රිය අනතුරකින් අත අහිමිවූයේයැයි තැවෙමින් නොසිට වෙහෙසවී තමන්ම නිපදවාගත් කෘත්‍රීම අතක් සවිකරගෙන ජීවිතය ජය ගැනීමට වෙර දරනා පුද්ගලයෙක් වෙනිසියුලාවේ සිටී.

ඒන්ජල් සැන්ගුයිනෝ (33) වෘත්තියෙන් ඉලෙක්ට්‍රෝනික උපකරණ අලූත්වැඩියා කරන්නෙකි. දිනක් රැකියාවට යමින් සිටින අතරතුර මෝටර් රියක් ඔහුව යටකරගෙන යෑම නිසා  බරපතළ තුවාළ ලැබූ ඔහු රෝහල් ගත කැරිණි. අනතුරින් වඩාත්ම හානිවී තිබූයේ ඒන්ජල්ගේ වම් අතටය.වෛද්‍යවරුන් කොතෙක් උත්සාහ කළත් එය ප්‍රකෘති තත්ත්වයට ගැනීමට නොහැකි විය.එනිසා ඔවුහු ඇකමැත්තෙන් හෝ උරහිසින්ම වෙන්වන සේ අත කපා වෙන්කර දැමිීමට කටයුතු කළහ.

අතකුත් නොමැතිව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඒන්ජල් සිටියේ ජීවිතයේ ඉදිරිය ගැන තබා තිබූ බලාපොරොත්තු සුන් කරගෙනය. එක් අතකින් තමන්ගේ සූක්ෂ්ම එමෙන්ම ප්‍රවේසමින් කළ යුතු රැකියාවේ යෙදෙන්නේ කෙසේද? ඔහුට තිබුණු ගැටලූව විය.සුවය ලබමින් සිටිනාතුර ඔහුට නිවසින් ලැබුණු පණිවුඩයකි.එනම් තමන් ළගදීම පියෙකු වන්නට යන බවයි.ඒන්ජල් ජීවිතය ගොඩගැනීමට සොයමින් සිටි ශක්තිය ඔහුට ලැබුනේ එම පණිවුඩය ඇසූ මොහොතේය.

‘මම ඔක්කොම බලාපොරොත්තු අතහැරලා හිටියේ.එක් අතකින් වැඩක් කර ගන්නේ කොහොමද කියලා.ඒත් මම තාත්තා කෙනෙක් වෙන්න යනවා කියලා ඇහුවා විතරයි මට පුදුම ශක්තියක් ලැබුනේ.මම හිතාගත්තා මගේ උපදින්න ඉන්න දරුවා වෙනුවෙන් මම ගොඩ එනවා කියලා‘ යැයි කියන්නේ ඒන්ජල්ය.

සිතුවිල්ල අනුව ක්‍රියාත්මක වුනු ඒන්ජල් රෝහලේ සිටියදීම කෘත්‍රීම අතක් නිර්මාණය කර ගැනීමට සැළැසුම් සකස් කළේය.මේ සදහා ඔහුට වෛද්‍යවරුන්ගේ හා නෑ හිතමිතුරන්ගේ සහයද නොඅඩුව ලැබුණි.සියලූ කැපකිරීම් අවසානයේ ඒන්ජල් සිය කෘත්‍රීම අත සාර්ථක ලෙස නිර්මාණය කර ගැනීමට සමත්ව ඇත්තේය.

මිල අධික උසස් තාක්ෂණයෙන් යුතු කෘත්‍රීම අතක්සේම නොවුවත් ඒන්ජල් නිර්මාණය කර ඇති කෘතිම අතද ඒවා හා සමානවම ක්‍රියාත්මක වේ. කපා වෙන්කෙරුණු අත වෙනුවට සවිකර ඇති මේ කෘත්‍රිම අතේ සංවේදක

උරිස් ඇටය හා සම්බන්ධය.උරිස් ඇටයේ ක්‍රියාකාරීත්වය අනුව සංවේදක ක්‍රියාත්මක වේ. සංවේදක වලින් ජනනය වන සංඥා ලැඛෙනුයේ අතේ ඇති මෝටර වලටය. ඒවා ක්‍රියාත්මක වී කෘත්‍රීම අත හසුරුවන්නේ සජීවී මිනිස් අතකට සමානවම වාගේය.

දැන් තමන් සුපුරුදු පරිදි රැකියාවේත් නිරත වන බව ඒන්ජල් කියයි. ඉතා අඩු වියදමකින් නිර්මාණය කරගත් තම කෘතිම අත තමන් වැනිම අත් අහිමිවූවන් වෙනුවෙන් සාදා දීමටත් බලාපොරොත්තුවෙන් සිටින බව ඔහු පවසයි.