බලයෙන් ඉවත්වීම ප‍්‍රතික්ෂේප කරන සිරියා ජනාධිපති බෂීර් අල් අසාද් ගමන් කළ රථ පෙළට  කැරැලිකරුවෝ පෙරේදා (07) රොකට් ප‍්‍රහාරයක් එල්ල කළහ.
ප‍්‍රහාරයෙන් ජනපතිට හෝ ඔහුගේ ආරක්ෂක පිරිවරට හෝ අනතුරක් සිදු නොවිණි. ප‍්‍රහාරය එල්ල වෙද්දී ජනපති අසාද්, ඊද් අල් ෆිතර් උත්සවයට යමින් සිටියේය.
ඉස්ලාම් භක්තිකයන්ගේ ආගමික වතාවත් සහ ශුද්ධ මාසයේ අවසානය සනිටුහන් වන්නේ ඊද් අල් ෆිතර් උත්සවයෙනි.

ඊද් අල් ෆිතර් උත්සවයට එක් වෙමින් ජනතාව ඇමැතූ අසාද් වැඩි දුරටත් කියා සිටියේ විදෙස් බලවේගවලට නතු වෙමින් රට අස්ථාවර කිරීමට කුමන්ත‍්‍රණය කරන ‘ත‍්‍රස්තවාදීන්ට’ කිසිදු අනුකම්පාවක් නොදක්වන බවය.

ජනපතිවරයාගේ රථ පෙළට රොකට් ප‍්‍රහාරය එල්ල කළේ ‘ලීවා අල් ඉස්ලාම්’ බළඇණිය නමින් හැඳින්වෙන කැරැලිකාර කණ්ඩායමය. ප‍්‍රහාරය එල්ල කළ අවස්ථාවේදී ඔවුන් කියා සිටියේ ප‍්‍රහාරයෙන් ජනපතිවරයාට තුවාල සිදුවුණු බවය.

‘ලීවා අල් ඉස්ලාම්’ බළඇණියට ඉරාකයේ සිට පැමිණි සුන්නි මුස්ලිම් අල්කයිඩා සටන්කාමීන්ගේ ද සහාය හිමිවෙන බව ද පැවැසෙයි. වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ දිග් ගැස්සෙමින් පවතින සිරියානු අර්බුදය මේ වනවිට නව මුහුණුවරක් ගෙන ඇත. ඒ, සුන්නි සහ ෂියා මුස්ලිම්වරුන්ගේ සටනක් ලෙසටය.

 

ආසාද් (වමේ), ඊද් අල් ෆිතර් උත්සවයට එක් වෙමින්