පාකිස්තානයට ඇද හැළෙන මහ වැසි සහ ඒ සමඟ ප‍්‍රදේශ රැසක හටගත් ජල ගැලීම් හේතුවෙන් මියගිය ගණන 108 තෙක් ඉහළ ගොස් ඇති බවත් 104 දෙනකු තුවාල ලබා සිටින බවත් ප‍්‍රාන්ත බලධාරීහු පවසති.

පාකිස්තාන රජය කියා සිටියේ ජල ගැලීම් හේතුවෙන් මේ වනවිට ලක්ෂයකට ආසන්න පිරිසකට උන්සිටිතැන් අහිමි වී ඇති බවය.

ජල ගැලීම් නිසා තවත් සියයකට වැඩි පිරිසක් අතුරුදන්ව ඇතැයි ද පැවැසිණි. ඔවුන් සෙවීමේ කටයුකුවලටත් සහන සේවා කටයුතුවලටත් හමුදාවේ සහාය හිමිවෙන බව මාධ්‍ය වාර්තා කළේය.

අතුරුදන් වූවන් සෙවීමේ කටයුතුවලට අධික වර්ෂාවෙන් බාධා එල්ල වී ඇත. නායයෑම් සිදුවී මාර්ග රැසක් අවහිර වී ඇති බව ද වාර්තා වේ. ජල ගැලීම් වාර්තා වී ඇත්තේ පාකිස්තාන පාලනයේ පවතින කාශ්මීරයේ, පන්ජාබයේ, බලූකිස්තානයේ සහ දකුණු සින්ද් ප‍්‍රාන්තයෙනි.

විදුලි බල සැපැයුම්වලට බාධා එල්ල වී ඇති අතර දහස් ගණනක් විදුලි බලය නොමැතිව පීඩා විඳින බව ද වාර්තා වේ. සහන සේවා කටයුතු සඳහා හමුදාව යොදවා ඇති බව පාකිස්තාන රජය වැඩි දුරටත් කියා සිටී.