ස්පාඤ්ඤයේ මැඞ්රිඞ් අගනුවර ආසන්නයේ පිහිටි තවත් කුඩා නගරයකි බෘනෙට්. වසර ගණනක සිට එහි වාසය කරනා ෆර්නැන්ඩෝ ඉරු දින විවේකය ගතකරමින් සිටියේ ය.හදිසියේම නිවසේ සීනුව නාද වන්නේය.ඉරු දිනයේ මේ කවරෙක්දැයි විපරම් කිරීමට යන ෆර්නැන්ඩෝගේ නෙත ගැටෙනුයේ දොරකඩ තබා ඇති පාර්සලයකි.විවෘත කර බලන කල්හි එහි වන්නේ බලූ මළපහය.

මේ කාගේ හෝ නොහෙබිනා විහිලූවක් යැයි සිතා පොලිසිය ඇමතීමට යන ෆර්නැන්ඩෝ දකින්නේ පාර්සලයේ සිය බලු  සුරතලාගේ නම එහි සදහන්ව ඇති අයුරුය.පැය කිහිපයකට පෙර තම බල්ලා පාරේ මළ පහ කළ බවත් තමන් එය ගණන් නොගෙන එම ස්ථානය පවිත‍්‍ර නොකර පැමිණි බවත් ඔහුට සිහිවන්නේ එවිටය.

මේ බෘනෙට් නගරය පිරිසිදුව තබා ගැනීමට එහි නගර බළධාරීන් ගෙන ඇති තවත් පියවරකි.සුරතලූන් පාරේ මළ පහ කළ විට එම ස්ථාන පවිත‍්‍ර කිරීම මගහැර යන පුද්ගලයින්ට දෙන අලූත්ම දඩුවම වන්නේ මෙයයි.නගරය පුරා ස්වේච්ඡා සේවකයන් ස්ථානගත කර ඇති අතර ඔවුන් සිටින්නේ නිරන්තර සෝදිසියෙනි.මෙවන් අවස්ථාවක් ඇස ගැටුණු විගස ඔවුන් කරන්නේ අදාළ පුද්ගලයා හමුවට ගොස් චාටුවෙන් සිත දිනාගෙන පෞද්ගලික තොරතුරු සෙවීමයි.ලබාගත් තොරතුරු ආශ‍්‍රයෙන් පදිංචි ස්ථානය පවා සොයාගැනීමට ඔවුන් සමත්ය.අනතුරුව පාරේ ඇති සත්ත්ව මලපහ එකතු කරගෙන ස්ථානය පිරිසිදු කරන මොවුන් එකතුකරගත් මලපහ පාර්සල් කර සොයාගත් ලිපිනය කරා යවයි.වගකීම් පැහැර හැරි සත්ත්ව හිමිකරුවාට තරු පෙනෙන්නේ පාර්සලයේ ඇති දේ දුටුවිටය.

පසුගිය සතියේ පමණක් මෙවන් පාර්සල් 50 ක් පමණ විවිධ නිවෙස් කරා යැවූ බව බළධයෝ කියති.මේ නිසාම දැන් පොදුස්ථාන වල මලපහ කරනා සිය සුරතලූන් ගැන නගරයේ හිමිකරුවන් හොද සෝදිසියෙන් සිටින බව ඔවුහු පවසති.