පාකිස්තානයේ සංචාරයක යෙදෙන එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් ඊයේ (14* එරට අධ්‍යාපන අමත්‍යාංශ නිලධාරීන්, අධ්‍යාපන බලධාරීන්, ගුරුවරුන් මෙන්ම පාසල් සිසුවියන් ද හමු වී බාලිකාවන්ට අධ්‍යාපනයට ඇති අයිතිය ගැන සාකච්ඡුා පැවැත්වීය.
බාලිකා අධ්‍යාපනය තලේබාන්වරුන්ගේ ෂරියා නීතියට පටැහැනිය. බාලිකාවන් ඉලක්ක කර ගනිමින් තලේබාන්වරුන් ප‍්‍රහාර එල්ල කරයි. එපමණක් නොව, බාලිකා පාසල් ද පහර දී විනාශ කර දමයි.
16 හැවිරිදි මලාලා යූසොෆ්සායි දැරිය තලේබාන් සටන්කාමියකුගේ ඉලක්කය වූයේ ද බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් හඬ නැගීම නිසාය.


එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගිය ජූලි 12 වැනිදා ‘මලාලා දිනය’ ලෙස නම් කළේය. මලාලාගේ උපන්දිනය යෙදී ඇත්තේ ද එදිනටය. එදින මලාලා,  එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණි අතර ලෝකයේ රටවල් රැුසකින් එහි රැුස්ව සිටි යොවුන් නායකයන් 500 දෙනකු අමතා විශේෂ දේශනයක් ද පැවැත් වූවාය.


බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු යැයි මලාලා එම අවස්ථාවේදී කියා සිටියාය. තම දිවි පරදුවට තබා පාකිස්තානයේ බාලිකා අයිතීන් වෙනුවෙන් හඬ නැගූ මලාලාට ගරු කිරීමක් ලෙස සෑම ජූලි 12 වැනිදාම ‘මලාලා දිනය’ ලෙස නම් කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය එම අවස්ථාවේදී පැවැසීය.


මලාලා ජීවත් වූයේ පාකිස්තානයේ ස්වාත් මිටියාවතේය. බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් අන්තර් ජාලය ඔස්සේ හඬ නැගීමේ වරදට ඇය තලේබාන් සටන්කාමියකුගේ වෙඩි ප‍්‍රහාරයකට ලක් වූයේ ඉකුත් ඔක්තෝබර් මාසයේදීය.
හිසට වෙඩි වැදී තුවාල ලැබූ මලාලා බි‍්‍රතාන්‍ය රජයේ අනුග‍්‍රහයෙන් බි‍්‍රතාන්‍යයට ගෙනෙනු ලැබුණි. ඇයට වැඩි දුර ප‍්‍රතිකාර ලැබුණේ බි‍්‍රතාන්‍යයේදීය. දැන් ඇයත් ඇගේ පවුලේ අයත් ජීවත් වන්නේ ද බි‍්‍රතාන්‍යයේය. ඒ බි‍්‍රතාන්‍ය රජයේ ආරක්ෂාව මැදය. ඇය යළි පාකිස්තානයට පැමිණියහොත් මරා දමන බවට තලේබාන් සංවිධානය අනතුරු අඟවා ඇත.