ලේකම්වරියන් සේවයෙන් පහ කොට ඒ වෙනුවට ලේකම්වරුන් සේවයට බදවා ගන්නැයි ඉන්දුනීසියාවේ ආණ්ඩුකාරවරයෙක් තමන් යටතේ ඇති ආයතනයන්හි සේවය කරන නිළධාරීන්ට නියෝග කර ඇත.

රජයේ නිළධාරීන් තම තරුණ පෞද්ගලික ලේකම්වරියන් සමග නටන නාඩගම් ගැන වැඩි වැඩියෙන් වාර්තා වීම නිසා මෙම තීරණය ගත් බව ඉන්දුනීසියාවේ ගොරොන්ටාලෝ ප‍්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා පවසයි.මෙම නිළධාරීන් සිය බිරින්දෑවරුන් අමතක කර පෞද්ගලික ලේකම්වරියන්ට මිල අධික ඇදුම් පැළදුම්,කෑම බීම,සුවද විලවුන් ආදී මෙකී නොකී සියලූ දේ මිලදී ගෙන දීමට පුරුදුව සිටින බවත් ඔවුන්ගේ මේ කි‍්‍රයාකලාපයන් නිසාවෙන් විදවන්නේත් ගැරහුම් ලබන්නේත් ඔවුන්ගේ බිරින්දෑවරුන් හා දරුවන් බවත් ඔහු කියයි.

මෙම හේතුව නිසාවෙන් තමන් මේ නියෝගය නිකුත් කළ බව ආණ්ඩුකාරවරයා පවසයි.අවශ්‍යම නම් ලේකම්වරියක් බදවා ගත හැකි වුවත් ඇය මහලූ වයසේ පසුවිය යුතුයැයි නිළධාරීන් දැනුම්වත් කර ඇත.

නියෝගය පැහැර හරින නිළධාරීන්ට දඩුවම් කිරීමට අදහසක් නැතත් ආචාර ධර්මයන්ගේ නාමයෙන් තම නිළධාරීන් නියෝග ප‍්‍රකාරව කටයුතු කරනු ඇතැයි ආණ්ඩුකාරවරයා විශ්වාසයෙන් සිටී.

ගොරොන්ටොලෝ ආණ්ඩුකාරවරයා රජයේ නිළධාරීන්ගේ පවුල් සළකා මෙවන් නියෝගයක් නිකුත් කළ ප‍්‍රථම අවස්ථාවද මෙය නොවේ.මිීට පෙර අවස්ථාවකදී ප‍්‍රාන්තයේ සේවය කළ රජයේ සේවකයන් 3200 දෙනෙකුගේ මාසික පඩිය ඔවුන්ගේ බිරින්දෑවරුන්ගේ බැංකු ගිණුම් කරා යොමුකළ යුතුයැයි නියෝග කෙරුණු අතර එහි අරමුණ වූයේද රජයේ සේවකයන් හට අනියම් සබදතා ආරම්භ කර ගැනීමට හා පවත්වාගෙන යාමට ඇති ඉඩ අවුරා දැමීමයි.