සෝමාලියාවේ මොගඩිෂු නුවර තුර්කි තානාපති කාර්යාලයට ඊයේ (28) ඉස්ලාමීය සටන්කාමීන් එල්ල කළ ප‍්‍රහාරයකින් තානාපති කාර්යාලයේ සේවකයෝ තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ආරක්ෂක අංශ නිලධාරීන් ද ඇතුළු තවත් 15 දෙනෙක් තුවාල ලැබූහ.
ප‍්‍රහාරය එල්ල කළේ සෝමාලියාවේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරන අල් ෂෙබාබ් නමැති සටන්කාමී සංවිධානයයි.
සටන්කාමීන් පළමුවෙන්ම බෝම්බ ඇටවූ මෝටර් රථයක් තුර්කි තානාපති කාර්යාලය පිහිටි ගොඩනැගිල්ලට කඩා වැදීමට සලස්වා එය පුපුරුවා හැර ඇත.
බෝම්බය පුපුරා යෑමත් සමඟ ගොඩනැගිල්ල ඉදිරිපිට සැඟවී සිටි සටන්කාමීහු ගොඩනැගිල්ලට කඩා වැදී වෙඩි තැබීමට පටන් ගත් බව ද වාර්තා වේ.
ප‍්‍රහාරය සැළ වූ සැණින් සෝමාලියානු ආරක්ෂක අංශ වහා කි‍්‍රයාත්මක වී එම ස්ථානයට පැමිණ නමුත් ඒ වනවිට සටන්කාමීන් එතැනින් පැන ගොස් තිබුණේ යැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.


අල් ෂෙබාබ් සටන්කාමීහු උතුරු අපි‍්‍රකාවේ අල් කයිඩා සටන්කාමීන් සමඟ ද සමීප සබඳතා පවත්වති. සෝමාලි මූදු කොල්ලකරුවන්ට අවි ආයුධ ලබා දෙන්නේ ද මෙම සටන්කාමී සංවිධානයයි.
මීට මාසයකට පමණ පෙර එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයන් ඉලක්ක කර ගනිමින් පහර දුන්නෝ ද අල් ෂෙබාබ් සටන්කාමීහුය. සටන්කාමීන් එල්ල කළ එම ප‍්‍රහාරයෙන් විසි දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.