වැසිකිළි පොච්චියක ඇති ජලය වුවත් පානය කළ හැකි තත්ත්වයට පිරිසිදු කිරීමේ සමත් අපූරු ‘‘බීම බටයක්‘‘ නිපදවීමට ඩෙන්මාර්ක සමාගමක් සමත්ව තිබේ.

බීම බටයක ස්වරූපය ගත්තද මෙය ඇත්තෙන්ම අතේ ගෙනයා හැකි ජල පවිත‍්‍රකාරක උපාංගයකි. හැදින්වෙන්නේ ‘‘ලයිෆ් ස්ට්‍රෝ‘‘ ලෙසය.අතේ ගෙනයාහැකි නිසා භාවිතයද පහසුය.

නිර්මාපකයන් සදහන් කරන ආකාරයට ලයිෆ් ස්ට්‍රෝ උපාංගය මළපහ හෝ වෙනයම් අපද්‍රව්‍යයක් එක්වීම නිසා හෝ දුෂණය වී පානයට නුසුදුසු තත්ත්වයට පත්ව ඇති ජලයේ ඇති බැක්ටීරියා සියයට 99 ක් ම පාහේ ඉවත් කිරිමට සමත්ය.

බීම බෝතලයකට දමා ඇති බීම බටයකින් බීම උරා බොන්නාක් මෙන් ලයිෆ් ස්ට්‍රෝ උපාංගයෙන්ද කරන්නට ඇත්තේ ජලය උරාබීමයි.

මෙම උපාංගය නිපදවීමට හේතුකාරකය වී ඇත්තේ ලොව ඇතැම් රටවල පවතින ජල අර්බුදයයි.මෙවන් රටවල් අතුරින් බොහෝමයක් අන්ත දිළිඳුය.නිර්මාපකයන්ගේ උත්සාහ කර ඇත්තේ දිය බිදකුත් මහමෙරක් තරම් වටිනා මෙවන් රටවල ජීවත් වන්නන්ට දිය බිදක් හෝ රැකදීමට හැකි උපකරණයක් නිර්මාණය කර දීමටයි.ලයිෆ් ස්ට්‍රෝ එම උත්සාහයේ ප‍්‍රතිඵලයයි.

දැනටමත් අපි‍්‍රකාවේ දුෂ්කර ප‍්‍රදේශයන් වෙත මෙම උපකරණය බෙදා හැරීමේ කටයුතු සිදුවේ.

අවශ්‍ය අයෙකු වේනම් අන්තර්ජාලය ඔස්සේද මිල ගෙවා ලබා ගත හැකි මෙම උපකරණයේ මිල සටහන් වන්නේ ඩොලර් 29.99  (රුපියල් 3988.67) ලෙසය.