තුර්කි රජය විවේචනය කළැයි එරට මාධ්‍යවේදීන් 64 දෙනකු පසුගිය දින කිහිපයේ දී රජය විසින් අත්අඩංගුවට ගත් බවත්, මීට පෙර එසේ අත්අඩංගුවට ගත් මාධ්‍යවේදීන් 123 දෙනකුට මේ වනවිට නඩු පැවැරීමට කටයුතු කර ඇති බවත් එරට විපක්ෂ නායකවරයා චෝදනා කරයි.

තුර්කියේ ප‍්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන්නේ රිපබ්ලිකන් ජනතා පක්ෂයයි. පක්ෂ නායක කෙමාල් කිලික්ඩරෝගු රජයට එරෙහිව එම චෝදනා එල්ල කළේ ඊයේ අන්කාරා නුවර (24) පැවැති මාධ්‍ය හමුවකදීය.

මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීමට තුර්කි අගමැති රිසෙප් ටයිප් එර්ඩොගන් කටයුතු කළේ ඔවුන් ඔහුටත් ඔහුගේ රජයටත් අවාසි වන ආකාරයේ පුවත් පළ කිරීම නිසා යැයි ද විපක්ෂ නායකවරයා චෝදනා කර ඇත.

මාධ්‍ය නිදහස ඇති රටවල් 179 අතින් තුර්කිය පසුවන්නේ 154 වැනි ස්ථානයේ යැයි ද විපක්ෂ නායකයා වැඩි දුරටත් කියා සිටී.
තුර්කි අගමැතිවරයාට ධුරයෙන් ඉවත් වන්නැයි බල කරමින් විරෝධතා ඇරැඹුණේ මීට මාස කිහිපයකට පෙරය. ඒ, ඉස්තාම්බුල් නුවර උද්‍යානයක වෙළෙඳ සංකීර්ණයක් ඉදි කිරීමට රජය සැරසෙද්දීය.

විරෝධතා නවත්වා සාමකාමීව හැසිරෙන ලෙසටත්, ඉස්තාම්බුල්  අගනුවර තක්සිම් චතුරස‍්‍රයෙන් ඉවත් වන ලෙසටත් තුර්කි අගමැති විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා සිටි නමුත් විරෝධතාකරුවෝ ඊට ඇහුම්කන් නොදුන්හ. ඉන්පසු තුර්කියේ සෑම ප‍්‍රධාන නගරයකම පාහේ විරෝධතා පැවැත්වෙන බව වාර්තා විය.

ටියුනීසියාවේ, ලිබියාවේ සහ ඊජිප්තුවේ සිදු වූවාක් මෙන් ‘අරාබි වසන්තයක්’ තුර්කියට උදා වීමට ඉඩ නොදෙන බව අගමැති එඞ්රෙගොන් එම අවස්ථාවේදී වැඩි දුරටත් කියා සිටියේය.

තුර්කි රජයට එරෙහිව විරෝධතා පවත්වමින්, තක්සිම් චතුරස‍්‍රයට විරෝධතාකරුවන් දහස් ගණනින් පැමිණ කඳවුරු බැඳගත් අවස්ථාවේදී, තුර්කි රජය පොලිසිය යොදවා එම විරෝධතාකරුවන්ට පහර දී පන්වා දැමුවේය.

තුර්කි අගමැතිගේත් රජයේත් කි‍්‍රයා කලාපය විවේචනය කරමින් පුවත් පළ වූයේ එවිටය. විරෝධතාකරුවන්, වෘත්තීය සමිති නායකයන්, දේශපාලන කි‍්‍රයාකාරීන් සහ මාධ්‍යවේදීන් ද රජය විසින් අත්අඩංගුවට ගනු ලැබුණි.

 

විපක්ෂ නායක කෙමාල් කිලික්ඩරෝගු