරියානු රජය චෝදනා කරයි.
එක්සත් ජාතීන්ගේ වාර්තාවලට අනුව සිරියාවේ ගැටුම් හේතුවෙන් ලක්ෂයක පිරිසක් ජීවිතක්ෂයට පත් වී ඇති අතර මිලියන 7.8 ක පිරිසක් සරණාගතයන් ලෙස සිරියාවේ අසල්වැසි රටවල ජීවත් වෙති.