හමුදා කුමන්ත‍්‍රණයකින් බලයෙන් නෙරපා, අත්අඩංගුවට ගත් ඊජිප්තුවේ ජනපති මොහොමඞ් මොර්සි වහාම නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් ඊයේ (26) ඊජිප්තු නව අන්තර්වාර රජයෙන් ඉල්ලීමක් කළේය.

එ:ජා: මහලේකම් බැන් කි මූන්

එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා එම ඉල්ලීම කළේ, මොර්සිගේ ‘මුස්ලිම් සහෝදරත්වය පක්ෂයේ නායකයන් වහාම අත්අඩංගුවට ගන්නැයි ඊජිප්තු අධිකරණයක් වරෙන්තු නිකුත් කිරීමත් සමඟය. ඊජිප්තු අන්තර්වාර රජය චෝදනා කරන්නේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කිරීමට ජනතාව උසි ගන්වන්නේ මුස්ලිම් සහෝදරත්වය පක්ෂයේ නායකයන් කියාය.
මුස්ලිම් සහෝදරත්වය පක්ෂයේ නායකයන් ඉකුත් 24 වැනිදා චෝදනා කළේ, ජනපති මොර්සි බලයෙන් නෙරැපීමේ කුමන්ත‍්‍රණය පසුපස සිටින්නේ ඇමෙරිකාව බවත් එම නිසා කයිරෝවේ ඇමෙරිකන් තානාපති කාර්යාලය වටලා පහර දීමක් කළ යුතු බවත් ය.
ඇමෙරිකා රජය තරයේ කියා සිටින්නේ, ඊජිප්තුවේ සිදුවුණු ‘බලය වෙනස් වීමට’ තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බවය.
ජනතා ඡුන්දයෙන් තේරී පත් වණු ජනපති මොහොමඞ් මොර්සි බලයෙන් ඉවත් කිරීමේ හමුදා කුමන්ත‍්‍රණයක් දියත් කෙරුණේ පසුගිය 3 වැනිදාය.
2010 වසරේ දී අරාබි වසන්තයෙන් පසු, වසර ගණනාවක් ජනපති ධුරයේ කටයුතු කළ හොස්නි මුබාරක්ගේ පාලනය අවසන් වීමෙන් පසු, ඊජිප්තුවේ ප‍්‍රථම ප‍්‍රජාතන්ත‍්‍ර මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළේ මුස්ලිම් සහෝදරත්වය පක්ෂය නියෝජනය කළ මොහොමඞ් මොර්සි ය. ඔහු ඊජිප්තුවේ ප‍්‍රථම ඉස්ලාමීය ජනපතිවරයා ද වෙයි.
ජනපති මොර්සිට එරෙහි විරෝධතා ඇරැඹුණේ ඔහු ජනපති ධුරයට පත් වී වසරක් ගත වෙද්දී ය. විරෝධතා සංවිධානය කළේ, ඊජිප්තු විපක්ෂ දේශපාලන කණ්ඩායම්ය.
විරෝධතාකරුවන් එම අවස්ථාවේදී චෝදනා කළේ බලය බෙදා ගැනීමට මොර්සි සහ ඔහුගේ රජය අපොහොසත් වූ බවත් ජනතාව පීඩාවට පත් කරන අන්දමේ තීරණ ගත් බවත්ය.
හමුදා කුමන්ත‍්‍රණයෙන් ජනපති මොර්සි බලයෙන් ඉවත් කිරීමෙන් පසු එරට අන්තර්වාර රජයේ නව නායකයා ලෙස අගවිනිසුරු අද්ලි මන්සූර් දිවුරුම් දුන්නේය. මේ වනවිට ඔහු නව අන්තර්වාර රජයක් ද පිහිටුවා ඇත. 2014 දී ජනපතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන බව ද ඔහු කියා ඇත.
මේ වනවිට මොර්සි ඇතුළු ඔහුගේ මුස්ලිම් සහෝදරත්වය පක්ෂයේ සාමාජිකයන් 300 ක් දෙනකු හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් රඳවා තැබෙන්නේ කොහේදැයි යන්න ගැන කිසිදු තොරතුරක් මාධ්‍ය වෙත ලැබී නැත.