වයඹ දිග පාකිස්තානයේ බන්ධනාගාරයකට පෙරේදා (30) රාති‍්‍රයේ තලේබාන් සටන්කාමීහු ඉතා සැලැසුම් සහගතව ප‍්‍රහාරයක් එල්ල කළහ.
සටන්කාමීන්ගේ අරමුණ වූයේ බන්ධනාගාරයේ සිරගත කරනු ලැබ සිටි ඔවුන්ගේ සගයන් 25 දෙනකු බේරා ගැනීමය.

එම 25 දෙනා ඉතා දරුණු ඉස්ලාමීය සටන්කාමීන් බවත් ඔවුන් බේරා ගැනීමට සටන්කාමීන් සමත් වූ බවත් වාර්තා විය.

සටන්කාමීන් ප‍්‍රහාරය එල්ල කළ අවස්ථාවේ බන්ධනාගාරයේ සිටි සෙසු රැඳෙවියන් 250 දෙනකු ද පලා ගොස් ඇතැයි පාකිස්තාන ආරක්ෂක අංශ පවසා ඇත.
දෙරා ඉස්මයිල් ඛාන් නගරයේ පිහිටි එම බන්ධනාගාරයට තලේබාන් සටන්කාමීන් පහර දුන්නේ පෙරේදා රාතී‍්‍ර 11 ට පමණය.

ප‍්‍රහාරයට සටන්කාමීන් 70 දෙනකු පැමිණි බවත් ඔවුන් පැමිණියේ යතුරු පැදිවලින් සහ කැබ් රථවලින් බවත් ආරක්ෂක අංශ ප‍්‍රකාශ කර ඇත. සටන්කාමීන් රොකට් ප‍්‍රහාරවලින් සහ අත්බෝම්බවලින් බන්ධනාගාරයට පහර දී ඇතැයි ද පැවැසෙයි.

ප‍්‍රහාරයෙන් නියාමකවරුන් පස් දෙනකු, ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් සිව් දෙනකු, ෂියා මුස්ලිම් රැඳවියන් කිහිප දෙනකු ද ජීවිතක්ෂයට පත්වූ බව පැවැසෙයි.

සටන්කාමීහු පහර දී බන්ධනාගාරය තුළට කඩා වැදුණු අවස්ථාවේදී ෂියා මුස්ලිම් සිරකරුවන් කවුරුන්දැයි සොයා ඔවුන්ට පහර දී ඇත.
එය සුන්නි සහ ෂියා මුස්ලිම් ගැටුමක් වී ඇති බව ද ආරක්ෂක අංශ වැඩි දුරටත් කියා සිටී. ප‍්‍රහාරයෙන් බන්ධනාගාරයේ ආරක්ෂාවට යොදා සිටි පොලිස් නිලධාරීන් 15 දෙනෙක් තුවාල ලැබූහ.

පලා ගිය රැුඳෙවියන් සොයා මේ වනවිටත් මෙහෙයුම් ආරම්භ කර ඇතැයි ද වාර්තාවේ.