පාලමක් මත සිටගෙන ඡායාරූප ගැනීමේ සිහියෙන් පසුවූ පියාගේ කර මත සිටි සිගිති දියණිය පහළින් ගලා ගිය ගඟට වැටී මියයාමේ දුක්මුසු පුවතක් ඉන්දියාවේ හයිද්‍රබාද් ප‍්‍රදේශයෙන් වාර්තා වේ.

මියගිය දරුවාගේ වයස යන්තම් මාස 18 කි.බි‍්‍රතාන්‍යයේ පදිංචිව සිටින තම දෙමව්පියන් හා සොහොයුරන් දෙදෙනා සමග ඇය මව්රට වන ඉන්දියාවට පැමිණ ඇත්තේ  පියාගේ ඥාතියෙකුගේ විවාහ මංගල උත්සවයකට සහභාගී වීමටය.

මේගා රෙඩ්ඩි නම් වන පියා වෘත්තියෙන් වෛද්‍යවරයෙකි.ඔහු තම දියණිය කර මත තබාගෙන පුතුන් දෙදෙන හා බිරිද සමඟ ප‍්‍රදේශයේ පාලමක් නැරැඹීමට ගොස් තිබේ.පාලමේ බැම්මට වාරු දීගෙන සිටගෙන ඇති ඔහු දියණියත් කර මත තබාගෙනම තමන්ගේ ඡායාරූපයක් ගන්නැයි බිරිදට උපදෙස් දී ඇත.

ඡායාරූපයට පෙනී සිටීමට දඟලද්දී කර මතින් ලිස්සා ගොස් ඇති සිගිති දියණිය පාලමට පහළින් ගලායන ගඟට වැටිණි.

පියාගේ කෑගැසිම් අසා වහ වහා එතැනට පැමිණි අවට පදිංචිකරුවන් පොලිසියත් සමග එකතුව සිගිති දියණිය සොයාගැනීමට දැරූ උත්සාහය සාර්ථක වුවත් ඒ වන විට සිගිති දියණිය මෙලොව හැරදා ගොස් තිබුණි.

දෙමව්පියන් තම දරුවන් ගැන මීට වඩා සැළැකිලිමත් විය යුතුයැයි දරුවා මියගිය සොවින් හඩාවැළපෙන දෙමාපිය යුවළ දුටුවන්ගේ අදහස විය.