ඊශ්‍රායල මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු අවසන් අදියරට පැමිණ ඇති බවත්, නිල නොවන ඡන්ද ප්‍රතිඵල අනුව අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගේ සන්ධානය ඉදිරියෙන් පසුවන බවත් වාර්තා වේ. 

ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කළේ වනවිට ඡන්ද ගණන් කිරීමේ කටයුතුවලින් සියයට 80 ක් අවසන් බවය. නිල නොවන වාර්තා අනුව, නෙදන්යාහුගේ දේශපාලන සන්ධානය, ආසන 54 ක් දිනා ගැනීමට සමත්ව සිටී නෙදන්යාහුගේ ප්‍රතිවාදීන්ගෙන් සැදුම්ලත් විපක්ෂ සන්ධානය ආසන49ක් ද, පලස්තීන හිතවාදී අරාබි පක්ෂ ආසන 17ක් දිනා ගැනීමට සමත් ව සිටින බව පැවැසෙයි.

නිකුත් වූ ප්‍රතිඵල අනුව නෙදන්යාහු සහ ඔහුගේ සන්ධානය වැඩි ආසන සංඛ්‍යාවක් දිනාගනිමින් ඉදිරියෙන් සිටින නමුත්, ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය නිශ්චිත බහුතර බලය හිමිකර ගැනීමට නෙදන්යාහුට හැකි නොවනු ඇති බව පැවැසෙයි. එබැවින් දේශපාලන අස්ථාවරත්වයක් මතු වීමේ අවදානමක් පවතී.

මේ ගැන සැලකිල්ලක් දක්වමින් ඊශ්‍රායල ජනාධිපති අයිසෙක් හෙර්සොග්, සියලු පක්ෂ නායකයන්ගෙන් ඉල්ලීමක් කර ඇත්තේ, තවත් මහ මැතිවරණයක් පැවැත්වීමෙන් වළකින ලෙසත්, පවතින තත්ත්වය හමුවේ ස්ථාවරත්වයක් ඇති කරගන්නා ලෙසත්ය. නැවත මැතිවරණයකට නොගොස් විසඳුමකට පැමිණෙන ලෙසයි ජනාධිපතිවරයා පක්ෂ නායකයන්ට අවධාරණය කර ඇතැයි ද වාර්තා වේ.

මේ අතර, ඊශ්‍රායල මැතිවරණයේදී බෙන්ජමින් නෙදන්යාහුගේ සන්ධානය ඉදිරියට පැමිණීම බොහෝ දෙනකු දැඩි ලෙස මවිතයට පත් කළ කරුණක් වී ඇතැයි ඊශ්‍රායලයේ ඇමෙරිකානු තනාපති මයික් හකබී පවසා ඇත. ඒ, ඇමෙරිකන් පුවත් නාළිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවක් පවත්වමිනි.

ඊශ්‍රායලයේ ඇමෙරිකා තනාපතිවරයා අවධාරණය කළේ, ඊශ්‍රායලයේ ආණ්ඩු පෙරැළියක් සිදුවිය යුතු යැයි මතයක් පැවැතියත්, ඊශ්‍රායල වැසියන්ගේ මනාපය නෙදන්යාහු බවය.

යම් හෙයකින් නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු, රජයක් පිහිටුවීමට නෙදන්යාහුට කළ නොහැකි වුවත්, ඊශ්‍රායලයේ පවතින දේශපාලන ක්‍රමය වෙනස් කිරීමට කිසිදු පක්ෂයකට හැකියාව ලැබේවි යැයි තමන් විශ්වාස නොකරන බව ද ඊශ්‍රායලයේ ඇමෙරිකානු තනාපති මයික් හක්බී අවධාරණය කළේය.