ලෝ ප්‍රකට සම්මානනීය ලේඛක සල්මාන් රුෂ්ඩි ට, 2022 වසරේ දී පහර දුන් හදි මටාර් නමැති ඇමෙරිකන් මුස්ලිම් තරුණයා ඇමෙරිකන් ෆෙඩරල් අධිකරණයක් හමුවේ වරදකරු විය.

ඒ අනුව ඔහුට ජීවිතාන්නත සිරදඬුවමක් හිමිවනු ඇතැයි පැවැසෙයි. ෆෙඩරල් අධිකරණයේ තීන්දුව එලැඹෙන නොවැම්බර් 3 වැනිදා ප්‍රකාශයට පත්වනු ඇත.

සල්මාන් රුෂ්ඩි, මුස්ලිම් වැසියන් අතරේ උදහසට ලක් ලක්ව සිටින සම්මානනීය ආන්දෝලනාත්මක ලේඛකයෙකි. රුෂ්ඩි, මුස්ලිම් වැසියන්ගේ උදහසට ලක්වූයේ 1988 වසරේ පළ කළ ‘සැටනික් වර්ස්’ කෘතිය හේතුවෙනි. රුෂ්ඩි ඝාතනය කරන ඕනෑම අයකුට ඇමෙරිකන් ඩොලර් මිලියන 3.3 ක ලබා දෙන බව ඉරානය පවසා තිබුණි.

2022 දී රුෂ්ඩි, ඇමෙරිකාවේ නිව්යෝක් ජනපදයේ, ෂිටෝකා අධ්‍යාපන ආයතනයේ දේශනයක් පවත්වමින් සිටියදී, හදි මටාර් නමැති තරුණයා රුෂිඩි වෙත කඩා පැන පිහි ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් රුෂ්ඩිගේ එක් ඇසකට දරුණු ලෙස හානි විය. වෛද්‍යවරුන්ට අනුව, රුෂ්ඩිගේ එම ඇස අන්ධ වී ඇත.

28 හැවිරිදි හදි මටාර්, මේ වනවිටත් රුෂ්ඩිට සිදු කළ පහරදීම සම්බන්ධයෙන් වසර 25 ක සිරදඬුවමක් විදිමින් සිටී. ඒ ප්‍රාන්ත අධිකරණය දුන් තීන්දුවකට අනුවය. 

හදි මටාර්, ඇමෙරිකාවේ නිව්ජර්සි ජනපදයේ පදිංචි මුස්ලිම් ඇමෙරිකන් තරුණයෙකි. තමන් රුෂ්ඩිට පහර දුන්නේ, ඔහු ඉස්ලාම් දහමට සිදු කළ අපහාසයට පළිගැනීමක් ලෙස යැයි හදි මටාර් පවසා ඇත.