බලයෙන් ඉවත් වීම ප‍්‍රතික්ෂේප කරන සිරියා ජනාධිපති බෂීර් අල් අසාද්ගේ නිජබිම ලෙස සැලකෙන ලටාකියා පළාත කැරැුලිකරුවන්ගෙන් මුදා ගැනීමට සිරියානු රජයේ හමුදාව පෙරේදා (20) සමත් විය.

ලටාකියා පළාත කැරැලිකරුවන්ගෙන් මුදා ගැනීමට රජයේ හමුදාවට හැකිවුණේ මාසයකට ආසන්න කාලයක් තිස්සේ එම පළාතේ පැවැති ගැටුම්වලින් පසුවය. සිරියානු හමුදාව, කැරැලිකරුවන්ට පහර දුන්නේ ප‍්‍රහාරක හෙලිකොප්ටර් සහ ජෙට් යානා යොදා ගනිමිනි.

ලටාකියා පළාත ‘ත‍්‍රස්තවාදීන්ට’ අත්වීමට ඉඩ නොදෙන බව ජනාධිපති අසාද් අවස්ථා ගණනාවකදී පවසා තිබුණි.

සිරියානු කැරැලිකරුවන්ට ලටාකියා පළාත අල්ලා ගැනීමට හැකි වුණේ ඉරාකයේ සිට සිරියාවට පැමිණ සිටින සුන්නි මුස්ලිම් අල් කයිඩා සටන්කාමීන්ගෙන් ලැබෙන සහාය නිසාය.

වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ දිනෙන් දින උත්සන්න වන සිරියානු අර්බුදය දැන් ෂියා සහ සුන්නි මුස්ලිම්වරුන් අතර ගැටුමක් බවට ද නිර්මාණය වී ඇත.

සිරියානු කැරැලිකාර පාර්ශ්වයට ඉරාකයේ අල් කයිඩා මෙන්ම පාකිස්තාන ඉස්ලාමීය සුන්නි මුස්ලිම් සටන්කාමීන්ගේ සහාය හිමිවෙයි. සිරියාවේ බෝම්බ පුපුරුවමින් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුකරන්නේ මෙම සටන්කාමීන් යැයි සිරියානු රජය චෝදනා කරයි.

එක්සත් ජාතීන්ගේ වාර්තාවලට අනුව මේ වනවිට සිරියාවේ ගැටුම්වලින් ලක්ෂයක පිරිසක් ජීවිතක්ෂයට පත් වී සිටිති. මිලියන 7.8 කට වැඩි පිරිසක් සරණාගතයන් ලෙස සිරියාවේ අසල්වැසි රටවල සරණාගත කඳවුරුවල ජීවත් වෙති.