ලන්ඩන්  නුවර ජීවත්වන කලාකාමී ශ්‍රී ලාංකිකයින් පිරිසක් විසින් ආරම්භකර ඇති නව කලා සංගමයක් මඟින් සම්මානනීය රුසියා සිනමා කෘතියක් තිරගත කිරීමට යයි.

"සමාජවාදී කලා සංගමය" නමින් පිහිටුවා ඇති එමගින් ඉදිරියේදී විවිධ කලා අංශයන් පිළිබඳව සම්මන්ත්‍රණ , සංවාද හා ප්‍රදර්ශන සංවිධානය කිරීමට බලාපොරොත්තුවන බව එහි කැඳවුම්කරු දන්වා ඇත. " නිසල හිමිදිරිය" නම්වූ සම්භාව්‍ය රුසියා  සිනමා කෘතිය ප්‍රදර්ශනය කෙරෙන්නේ එම සංගමයේ මුලාරම්භක වැඩසටහන ලෙසය.සිංහල උප ශීර්ෂ සහිත එම චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරෙන්නේ නොමිලයේය. චිත්‍රපට දර්ශනය අවසානයේ ඒ පිළිබඳව සංවාදයක් පැවැත්වීමටද බලාපොරොත්තු වෙයි.

ස්ටැනිස්ලාව් රොස්ටොට්ස්කි අධ්‍යක්ෂණය කල " නිසල හිමිදිරිය" 1972 ඔස්කාර් ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙල සඳහා විදේශ චිත්‍රපට අංශයට තෝරා ගත්  නිර්මාණයකි. 1942 ලෝක යුද්ධයේ සත්‍ය සිදුවීමක් අළලා ගෙතී ඇති අනුවේදනීය කතා පුවතක් එම චිත්‍රපටයට පාදක වී ඇත.

සිනමා නළුවකුද වන රොස්ටොට්ස්කි වසර ගණනාවක්ම මොස්කව් ජාත්‍යන්තර සිනමා උළෙලේ අධ්‍යක්ෂක තනතුර දැරුවේය. ඔහුගේ බිරිඳ සහ පුතාද සුප්‍රකට රුසියානි රංගන ශිල්පීහු වෙති.

සමාජවාදී කලා සංගමයේ වැඩ සඳහා සහභාගී වන ලෙස ලන්ඩන් නුවර පදිංචි කලා  ළැදි ශ්‍රී ලාංකිකයින් හට එම කණ්ඩායම ආරාධනා කරන බවද මෙම චිත්‍රපට දර්ශනය පිළිබඳව නිකුත්කර ඇති නිවේදනයෙහි සඳහන් වෙයි.