සිරියානු රජයේ හමුදා එල්ල කළ විස වායු ප‍්‍රහාරයකින් කුඩා දරුවන් ද ඇතුළු සිවිල් වැසියන් 1,300 ක් ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් හදිසි නිගමනවලට එළැඹීමෙන් වැළැකිය යුතු බවත් ඒ ගැන කඩිනමින් පුළුල් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් කියා සිටී.

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා මේ බව කීවේ, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සිරියා රජයට එරෙහිව යෝජනාවලියක් ගෙන ඒමට සැරැසෙද්දීය.
මේ වනවිට එක්සත් ජාතීන්ගේ විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් සිරියාවේ සංචාරයක යෙදෙමින් සිටී. එම පරීක්ෂණ කණ්ඩායම සිරියාවට පැමිණියේ මීට පෙර අවස්ථා කිහිපයකදී සිරියානු රජය විසින් සිදු කළේ යැයි කී සෙරීන් විස වායු ප‍්‍රහාර ගැන පරීක්ෂණ පැවැත්වීමටය.

මහ ලේකම් මූන් කියා සිටියේ එම පරීක්ෂණ කණ්ඩායම වහාම ඩමැස්කස් නුවර ගම්මානයට පිටත් කර හැරීමට තමන් පියවර ගන්නා බවය.