මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ්ට රටින් පිටවීම එරට අධිකරණයක් මගින් ඊයේ (26) සිට තහනම් කර තිබේ. ජනපති ධුරයේ සිටිද්දී, බලතල අයථා ලෙස පාවිච්චි කළේ යැයි නෂීඞ්ට චෝදනා එල්ල වී ඇති අතර ඒ සම්බන්ධයෙන් නඩු විභාගයක් පැවැත්වෙයි. බි‍්‍රතාන්‍ය සංචාරයක් අවසන් කරමින් නෂීඞ් යළි මාලදිවයිනට පැමිණියේ පෙරේදා (25) ය. ජනපති ධුරයේ සිටිද්දී නෂීඞ්, අබ්දුල්ලා මොහොමඞ් නමැති එරට ජ්‍යේෂ්ඨ විනිසුරුවරයකු සමඟ ගැටුම් ඇති කර ගත්තේය. විනිසුරුවරයාගේ තීන්දුවලට විරෝධය දක්වමින් නෂීඞ් කියා සිටියේ විනිසුරුවරයා විපක්ෂ කණ්ඩායම්වලට පක්ෂව තීන්දු ලබා දෙන බවත් ඔහු අක‍්‍රමිකතා රුසකට සම්බන්ධ අයකු බවත්ය. පසුගිය ජනවාරි මාසයේදී නෂීඞ්, සිය බලතල පාවිච්චි කරමින් විනිසුරු අබ්දුල්ලා මොහොමඞ් අත්අඩංගුවට ගත්තේය. නෂීඞ්ට එරෙහි විපක්ෂ කණ්ඩායම්වලින් මෙන්ම රටේ ජනතාවගෙන් ද විරෝධයක් එල්ල වීමට පටන් ගත්තේ එම අවස්ථාවේදීය. ජනතා විරෝධතා උත්සන්න වීමෙන් ඉකුත් පෙබරවාරි හත් වැනිදා උප ජනපතිව සිටි මොහොමඞ් වහීඞ්ට බලය පවරා දෙමින් නෂීඞ් බලයෙන් ඉවත් වූයේය. වහීඞ් මාලදිවයිනේ ජනාධිපති ලෙස දිවුරුම් දුන් අතර නෂීඞ් චෝදනා කරන්න වූයේ විපක්ෂ කණ්ඩායම් සහ ආරක්ෂක අංශ සමඟ එක් වී වහීඞ් කුමන්ත‍්‍රණය කර තමා බලයෙන් නෙරපා දැමූ බවය. එම චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ද පැවැති අතර, මාලදිවයිනේ කිසිදු කුමන්ත‍්‍රණයක් සිදු නොවුණු බවත් නෂීඞ්ගෙන් වහීඞ්ට බලය පැවැරීම නීත්‍යාණුකූලව සිදුවූ බවත් එහිදී තහවුරු විය.