හමුදා කුමන්ත‍්‍රණයකින් බලයෙන් නෙරපා, අත්අඩංගුවට ගත් ඊජිප්තුවේ හිටපු ජනපති මොහොමඞ් මොර්සි වහාම නිදහස් කරන්නැයි යුරෝපා සංගමය ඊයේ (18) ඊජිප්තු නව අන්තර්වාර රජයෙන් ඉල්ලීමක් කළේය.
යුරෝපා සංගමය එම ඉල්ලීම කළේ, අන්තර්වාර රජය පෙරේදා (17) දිවුරුම් දීමෙන් පසුවය. ඊජිප්තු නව ජනපතිවරයා ලෙස කටයුතු කරන්නේ එරට අගවිනිසුරු අද්ලි මන්සූර්ය. නව අන්තර්වාර රජයේ ඇමැති මණ්ඩලය 35 දෙනකුගෙන් සමන්විතය.
හමුදා අත්අඩංගුවට පත් වුණු ජනපති මොර්සි වහාම නිදහස් කරන ලෙසත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමට කටයුතු කරන ලෙසත් යුරෝපා සංගමය ඊජිප්තු රජයෙන් වැඩි දුරටත් ඉල්ලා සිටී.
හමුදා කුමන්ත‍්‍රණය සිදුවෙද්දී, මොර්සි ඇතුළු රජයේ උසස් නිලධාරීන් කිහිප දෙනකු මෙන්ම මුස්ලිම් සහෝදරත්වය පක්ෂයේ කි‍්‍රයාකාරීන් රැසක් ද හමුදා අත්අඩංගුවට පත් වූ බව වාර්තා විය. මේ වනවිට මොර්සි රඳවා තැබෙන්නේ කොහේදැයි කිසිවකු නොදනී.
2010 වසරේ සිදුවුණු අරාබි වසන්තයෙන් පසු, වසර ගණනාවක් ජනපති ධුරයේ කටයුතු කළ හොස්නි මුබාරක්ගේ පාලනය අවසන් වීමත් සමඟ, ඊජිප්තුවේ පවත්වන ලද ප‍්‍රථම ප‍්‍රජාතන්ත‍්‍ර මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළේ මොර්සිය. ඊජිප්තුවේ ප‍්‍රථම ඉස්ලාමීය ජනපතිවරයා වූයේ ද ඔහුය.
මොර්සිට එරෙහි විරෝධතා ඇරැඹුණේ ඔහු ජනපති ධුරයට පත් වී වසරක් ගත වෙද්දී ය.
එම අවස්ථාවේදී විපක්ෂ කණ්ඩායම් නියෝජනය කළ විරෝධතාකරුවන් චෝදනා කළේ බලය බෙදා ගැනීමට මොර්සි සහ ඔහුගේ ‘මුස්ලිම් සහෝදරත්වය’
පක්ෂය අපොහොසත් වී ඇති බවත් දිනෙන් දින ජනතාව පීඩාවට පත් කරන අන්දමේ තීරණ ගන්නා බවත්ය.
විරෝධතා උත්සන්න වෙද්දී හමුදාව ඊට මැදිහත් විය. බලය බෙදා ගැනීමට මොර්සිට පැය 48 ක් ලබා දෙමින් ඔවුන් කීවේ එසේ කිරීමට මොර්සි අපොහොසත් වුවහොත් කුමන්ත‍්‍රණය කර ඔහු බලයෙන් නෙරපන බවය. මොර්සි ඊට විරෝධය පළ කළ අතර හමුදා කුමන්ත‍්‍රණයෙන් ඔහුට බලතල අහිමි විය.
මොර්සි ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු නව අන්තර්වාර ජනපතිවරයා ලෙස දිවුරුම් දුන් අද්ලි මන්සූර් ජනතාවට පොරොන්දුවක් දුන්නේ මාස 6 ක් ඇතුළත මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන බවටය.