සිරියානු රජයේ හමුදා එරට කැරැලිකරුවන් ඉලක්ක කර ගනිමින් ඊයේ (6) දිගට හරහට පහර දෙන්නට පටන් ගත් අතර එම ප‍්‍රහාර හමුවේ පසුබැසීමට කැරැලිකරුවන්ට සිදුවිය.
 

සිරියානු රජයේ හමුදා සෙබළුන්

සිරියා රජයේ හමුදා එම ප‍්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේ සිරියා ලෙබනන දේශසීමාවේ පිහිටි ක්වසාර් නගරය කැරැුලිකරුවන්ගෙන් මුදා ගැනීමෙන් ලැබූ පන්නරයෙන් පසුවය.

සිරියානු හමුදාව ඊයේ එල්ල කළ ප‍්‍රහාරවලින් කැරැලිකරුවෝ 200 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ.

බලයෙන් ඉවත් වීම ප‍්‍රතික්ෂේප කරන සිරියා ජනාධිපති බෂීර් අල් අසාද් කියා සිටියේ, ක්වසාර් නගරය අත්පත් කර ගැනීමෙන් පසු සිරියා රජයේ හමුදා කැරැුලිකරුවන්ගේ ග‍්‍රහණයේ පවතින සෙසු නගර ද යළි අත්පත් කර ගැනීමට දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇති බවය.

එම මෙහෙයුමේදී සිරියානු හමුදාවට සහාය දෙන්නෝ අසල්වැසි ලෙබනනයෙන් පැමිණ සිටින හිස්බුල්ලා සංවිධානයේ සටන්කාමීහුය.

ක්වසාර් නගරය මුදා ගැනීමේ මෙහෙයුමේදී හිස්බුල්ලා සටන්කාමීන්ගේ සහාය තමන්ට නොඅඩුව ලැබුණු බව ද සිරියානු රජය පවසා ඇත.

සිරියානු හමුදාව එල්ල කළ ප‍්‍රහාරවලින් ක්වසාර් නගරය මුළුමනින්ම පාහේ විනාශ වී ඇතැයි ද පැවැසෙයි.

මේ අතර සිරියාව සම්බන්ධයෙන් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භවීමට නියමිතව තිබූ ජාත්‍යන්තර සාම සමුළුව ලබන ජූලි මාසය තෙක් කල් ගිය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සිරියාව වෙනුවෙන් පත් කරනු ලැබ සිටින විශේෂ සාම නියෝජිත ලක්දාර් බ‍්‍රහීමි ප‍්‍රකාශ කළේය.

එම සාම සමුළුවට සිරියානු කැරැලිකරුවන්ට හිතවත් ඇමෙරිකාව, ප‍්‍රංශය සහ බි‍්‍රතාන්‍යයත් සිරියානු රජයට හිතවත් රුසියාවත් සහභාගී වීමට නියමිතව සිටි නමුත්, පවතින මත ගැටුම් හේතුවෙන් සමුළුව ජූලි මාසය තෙක් කල් ගිය බව බ‍්‍රහීමී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් වැඩිදුරටත් පැවැසීය.