ඇමෙරිකන් බුද්ධි අංශ රහස් හෙළි කරමින් ඇමෙරිකන් රජයේ උදහසට ලක්වී සිටින එන්.එස්.ඒ. කොන්ත‍්‍රාත්කරු එඞ්වඞ් ස්නෝව්ඩන්, ලතින් ඇමෙරිකා රාජ්‍යයන් වන එක්වදෝරයට හෝ කියුබාවට හෝ පලා යෑමට සූදානමින් සිටින බවත්, මේ වනවිට ඔහු රුසියාවේ මොස්කව් නුවර ගුවන්තොටුපොළක සැඟවී සිටින බවත් ‘රොයිටර්’ පුවත් සේවය ඊයේ (27) අනාවරණය කළේය.


ඇමෙරිකානු රජය සී.අයි.ඒ බුද්ධි අංශයේත් එන්.එස්.ඒ. ආරක්ෂක අංශයෙත් සහාය ඇතිව, දුරකතන ඇමැතුම්වලට කන් දෙමින් සහ ඊ මේල් පණිවුඩ කියවමින් ඇමෙරිකානු වැසියන් ගැන ඔත්තු බලන බව ලොවට හෙළි කළේ ස්නෝව්ඩන්ය.
ස්නෝව්ඩන්, ඇමෙරිකා රහස් ලොවට හෙළි කළේ මීට සති කිහිපයකට පෙරය. ඒ, හොංකොං බලා පැමිණීමෙන් පසුවය.


රහස් හෙළි කළ අවස්ථාවේ සිට ස්නෝව්ඩන් ඇමෙරිකාවට ගෙන්වා ගෙන ඔහුට එරෙහිව නීති මගින් පියවර ගැනීමට ඇමෙරිකාව සූදානමින් සිටී. ඔබාමා පරිපාලනය රුසියානු රජයෙන් ඉල්ලා ඇත්තේ ස්නෝව්ඩන් වහාම තමන්ට බාර දෙන ලෙසටය.