සිරියා රජයේ හමුදාවට සහාය පළ කරමින්, ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයට අයත් සටන්කාමීන් සිරියානු අර්බුදයට සම්බන්ධ වීම ඔවුන් කළ බරපතළ වරදක් බවත් ඔවුන්ට එහි පලවිපාක අත්විඳීමට සිදුවනු ඇති බවත් ඇමෙරිකාව පවසා ඇත.
ඇමෙරිකා රජය හිස්බුල්ලා සටන්කාමීන්ට එසේ අනතුරු ඇඟැවූයේ හිස්බුල්ලා සහාය ඇතිව සිරියානු රජයේ හමුදාව කැරැලිකරුවන්ගේ ග‍්‍රහණයේ පැවැති ක්වසාර් නමැති නගරය යළි අත්පත් කර ගැනීමට සමත් වූ අවස්ථාවේදීය.
වහාම සිරියාවෙන් පිටවන්නැයි සිරියා කැරැුලිකරුවන්ට එරෙහිව සටන් වදින හිස්බුල්ලා සටන්කාමීන්ට ඇමෙරිකා රජය යළිත් වරක් නියෝග කර ඇත.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් සිරියානු අර්බුදයට මැදිහත් වීමෙන් සිදුවන්නේ් එම අර්බුදය තව තවත් අවුල් වීමක් බවත් ඊට සාමකාමී විසඳුමක් සෙවීමට නොහැකි වනු ඇති බවත් ඇමෙරිකාවේ අදහසයි. ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් සහාය පළ කරන්නේ සිරියානු කැරැලිකරුවන්ටය.
සිරියාවේ අසල්වැසියකු වන ලෙබනනයේ කි‍්‍රයාත්මක හිස්බුල්ලා සංවිධානය සටන්කාමී සංවිධානයක් පමණක් නොව, දේශපාලනික සංවිධානයක් ද වෙයි.
සිරියාවේ සිවිල් යුද්ධය තමාගේ යුද්ධයක් බවත් එය අවසන් වනතුරු සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජයට සහාය දෙන බවත් හිස්බුල්ලා නායක හසන් නසරල්ලා පවසා ඇත.