දකුණු දිග ප්‍රංශයේ පාසලක සිදුවුණු වෙඩි තැබීමකින් පාසලේ විදුහල්පතිවරයා සහ ගුරුවරයකු බරපතල ලෙස තුවාල ලැබූ බව පැවැසෙයි. 

වෙඩි තැබීම සිදුවූයේ මාර්සේල් නගරයට නැගෙනහිරින් පිහිටි ඔබාන් නගරයේ ‘ලකානාල්’ නමැති පාසලේය. වෙඩි තැබීම කළේ එම පාසලේම අධ්‍යාපනය ලබන 14 හැවිරිදි සිසුවෙකි.

වෙඩි ප්‍රහාරයට ලක්වුණු  53 හැවිරිදි විදුහල්පතිවරයා සහ 37 හැවිරිදි ගුරුවරයා කඩිනමින් රෝහල්ගත කළ බව පැවැසෙයි.

විදුහල්පතිවරයාගේ උදරයටත්, පාදයකටත් වෙඩි වැදී ඇති බවත්, ගුරුවරයාගේ කලවා ප්‍රදේශයට වෙඩි වැදී ඇති බවත් පොලිසිය වැඩි දුරටත් කියා සිටී.
සිසුවා, වෙඩි තැබීම කර ඇත්ත් සතුන් දඩයම් කිරීමට යොදා ගන්නා වර්ගයේ රයිෆලයකිනි. සිසුවා එය පාසලට රැගෙනවිත් ඇත්තේ ගිටාර් පෙට්ටියක සඟවාගෙන යැයි පොලිසිය පවසයි. වෙඩි තැබීම කළ සිසුවාත්, තුවක්කුවත් පොලිස් භාරයට ගැණුනි.

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් මේ වනවිට ආරම්භ කර ඇතැයි ද පැවැසෙයි. පාසලේ සිසුන් කිසිවකුටවත් කිසිදු අනතුරක් සිදු නොවුණු බව පොලිසිය අවධාරණය කර ඇත.

මේ වනවිට ප්‍රංශය පුරා සිසු විරෝධතා පැවැත්වෙයි. ඒ, අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ ඉල්ලමිණි. එම විරෝධතා සහ මෙම වෙඩි තැබීමේ සිද්ධිය අතරේ කිසිදු සම්බන්ධයක් නොමැති බව පොලිසිය තහවුරු කර ඇත.

‘ලකානාල්’ පාසලේ වෙඩි තැබීම සම්බන්ධයෙන්, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් කනස්සල්ල පළ කර ඇත. තුවාල ලැබූ විදුහල්පතිවරයා සහ ගුරුවරයා වෙනුවෙන් ජනපති මැක්රොන් කනගාටුව පළ කළ බව ද පැවැසෙයි.