‘අතට අත‘ දීමට වඩා ‘අත් මිටට අත් මිට‘ දීම වඩා සෞඛ්‍යාරක්ෂිත වන බව බ්‍රිතාන්‍යය   වෛද්‍යවරයෙක් පවසයි.

වෛද්‍ය ටොම් මැකලන් තම පරීක්ෂණ කණ්ඩායමත් සමග සිදු කළ පරීක්ෂණවලට අනුව අතට අත දීමේදී විශාල ප්‍රමාණයකින් බැක්ටීරියා හා ක්ෂුද්‍රජීවීන් අදාළ පුද්ගලයන් දෙදෙනා අතර හුවමාරු වන බවත්,  අත් මිටට අත් මිට දීමේදී   බැක්ටීරියා හා ක්ෂුද්‍ර ජීවීන් හුවමාරු වන්නේ ඉතා සුලූ ප්‍රමාණයකින් බවත් සොයාගෙන ඇත.

මේ නිසා රෝහලකදී වැනි ස්ථානයකදී වෛද්‍යවරුන් තම රෝගීන්ට අතට අත දී ආචාර කරනවාට වඩා අත් මිටට අත් මිට දී ආචාර කිරීම වඩා සුදුසු බව වෛද්‍ය ටොම් මැකලන්ගේ අදහසයි.

අත් මිටට අත් මිට දී ආචාර කර ගැනීමේ ක්‍රමය දැනටමත් ලොව ප්‍රකට පුද්ගලයන් කිහිප දෙනෙකු  ප්‍රසිද්ධියේ සිදු කරන අවස්ථා බොහෝමයක් පසුගිය සමයේ දැකගත හැකි විය. මුලදී තරුණ තරුණියන්ට වෙන්වූ සාම්ප්‍රදායික නොවන ආචාර විදියක් ලෙස සැළකුණු මෙම ආචාර විදිය ඇමරිකාවේ වත්මන් ජනපති බරක් ඔබාමා තම බිරිද සමග ප්‍රසිද්ධ වේදිකාවකදී හුවමාරු කර ගැනීමත් සමග එකී මතය බිද වැටී ඇති සෙයක් පෙනේ.

චාල්ස් කුමරු, ඇමරිකා හිටපු ජනපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්, මොහොමඩ් අලී, ප්‍රකට ගී  හා සිනමා තරු ආදී මෙකී නොකී සියල්ලෝම දැන් දෙන්නේ අතට අත නොව මිටට මිටය.

කාලයත් සමග වෙනස් වීම ඔබින හෙයින්ද, තම තමන්ගේ සෞඛ්‍ය ගැන සැළකිලිමත් විය යුතු හෙයින් ද අතට අත දීමට වඩා  ‘මිටට මිට‘ දීම තමන් ඉහළින්ම අනුමත කරන බව වෛද්‍ය ටොම් මැකලන් කියයි.