දකුණු අපි‍්‍රකාවේ වර්ණභේදවාදය තුරන් කිරීමෙහිලා පුරෝගාමී මෙහෙවරක් කළ එරට හිටපු ජනපති නෙල්සන් මැන්ඩෙලා අද සිය 95 වැනි උපන් දිනය සමරයි.

පිළිකා ආසාදනයකට ලක් වී අසාධ්‍ය තත්ත්වයක පසුවන මැන්ඩෙලා මේ වනවිට සිටින්නේ දකුණු අපි‍්‍රකාවේ රෝහලක ප‍්‍රතිකාර ලබමිනි.
ඔහුගේ තත්ත්වය අසධ්‍ය නමුත් වෛද්‍යවරු ලබා දෙන ප‍්‍රතිකාරවලට ඔහු යහපත් ප‍්‍රතිචාර දක්වන බව මැන්ඩෙලාගේ පවුලේ අය පවසා ඇත. මැන්ඩෙලාට ඇප උපස්ථාන කරමින් ඔහු ළඟ සිටින්නේ ඔහුගේ හිටපු බිරිය සහ වත්මන් බිරියයි.

දකුණු අපි‍්‍රකාවේ ‘ජාතියේ පියා’ සහ ‘අහිංසාවාදයේ පියා’ යන ගෞරව නාමයෙන් පිදුම් ලැබූ මැන්ඩෙලා, පෙනහළු ආසාදනයකට ලක් වීමෙන් රෝහල් ගත කළේ මීට මාසයකට පමණ පෙරය.

සිහිසුන් තත්ත්වයකට ද පත්ව සිටින මැන්ඩෙලා දිවි සුරැකීමේ යන්ත‍්‍රයකට සම්බන්ධ කර ඇති බව ද වාර්තා වේ.

සුදු ජාතික සුළුතරය විසින් දකුණු අප‍්‍රිකාව පාලනය කළ සමයේ ඊට එරෙහිව කළු ජාතිකයන්ගේ අයිතීන් වෙනුවෙන් හඬ නැගූ මැන්ඩෙලා නිහඬ නමුත් එඩිතර දේශපාලන කි‍්‍රයාකාරියෙක් වූයේය.

කළු ජාතිකයන්ගේ අයිතීන් වෙනුවෙන් හඬ නැගීමේ වරදට ඔහු 27 වසරක් දකුණු අපි‍්‍රකාවේ රොබන් දුපතේ සිරගත කෙරුණි. මැන්ඩෙලා පෙනහළු ආශි‍්‍රත රෝගී තත්ත්වයකට ගොදුරු වූයේ එසේ සිරගතව සිටිද්දී ගල්වලක සේවයට යෙදවීමෙනි.

මැන්ඩෙලා උපත ලැබුවේ 1918 වසරේ ජූලි 18 වැනිදාය. හිරෙන් නිදහස් වීමෙන් පසු, අපි‍්‍රකානු ජාතික කොංග‍්‍රස් පක්ෂයට නායකත්වය දෙමින් ඔහු දකුණු අපි‍්‍රකාවේ ජනපති ධුරයට ඉදිරිපත් වී විශිෂ්ඨ ජයක් හිමිකර ගත්තේය. ඒ, 1994 වසරේදීය.

1999 වසර තෙක් දකුණු අපි‍්‍රකාවට නායකත්වය දුන් මැන්ඩෙලා දකුණු අපි‍්‍රකාවේ පළමු කළු ජාතික ජනපතිවරයා ද වෙයි.

ජනපති ධුරයට පත්වීමෙන් පසු මැන්ඩෙලා කිසිම අවස්ථාවක ඔහුට එරෙහි වූ හෝ ඔහු හිරේ දැමූ හෝ සුදු ජාතිකයන්ගෙන් පළි නොගත්තේය.

ජනපති මැන්ඩෙලා, 2005 වසරේ රග්බි ලෝක කුසලානය දකුණු අපි‍්‍රකාවේ පැවැත්වීමට කටයුතු කළේ ද වර්ණභේදවාදය පිටුදැකීමේ අරමුණින්ය. මැන්ඩෙලා දරුවන් සිවු දෙනකුගේ පියකු වන අතර ඔහු තෙවරක් විවාහ විය.

1993 වසරේ නොබෙල් සාම ත්‍යාගයට අමතරව ගෞරව සම්මාන 250 කට වැඩි ප‍්‍රමාණයක් මැන්ඩෙලාට හිමි වී ඇත. මැන්ඩෙලාගේ උපන් දිනය යෙදෙන අද මැන්ඩෙලා දිනය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කර ඇත.